පාස්කු ප්‍රහාර, නවාලි පල්ලියට බෝම්බ හෙළීම සහ වෙනත් අපරාධ සඳහා යුක්තිය

nawali

පසුගිය පෙබරවාරි 28 වන ඉරිදා තිබූ දිව්‍ය පූජාව අතරතුර, අපගේ පල්ලියේ (ශාන්ත ජෝශප් දේවස්ථානය, රත්මලාන) මීසම් භාර පියතුමා නිවේදනය කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සාධාරණය ඉල්ලා සිටීමට, කොළඹ අගරදගුරු පදවියේ (බස්නාහිර පළාතේ) සියලුම කතෝලිකයන් එලඹෙන මාර්තු 7 වන ඉරිදා පල්ලියට එන විට කළු පැහැයෙන් ඇඳගෙන එන ලෙසය.

පාස්කු ප්‍රහාරය සිදුවී මේ වන විට ආසන්න වශයෙන් අවුරුදු දෙකක් ගත වී ඇත​. එම ප්‍රහාරයෙන් කටුවාපිටිය කතෝකලික පල්ලියේ 115 ක්, කොච්චිකඩේ කතෝලික පල්ලියේ 50 ක්, මඩකලපුව සියෝන් දේවස්ථානයේ 30 ක් සහ සංචාරක හෝටල් තුනක් ඇතුළුව තවත් ස්ථාන වල 66 දෙනෙකු පමණ ඝාතනය වී ඇති බවට වාර්ථා වේ. වගකිවයුත්තන් බොහෝ විට ඔවුන්ගේ වාර්ගිකත්වය (මුස්ලිම්) සහ ආගම (ඉස්ලාම්) අනුව හඳුන්වා ඇත. කෙසේ වෙතත්, එවකට සිටි ජනාධිපති, අගමැති සහ පොලිස්පති ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සැක පහළ වී තිබුණද, මහ මොළකරුවන් මෙන්ම ප්‍රහාර වැළැක්විය හැකි ඉහළ පෙළේ දේශපාලඥයින් සහ රජයේ නිලධාරීන් තවමත් නිශ්චය කර නොමැත.

පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන ලෙස පෙනී සිටින්නේ කොළඹ කතෝලික අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ය​. ඔහුගේ එම උත්සාහය පසුගිය රජය විසින් විමර්ශන හා වන්දි ගෙවීම් සඳහා ඉක්මන් පියවර ගැනීමට හේතු වන්නට ඇත​.

ප්‍රහාරයෙන් මසකට පසු පාර්ලිමෙන්තු පක්ෂ කිහිපයක කමිටුවක් පත් කරන ලද අතර ප්‍රහාරයෙන් මාස 6 කට පසු වාර්තාවක් ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා 2019 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවා තිබුණි. අතුරු වාර්තා දෙකක් සහ අවසන් වාර්තාව වත්මන් ජනාධිපතිවරයාට 2019 දෙසැම්බර්, 2020 මාර්තු සහ 2021 පෙබරවාරි මාසවලදී භාර දී තිබුණද ඒවා ප්‍රකාශයට පත් කර නොමැත. පොලිස් පරීක්‍ෂණ මගින් සිය ගණනක් අත්ඩංගුවට ගනු ලැබී ඇති අතර සමහරුන් නිදහස් කර ඇත. සමහරුන් තවමත් රැඳවුම් භාරයේ පසුවෙති. එහෙත් කිසිවෙකුට එරෙහිව විධිමත් චෝදනා ගොනු කරන බවට වාර්තා මා දැක නැත. මාස කිහිපයක් ඇතුළත එවකට රජය විසින් රු. මිලියන 262 ක් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි වශයෙන් දෙනු ලැබුවේ මියගිය එක් පුද්ගලයෙකුට රු. මිලියනයක් බැඟිනි. මීට අමතරව රු. මිලියන 20 කතෝලික පල්ලි දෙක නැවත ගොඩනැඟීම සඳහා වෙන්කර ඇති අතර මඩකලපුවෙහි සියොන් පල්ලිය නැවත ගොඩනැඟීම සඳහා රු. මිලියන 5ක මුදලක් වෙන්කර ඇත​.

