රසායනික පොහොර ආනයන තහනම – විජ්ජා නොපෙන්වා විද්‍යාත්මකව බලමු

rasayanika-pohora

කෑගල්ලෙන් පටන් ගත් පැණියේ කතාව විජ්ජාවක් බව පසුගියදා අනාවරණය විය. විද්‍යාත්මක පර්යේෂණ වලින් පසු එය කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවේ යයි සනාථ වී ඇති නිසා, මෙම ආන්දෝලනය නවතිනු ඇතැයි සිතමි. විජ්ජාව පරදා විද්‍යාව ජයගැනීම සැනසීමට කරුණකි. එය අනාගතය පිලිබඳ හොඳ පෙර නිමිත්තකි. මිත්‍යාව සහ අවිද්‍යාව වැඩි කල් පවතින්නේ නැත.

අවිද්‍යාව සහ මිත්‍යාව වැළඳගෙන ආරූඪ කරගත් ආත්ම විශ්වාසයක් ඇති කරගත් දේශපාලකයන්, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව ඇතළු සැහෙන පිරිසක් අප සමාජයේ සිටීම වේදනාවට කරුණකි. එනමුත් මින් ලද පරිචයක් ඇතිනම්, එවන් කූඨ ප්‍රයෝග සහ වෙළඳ ව්‍යාපාරවලට නොරැවටිමටත්, නොයෙකුත් ප්‍රචාරක උපක්‍රම වලින් මුළු රටක් “කඩේ ගෙන යාමට” දායක නොවීමටත් සැම දෙනාම වග බලාගත යුතුය.

අදාළ පැණියට ලබාදුන් රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ අනුග්‍රහය රටක් නොමග යැවූ බව, අවම වශයෙන් සති දෙකකට වැඩි කාලයක්වත් මතක තබා ගැනීමට දැන්වත් මතක තබා ගනිමු. මෙම ලිපියේ අරමුණ පැණියක් පිලිබඳ නොවුනත් මෙවන් පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසු යයි සිතමි.

කොවිඩ් වසංගතය හමුවේ, මෑත කාලයේ දී දක්නට ලැබුණු සාර්ථක රාජ්‍ය මැදිහත්වීමකින් සහ සැම දෙනාගේම දායකත්වයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු වීම සතුට දනවන කරුණකි. මීට අමතරව, නිපදවිය හැකි දේ රට තුලම නිපදවීමේ අරමුණින්, තෝරාගත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව හෝ තහනම් කිරීමත්, ඒ තුලින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයා දිරි ගැන්වීමට ගත් උත්සාහයත් අපි දුටුවෙමු. එතනෝල්, කහ, බඩ ඉරිඟු, මුං ඇට වැනි දේ ආනයනය නැවැත්වීම මෙයට හොඳම නිදසුන් ය.

කහ යනු අත්‍යාවශ්‍ය ආහාර බෝගයක් නොවුනත් ගෙවතු වගා තත්ත්ව යටතේ කහ වගාව ප්‍රචලිත වීම තුලින් එදා යම් පමණකට හෝ පැන නැගුනු අවිනිශ්චිතභාවය අද වන විට පහව ගොස්ය. එහෙත් දැනට සාමාන්‍ය වෙළඳ සංකීර්ණයක් තුලදී අපේම නිෂ්පාදනයක් ලෙස පැකට් කරන ලද කහ කුඩු ග්‍රෑම් සියයක මිල රුපියල් 600 ට වැඩිය. ආනයන තහනම පැනවීමට ප්‍රථමයෙන් පැවති මිලට සාපේක්ෂව මෙය කිහිප ගුණයක මිල වැඩිවීමකි. මුං ඇට සම්බන්ධයෙන් තත්ත්වය වඩාත් දරුණු වේ.

අද දේශීයව නිෂ්පාදිත මුං ඇට කිලෝවක වෙළඳපල මිල රුපියල් 800 ඉක්මවා ඇත. බඩ ඉරිඟු වගාව ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර නිපදවීමට අවශ්‍ය වන අමු ද්‍රවයකි. අද බඩ ඉරිඟු මිලද අහස උසට නැග ඇත. ප්‍රතිපලය කුකුළු මස් මිල ඉහල යාමකි. මේ සියලු ක්‍රියාවලියන්හි දී, නිෂ්පාදකයා (ගොවි ප්‍රජාව) හට වැඩි මිලක් ලැබීම ඉතාමත් සතුටට කරුණකි.