රජයේ උත්සාහයන්ට අමතරව, ක්‍රිස්තියානි ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන හානි පූර්ණ වැඩසටහන් ද තිබේ. කටුවාපිටිය පල්ලියට ගිය අවස්ථාවේ දී සහ පීඩාවට පත් වූවන් සහ ඔවුන්ට සහාය දැක්වූවන් සමග කළ සාකච්ඡාවලදී, තුවාල ලැබූවන් සඳහා වෛද්‍ය ආධාර, සෑම පවුලක් සඳහාම කැපවූ මානසික උපකාරක කණ්ඩායම්, ළමුන් සඳහා ශිෂ්‍යත්ව, ආගමික මෙහෙයන් ආදිය කතෝලික පල්ලිය විසින් ඉටු කරන බව මම දැන ගතිමි. පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට ගොදුරු වූවන් සඳහා ස්මාරක මාස කිහිපයක් ඇතුළත කතෝලික පල්ලි දෙකෙහි ඉදිකර ඇති අතර බෝම්බ හෙලීමේ පළමු වසර සැමරීම සඳහා කොළඹ අගරදගුරු විසින් පුළුල් විධිවිධාන ප්‍රකාශයට පත් කරන ලද අතර මේවාට ආණ්ඩුවේ සහය ද ලැබුණි. අනුස්මරණ කිරීමේ උත්සවයන් කොවිඩ් -19 නිසා සීමා කිරීමට සිදු වූ නමුත් ඒවා රාජ්‍ය රූපවාහිනී නාලිකා ඇතුළුව ජාතික වශයෙන් විකාශය වූ අතර පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබිණි. වත්මන් ජනාධිපති, අගමැති සහ විපක්‍ෂ නායක ඇතුළු බොහෝ දේශපාලන නායකයින් පාස්කු බෝම්බ ප්‍රහාරවලට සාධාරණය ඉටු කිරීම විය යුතු බව කියා සිටිති. යුක්තිය තවමත් ඉටු කර නොතිබුණද, මේවා දිවි ගලවා ගත් අයගේ සහ වින්දිතයින් ගේ පවුල්වල ගෞරවය රැකීමට වැදගත් වන සහතිකය​. දශක ගණනාවකට පෙර සිදු වූ බරපතළ අපරාධ සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීම, ස්මාරක ඉදිකිරීම, වන්දි ගෙවීම් සහ යුක්තිය ඉටු කිරීම පිලිබඳව  ශ්‍රී ලංකාවේ ඇති අඳුරු තත්වය හමුවේ, මෙය වසර දෙකක් තුල සිදුවූ සැලකිය යුතු ප්‍රගතියකි.

1995 යාපනයේ නවාලි පල්ලියට බෝම්බ හෙලීම

පල්ලිවලට පහරදීම සහ ඒ තුළ ඝාතනයන් සිදුකිරීම යුද්ධයේ දී සුලභ වී ඇත. වඩාත්ම භයානක සිදුවීම්වලින් එකක් වන්නේ 1995 දී යාපනයේ (උතුරු පළාතේ) නවාලි කතෝලික පල්ලියට සහ ඒ අවට බෝම්බ හෙලීමයි. එහිදී 147 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. මට හමු වූ නවාලි හි සියලු දෙනා නිශ්චිතවම කියා සිටියේ බෝම්බ ප්‍රහාරය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවයි. මරණයට හේතුව “ගුවනින් බෝම්බ හෙලීම් නිසා ඇති වූ තුවාල” ලෙස ප්‍රකාශ කරමින් රජය මරණ සහතික නිකුත් කිරීම මගින් මෙය තවත් තහවුරු විය.