එනමුදු මිලියන 21 කට වැඩි පාරිභෝගිකයා (නිෂ්පාදකයා ද ඇතුළුව) හට මෙම දරාගත නොහැකි මිල තුලින් වන අසාධාරණය තවමත් එතැනම ය. දැන් වස විස වලට අමතරව මිල පිලිබඳ ගැටලුවේ වඩාත්ම දරුණු බලපෑමට ලක්වූ කාණ්ඩය ද පාරිභෝගිකයා වේ. මිල දී ගැනීමේ ශක්තිය ඇති, ක්ෂේත්‍රයේ සත්‍ය වශයෙන්ම සිදුවන දේ නොදන්නා මෙන්ම, එම තත්ත්වය නොදන්නා සේ සිටින සහ ප්‍රතිපත්ති සම්පාදකයින් නොමග යවන කණ්ඩායම් මෙම දරුණු බලපෑමට ලක්වූ පාරිභෝගික ගණයට ඇතුලත් නොකරමි.

සියලු රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනය සහ භාවිතය තහනම් කිරීම සඳහා (වෙනත් කරුණුද ඇතුළුව) අතිගරු ජනාධිපති ජනාධිපතිතුමා විසින් පසුගිය අප්‍රේල් මස 27 වන දා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බව මාධ්‍ය තුලින් අප සියලු දෙනාම දුටුවෙමු. මෙම සිදුවීමට පෙර අතිගරු ජනාධිපතිතුමා මේ කරුණ සම්බන්ධව එතුමා ගේ මතය ප්‍රකාශ කරමින් රාජ්‍ය ආයතන ප්‍රධානින් අමතන රුප රාමු අප දැක ඇත්තෙමු.

පසුගිය කාල පරාසය තුල අපි ප්‍රතිපත්ති සම්පාදනය ගැන ඇති පමණින් කතා කර ඇත්තෙමු. බොහෝ අවස්තාවලදී අපිට තිබු ගැටලු වුයේ එම ප්‍රතිපත්ති සම්පාදනයේදී සියලු පාර්ශවකරුවන්ගේ (අවම වශයෙන් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ) අදහස් සැලකිල්ලට නොගැනීමත්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදී ඇතිවන ගැටළු ඒවා සම්පාදනය කරන අවස්ථාවේ වටහා නොගැනීමත් හෝ සැලකිල්ලට භාජනය නොකිරීමත් යන කරුණුය.

එමෙන්ම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන රාමුව ඒ සඳහා හැඩ ගැසී නොමැතිවීමත් හෝ ශක්තිමත් මෙන්ම ක්‍රියාකාරී ආයතිනක සම්බන්ධීකරණයක් නොමැති වීමත්, සමහරක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවී එම අදාළ වාර්තා රාක්ක තුලටම පමණක් සීමාවීමට හේතු වූ බව අප දන්නා කරුණකි.

වර්තමානයේ බොහෝ දෙනා සාකච්චාවට බඳුන් කර ඇති, අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවේ අංක 4.1. සඳහන්ව ඇතැයි පැවසෙන “වහාම ක්‍රියාත්මක වන පරිදි රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක භාවිතය සහ ඒවා ආනයනය තහනම් කිරීම” යන ඉල්ලීමට එම වගන්ති ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී බව ඇති බව මැයි 6 දින නිකුත්වූ අංක 2226/48 දරන ගැසට් නිවේදනයෙන් තහවුරු වේ. මෙම තීරණය අවම වශයෙන් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ, විශේෂයෙන්ම ගොවි ප්‍රජාවගේ, එකඟතාව ඇතිව ගන්නා ලද්දක් දැයි නොදනිමි.

එනමුදු යම් පමණක හෝ උපදේශකයන්ගේ මැදිහත්වීමක් මේ තීරණය ගැනීමට බලපෑ බව උපකල්පනය කිරීම සාධාරණය.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ අංක 4.2. “කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එම නිෂ්පාදකයින්ට මෙන්ම ගොවියා සඳහා මුල්‍ය ආධාර ලබාදීම” යන ඉල්ලීමට සඳහන්ව ඇතැයි පැවසේ.

ඒ අනුව පසුගිය දිනෙක ජනාධිපතිතුමන් විසින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක වලින් බැහැරව කාබනික කෘෂිකර්මයට යොමුවන නිෂ්පාදකයා හට, තම අස්වැන්නේ වන අඩුවීමක් වෙනුවෙන් සාධාරණ වන්දියක්/මුදලක් ලබා දීමටද ප්‍රකාශ කෙරුණි.

මෙම මුල්‍ය පහසුකම පොහොර සහනාධාරය සඳහා වෙන් කර ඇති, එමෙන්ම රසායනික පොහොර ආනයනය තහනම් කිරීම තුලින් ඉතිරිවන මුදලින්, පියවිය හැකි බව ද ප්‍රකාශ කෙරුණි. විදේශ විනිමය රට තුල ඉතිරි කරගැනීමේ අවශ්‍යතාව, ක්‍රමෝපාය සහ හැකියාව පිළිබඳව අපි සන්තෝෂ විය යුතුය. එම මුදල රට තුල සංසරණය කිරීමට දක්වන උත්සාහය පැසසිය යුතුය.

මෙම සියලු කරුණු ඔස්සේ වස විසෙන් තොර ආහාර පිළිබඳව කතා කෙරුනද, ආහාර බෝගවල සමස්ත අස්වැන්නේ අඩුවීමත් සමගම, එම ආහාර පාරිභෝගික ජනතාව හට පහසු මිලකට ලබා ගත හැකි දැයි යන මුලික කාරණය අමතක කර ඇති බවක් පෙනී යයි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව මෙමගින් සපුරාලනු ඇතැයි උපකල්පනය කිරීම කිසිසේත්ම නොකළ යුතුය.

අපේ ප්‍රධාන ආහාරයේ කතාව

බෝගයක් සම්න්ධයෙන් කාබනික සහ රසායනික පොහොර භාවිතයේ ඇති බලපෑම් ශ්‍රී ලංකාව තුල දී දීර්ඝ කාලීනව සංසන්දනය කර පර්යේෂණ පත්‍රිකාවක් ලෙස එලි දක්වා ඇති වාර ගණන සීමිතය.

පවතින විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා තුලින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය තුල 2003 සිට 2014 දකවා වසර 11 ක කාලය තුල යල කන්න 11 ක් සහ මහ කන්න 11 ක් නොකඩවා කරන ලද පර්යේෂණ ආශ්‍රයෙන් කීර්තිමත් පාංශු විද්‍යාඥයෙකු වූ ඩී. එන්. සිරිසේන මහතාගේ මෙහෙයවීම යටතේ වී වගාව සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ ප්‍රතිපල විශේෂත්වයක් දරයි.

එම පර්යේෂණයේ ප්‍රතිපල අනුව එක කන්නයකට හෙක්ටාරයකට ටොන් 10 ක් බැගින් නොකඩවා කාබනික ද්‍රව්‍ය දීමෙන් පසු සම්පුර්ණ වසර 11 හි කන්න දෙකෙහිම කාබනික ද්‍රව්‍ය පමණක් යෙදු විට වී අස්වැන්න, රසායනික පොහොර පමණක් යෙදුවිට ලබා දෙන අස්වැන්නට වඩා 21.5% සිට 31% ප්‍රමාණයකින් අඩු වන බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත (https://www.doa.gov.lk/images/ASDA/ASDA_2016/ASDA_NEW.pdf යන පර්යේෂණ සඟරාවේ පිටු 6 සිට 8 දක්වා බලන්න).

මෙම පර්යේෂණ මට්ටමේ දක්වන අස්වැන්නේ අඩුවීම සාමාන්‍ය ගොවිපල වගා තත්ත්ව යටතේ මීට වඩා වැඩිවනු ඇත. මෙහිදී වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ, පර්යේෂකයන්ගේ වාර්තාවට අනුව රසායනික පොහොර සහ කාබනික පොහොර එක්ව භාවිත කලවිට, වසර 11 පුරාවට සැමවිටම වැඩිම වී අස්වැන්නක් ලබා ගත හැකිවීමය.

අපේ වාර්ෂික සහල් අවශ්‍යතාව දල වශයෙන් ටොන් මිලියන 2.4 පමණ වේ. ශ්‍රී ලංකාව තුල අපේම විද්‍යාඥයින් විසින් වැඩි දියුණු කරන ලද, රසායනික පොහොර වලට ප්‍රතිචාරි, වැඩි අස්වනු දෙන වී ප්‍රභේද අද වනවිට ගොවි ජනතාව විසින් වගා කරනු ලබයි. දැනට ශ්‍රී ලංකාවේ වී වගා වපසරියෙන් 98% ක වගා කරනුයේ මෙම වැඩි දියුණු කරන ලද වී ප්‍රභේදයන්ය.