1995 දී ගුවනින් බෝම්බ හෙලීමට හැකි වෙනත් සන්නද්ධ කණ්ඩායමක් සිටියේ නැත. කෙසේ වෙතත්, වගකිවයුත්තන් ත්‍රස්තවාදීන් ලෙස සඳහන් කර නොමැති අතර ඔවුන්ගේ ජනවාර්ගිකත්වය හෝ ආගම පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැත. එවකට යාපනයේ කතෝලික රදගුරු තුමා පවසා ඇත්තේ “අවතැන්වූවන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පල්ලියේ හා කෝවිල්වල රැකවරණය පතා ඇති” බවයි. එම මාධ්‍ය වාර්තාවේම සඳහන් වූයේ ප්‍රහාරයෙන් පසු දින රදගුරුතුමා ජනාධිපතිවරියට ලිපියක් යවමින් ඛේදවාචකය විස්තර කරමින් “කෝවිල්, පල්ලි, පාසල් සහ රෝහල් වැනි සිවිල් ඉලක්ක වෙත බෝම්බ හෙලීම, ස්ට්‍රැෆිං කිරීම, කාලතුවක්කු, රොකට් ප්‍රහාරවලින් වළකින ලෙස ඔබේ හමුදාවන්ට කාරුණිකව උපදෙස් දෙන ලෙස” ඇයගෙන් ඉල්ලා සිටි බවයි.

මීට වසර කිහිපයකට පෙර නවාලි පල්ලියේ ඉදිකරන ලද ප්‍රජා ස්මාරකයක් තිබේ. පසුගිය වසරේ, මෙම සිද්දියේ  25 වන වසර අනුස්මරණය කරන විට වින්දිතයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රහාරයෙන් මියගිය සමහර අයගේ පවුල් සඳහා රු. 15,000 දී ඇත. බෝම්බ හෙලන ලද පල්ලිය, හින්දු කෝවිල් සහ වෙනත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයේ දායකත්වයක් ගැන මා අසා නැත. එසේම, 25 වන අනුස්මරණ උත්සවයට ජාතික මාධ්‍ය ජාලයකින් හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආවරණයක් නොලැබුණු අතර, සැමරුම බිය ගැන්වීමට හා බාධා කිරීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර තිබුණි. මේ සඳහා ඉහළ පෙළේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා හෝ පාර්ලිමේන්තු කමිටු තිබුනේ නැත​. අත්ඩංගුවට ගැනීම් නැත. යුක්තිය සහතික කිරීම සඳහා ජනාධිපතිවරුන්ගේ සහ දේශපාලන නායකයින්ගේ සහතික නැත. යුක්තිය ඉල්ලු උතුරු දෙමළ පූජකවරුන්ගේ ඉල්ලීම්වලට කාදිනල්තුමාගේ ඉල්ලීම් වලට මෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආවරණයක් ලැබී නැත.

ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය නොමැතිකම සහ ජාත්‍යන්තර සහය පැතීම

ඝාතනයට හා අතුරුදහන් වූ දසදහස් ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමට හා යුක්තිය බලා සිටිති.

ඝාතනයට හා අතුරුදහන් වීම් වලට ලක්වූවන් අතර ෆ්‍රැන්සිස් ජෝශප් පියතුමා (2009 දී මුලතිව් දිස්ත්‍රික්කයේ වත්තුවාහල් හිදී ශ්‍රී ලංකා හමුදාවට යටත් වීමෙන් පසු අතුරුදහන් විය), ජිම් බ්‍රවුන් පියතුමා (යාපනයේ අල්ලයිපිදි හී 2006 දී නාවික මුරපොලකට ඇතුල් වීමෙන් පසු අතුරුදහන් විය), චන්‍දර ප්‍රනාන්දු පියතුමා (1988 දී මඩකලපුවේදී ඝාතනය කරන ලදී), මයිකල් රොඩ්‍රිගෝ පියතුමා (1987 දී මොණරගලා දිස්ත්‍රික්කයේ බුත්තල හිදි ඝාතනය කරන ලදී), මේරි බැස්ටියන්ස් පියතුමා (1985 දී මන්නාරම් දිස්ත්‍රික්කයේ වන්කාලෙයි හිදී ඝාතනය කරන ලදී) මේරි ඇග්නෙටා කන්‍යා සොහොයුරිය (1983 දී බදුල්ල දිස්ත්‍රික්කයේ ලුනුගෙල හිදී ඝාතනය කරන ලදි) සහ තවත් බොහෝ අය සිටි.