මෙලෙස, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී ඇති තාක්ෂණයට අනුව සහ ගොවි ජනතාව ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගේ දායකත්වය ඇතිව අපි දැනට සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩිපුර වී නිෂ්පාදනය කරමින් සිටිමු. පසු ගිය වසරේ සමස්ථ වී නිෂ්පාදනය, උපරිම අගයකට අනුව, ටොන් 5 ක් ලෙස ගණනය කල හැක. මෙය අපේ ප්‍රධාන ආහාරය සැලකු විට ඉතා සතුටුදායක ප්‍රතිපලයකි. කෘෂිකර්ම අමාත්‍යංශයේ සාර්ථක මග පෙන්වීම මෙම තත්ත්වය ලඟා කරගැනීමට මහත්සේ ඉවහල් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ඉහත සඳහන් කල ඩී. එන්. සිරිසේන ඇතුළු පර්යේෂකයන්ගේ වාර්තාවට අනුව, රසායනික ද්‍රව්‍ය සම්පුර්ණයෙන් ඉවත් කර කාබනික ද්‍රව්‍ය යෙදීමෙන් පමණක් අස්වැන්න 21.5% කින් අඩු වේ නම් අපට ලැබෙන වී අස්වැන්න (දැනට ලැබෙන උපරිමය ටොන් මිලියන 5 ක් ලෙස සැලකු විට) ටොන් මිලියන 3.925 වන අතර අස්වැන්න 31% කින් අඩුවේ නම්, ටොන් මිලියන 3.45 ක් වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව නව තාක්ෂණය භාවිතයෙන් වී සහල් බවට පත් කිරීමේ අනුපාතය 68% කි. එනම් වී කිලෝ ග්‍රෑම් 100 ක් ඇඹරූවිට සහල් කිලෝ ග්‍රෑම් 68 ක් ලැබිය යුතුය. අපි පුද්ගලික අංශයෙන් සුපුරුදු ලෙස අසා ඇති පරිදි සහල් කිලෝ ග්‍රෑම් 100 ක් ලබාගැනීමට වී කිලෝ ග්‍රෑම් 160 ක් අවශ්‍යවේ. (අනුපාතය 1.6 කි, එනම් 62.5%). මෙම තත්ත්ව දෙකම සලකා බැලීමේදී පසුගිය වසරේ වී අස්වැන්නෙන් අපට ලැබෙන සහල් ප්‍රමාණය ටොන් මිලියන 3.4 සහ 3.125 අතර පැවතිය යුතුය (සමස්ත වී අස්වැන්නේ විචලතාව මත මෙම අගයන් වෙනස්වේ).

නමුත් ප්‍රායෝගිකව මෙම වී ප්‍රමාණය සම්පුර්ණයෙන්ම සහල් බවට පත් නොකෙරේ. ඒ ඊළඟ කන්නයේ බිත්තර වී සඳහා ද එයින් යම් ප්‍රමණයක් වෙන් කරන නිසා ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවලට අනුව අපේ වාර්ෂිකව බිත්තර වී අවශ්‍යතාව ටොන් 120,000 පමණ වේ. මෙම බිත්තර වී ප්‍රමාණය ඉවත් කල විට, කාබනික ද්‍රව්‍ය යෙදීමෙන් පමණක් සහල් කිරීමට තිබිය හැකි වී ප්‍රමාණය වන්නේ ටොන් මිලියන 3.78 (අස්වැන්න 21.5% කින් අඩු වේ නම්) හෝ ටොන් මිලියන 3.33 (අස්වැන්න 31% කින් අඩුවේ නම්) වේ.

එවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවලට අනුව (වී සහල් බවට පත් කිරීමේ අනුපාතය 68%) අපේ සමස්ත වී අස්වැන්නෙන් ලැබෙන සහල් ප්‍රමාණය වන්නේ ටොන් මිලියන 2.57 සහ ටොන් මිලියන 2.26 අතර ප්‍රමාණයකි. පුද්ගලික අංශයට අනුව (වී සහල් බවට පත් කිරීමේ අනුපාතය 62.5%) වී අස්වැන්නෙන් ලැබෙන සහල් ප්‍රමාණය වන්නේ ටොන් මිලියන 2.36 සහ ටොන් මිලියන 2.08 අතර ප්‍රමාණයකි.

මෙම ගණනය කිරීම සඳහා දේශගුණික විපර්යාස වලින් සිදුවන හානි, එමෙන්ම වල් නාශක ද ඇතුළු පලිබෝධ නාශක තහනම් කිරීම තුලින් ඇතිවන තත්ත්වය සලකා නොමැති බැවින්, එම ගණනය කිරීම් සැලකීමට ගතහොත් පවතින සහල් ප්‍රමාණයේ අගය මීට වඩා ඉතා පහල අගයක් ගනු ඇත.