වසර 40 කට ආසන්න කාලයකට පසු, එල්ටීටීඊ සාමාජිකයින් වරදකරුවන් කර ඇති අවස්ථා කිහිපයකදී හැර, යුද කාලීන සංහාර හා අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුක්තියක් නොමැත. 2000 දී මිරුසුවිල් හි සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක් සොල්දාදුවෙකු 2015 දී වරදකරු කරනු ලැබුවද, පසුගිය වසරේදී වත්මන් ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබා දෙන ලදී. බොහෝ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් වලට සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට භාජනය වී ඇත, නමුත් චූදිතයන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ එක් සිද්ධියක් සඳහා පමණි.

ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම්, සහ සමූල ඝාතනය කිරීම් සහ ඒවාට දඬුවම් නොදීම යුද්ධයෙන් පසුවවත් අවසන් වුයේ නැත. 2013 දී රතුපස්වෙල පිරිසිදු ජලය සඳහා වූ විරෝධතා සහ 2011 දී කටුනායක (බස්නාහිර පළාතේ) කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ 2012 දී හලාවත ධීවරයින් විසින් කරන ලද තවත් විරෝධතාවක් හේතුවෙන් හමුදාව සහ පොලීසිය විසින් විරෝධකරුවන් ඝාතනය වූ අතර යුක්තියක් ඉටු වී නොමැත. මෙයින් මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කතෝලිකයෝ වූහ. අළුත්ගම හි මුස්ලිම්වරුන්ට එරෙහි 2014 කැරලි කෝලාහල වලදී, 2012 වැලිකඩ බන්ධනාගාර සංහාරය හෝ 2020 මහර බන්ධනාගාර සංහාරයට හෝ ඝාතනයන්ටද සාධාරණයක් ඉටු වී නොමැත. කිසිවකුට දඬුවම් ලැබී නැත.

බොහෝ වින්දිතයින්ගේ පවුල් සහ ක්‍රියාකාරීන් විසින් තමන් ප්‍රකාශ ලබාදී ඇති කොමිෂන් සභා වාර්තා ඉල්ලා ඇති අතර කාදිනල්තුමාද, පාස්කු ප්‍රහාරය පිලිබඳ කොමිසන් වාර්තාව ඉල්ලා සිටියේය. මසකට පසු, ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඔහුට වාර්තාව භාර දී ඇති බව වාර්තා කළ නමුත්, දිවි ගලවා ගත් අය, වින්දිත පවුල් සහ වෙනත් පුරවැසියන්ට මෙය දැක බලා ගැනීම සඳහා එය තවම ප්‍රකාශයට පත් කර නොමැත. කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත් කල තවත් කමිටුවක් කාදිනල්තුමා විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තා වේ. මීට පෙර කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් සහ නිර්දේශයන් තක්සේරු කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම පිළිබඳව පුළුල් විවේචන හා සැක සංකා මතුවි ඇත.

යුක්තිය සහතික කිරීම සඳහා වූ දේශීය නීති, ආයතන, යාන්ත්‍රණ, ක්‍රියාදාමයන් අසමත් වීම නිසා දිවි ගලවා ගත් අය, වින්දිත පවුල් සහ වෙනත් පාර්ශවයන් යුක්තිය ඉටුකර ගැනීමට ජාත්‍යන්තර සහය පතා ඇත. මේ වසර මුලදී, කර්තෘ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් වසර 12 කට පසුවත්, ශ්‍රී ලංකාවේ යුක්තිය පිළිබඳ කිසිදු සලකුනක් නොමැති නිසා, ඔහුගේ දියණිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක් ගොනු කළාය. මීට වසර කිහිපයකට පෙර ඇය ඇමරිකන් එක්සත් ජනපදයේ නඩු පවරා තිබුණි. ලංකාවේ යුක්තිය නොමැතිකම නිසා කලකිරීමට පත්ව ඇති අලුත්ම කෙනා වී ඇත්තේ කාදිනල්තුමාය​. එතුමා මාධ්‍යට පවසා සිටියේ ශ්‍රී ලංකාවේ යුක්තියක් නොමැති නම් ජාත්‍යන්තර අධිකරණයකින් යුක්තිය ඉල්ලා සිටීමට සහ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගැනීමට සුදානම් බවයි.

යුක්තිය සඳහා එක්සත් පෙරමුණක් සඳහා අනාගතයේදී ඇති අවස්ථා

යුද කාලීන අපයෝජනයන්, පශ්චාත් යුධ අපයෝජනයන් සහ පාස්කු ප්‍රහාරයන් සැසඳිය නොහැකි නමුත් දිවි ගලවා ගත් අය, වින්දිතයින්ගේ පවුල් සහ පීඩාවට ලක්වූ ප්‍රජාවන්ගේ දුක සහ යුක්තිය සඳහා ඔවුන්ගේ අභිලාෂයන් බොහෝ විට සමාන වේ. තෝරාගත් සමහර දිවි ගලවා ගත් අයට, වින්දිත පවුල් සහ පීඩාවට පත් ප්‍රජාවන්ට පමණක් යුක්තිය ඉල්ලීම (සත්‍ය පිළිගැනීම, වන්දි, අනුස්මරණ, විමර්ශන, නඩු පැවරීම් සහ දඬුවම් කිරීම ඇතුළුව) යුක්තිය නොලැබුනු අනෙක් අය අතර කම්පනය වැඩි කළ හැකි අතර ප්‍රජාවන් තවදුරටත් ධ්‍රැවීකරණය සිදුවිය හැක.

කතෝලිකයන් ඇතුළු බොහෝ සිංහල සහ දමිළ ජනයා යුධ කාලීන හා පශ්චාත් යුධ අපරාධ සඳහා යුක්තිය සෙවීම යම්කිසි තෝරා බේරා ගැනීමකට අදාලව සිදුකරයි. යුක්තිය උදෙසා ජාත්‍යන්තර සහය සෙවීම පිළිබඳව ඔවුන් බෙදී ඇත. මීට දශකයකට පමණ පෙර, මන්නාරම කතෝලික රදගුරු සහ දෙමළ කතෝලික පූජකවරු සහ තවත් අය යුද්ධයේදී හා පසුව දස දහස් ගණනක් වූ ඝාතන, අතුරුදහන් කිරීම් සහ වෙනත් අපරාධවලට සාධාරණය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර සහය ඉල්ලා සිටි අවස්ථාවක කාදිනල් රංජිත් “එවැනි උත්සාහයන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ බුද්ධියට කරන නිග්‍රහයක්” යැයි පවසමින් ජාත්‍යන්තර සහයට විරුද්ධත්වය පල කලේය​. එහෙත් පෙබරවාරි 11 වන දින කාදිනල්තුමා කියා සිටියේ පාස්කු බෝම්බ හෙලීමට දේශීය වශයෙන් යුක්තියක් නොමැති නම් තමා ජාත්‍යන්තර අධිකරණයකට ගොස් යුක්තිය පසිඳලීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගැනීමට සූදානම් බවයි. කාදිනල්තුමාගේ මෙම ප්‍රකාශය සිදුවූයේ දෙමළ දේශපාලන පක්‍ෂ, සිවිල් කණ්ඩායම්, ත්‍රිකුණාමලයේ කතෝලික රදගුරු ඇතුළු දෙමළ පූජකයන් විසින් යුද කාලීන අපරාධ සඳහා ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටීමෙන් සති කිහිපයකට පසුවය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වසර දෙකකටත් අඩු කාලයකදී කාදිනල්තුමා ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ සීමාවන්, අසාර්ථකත්වයන්, අභියෝග සහ ජාත්‍යන්තර සහයෝගයේ වැදගත්කම හඳුනාගෙන ඇත. ක්‍රිස්තියානි ඇදහිල්ලේ කේන්ඳ්‍රය යුක්තිය වන අතර සිංහල හා දෙමළ කතෝලිකයන්ට යුක්තිය සඳහා එකිනෙකාගේ අරගලවලට සහය දැක්වීමට සහ එක්ව අරගල කිරීමට මාර්තු 7 වන ඉරිදා ආරම්භයක් විය හැකිය.

රුකී ප්‍රනාන්දු

vikalpa

Related posts