මෙම ගණනය කිරීම කර ඇත්තේ වැඩි දියුණු කරන ලද පොහොර වලට ප්‍රතිචාරි වී ප්‍රභේද වලින් ලැබෙන වැඩි අස්වැන්න සැලකු විටය. ස්වභාවයෙන්ම අඩු අස්වනු දෙන පාරම්පරික වී ප්‍රභේද යොදා ගැනීමේ දී මේ තත්ත්වය වඩාත් බරපතල වනු ඇත. අපේ ආහාර සුරක්ෂිතතාවට ඇතිවන බලපෑම මෙයින් හොඳින් පැහැදිලි වනු ඇත. එනම් අපට වාර්ෂිකව අවශ්‍ය වන සහල් ටොන් මිලියන 2.4 ක ප්‍රමාණය සපයා ගැනීමට කාබනික ද්‍රව්‍ය යෙදීමෙන් පමණක් අපහසු වේ.

එවිට රටේ සහල් අවශ්‍යතාව සපුරා ලීමට සහල් ආනයනයන කිරීමට හෝ ජනතාවට වෙනත් ආහාර බෝග වලට හුරුවීමට සිදුවනු ඇත. එනමුදු, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීරණ වලට අනුව, සහල් ආනයනය කිරීමේ සුදානමක් නොමැති අතර හදිසි තත්ත්වයන් යටතේ එය සිදු කිරීම කල යුතු වේ (මෙහිදී බාස්මති සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන අනෙකුත් සහල් වර්ග සලකා නැත).

කරුණු මෙසේ වුවත්, ඉහත පෙන්වා දුන් ගණනය කිරීමට අනුව මෙම හදිසි තත්ත්වය, කාබනික ද්‍රව්‍ය යෙදීමෙන් පමණක් සිදු කරන කෘෂිකර්මාන්ත රටාවක් තුල දී වර්ෂයක් පාසා පැන නගින ස්වභාවික තත්ත්වයක් වන බව පැහැදිලිය. එවන් තත්වයක් තුල සහල් ආනයනය කළහොත් සහ එම ආනයනය වල ගුණාත්මය ගැන සහතිකයක් දීමට අපොහොසත් වුවහොත් අපගේ ප්‍රධාන ආහාරයේ සුරක්ෂිත බව සේම එහි ආරක්‍ෂිත බවද ප්‍රශ්නකාරී වන බව ඉතා පැහැදිලි කරුණකි.

සහල් අවශ්‍ය පමණින් ඇති විටදී වුවද මිල ඉහල යාම පාලනය කිරීම අපහසු කරුණක් වී ඇති බව පසුගිය වකවානුවේ සිදුවූ සිද්ධි දාමයන් අනුව පැහැදිලිය. වී හෝ සහල් හිඟ අවස්තාවලදී ඇතිවන තත්ත්වය විස්තර කල යුතු නැත. මුං ඇට සහ බඩ ඉරිඟු වල වර්තමාන වෙළඳපල මිල ගණන් සැසඳීමේදී කලින් සඳහන් කල පරිදි පාරිභෝගිකයා හට වන අසාධාරණය සඳහා හොඳ උදාහරණ සපයා ගත හැක.

වැඩිවන මිල සඳහා රජයේ මැදිහත්වීමකින් සහනදායී මිලකට පාරිභෝගිකයා හට ආහාර සැපයිය හැකි බව පිලිගනිමි. එහෙත්, ඒ සඳහා වැයවන්නේද අපේම මුදල් ය. අවසානයේදී එහි සැඟවුණු පාඩුව ද අපටම ය.

අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය වෙනස් කිරීමට ඉල්ලීම හෝ එයට විරෝධය පෑම මෙම ලිපියේ අරමුණ නොවේ. එම කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන රජයේ ගැසට්ටුව මැයි මස 6 දින නිකුත් කර ඇත.

එහෙත් සිදුවිය හැකි දේ පැහැදිලි කර දීම යුතුකමක් කොට සලකමි. එවැන්නක් මේ අවස්ථාවේදී නොකිරීම තුලින් ඇති විය හැකි පශ්චත්තාපය හෝ අවම වශයෙන් වලක්වා ගත යුතු යයි සිතමි. වස විස රහිත ආහාර පරිභෝජනයට ගැනීමේ ඇති වැදගත්කම කිසි විටෙක විවාදයට තුඩු දෙන කරුණක් නොවනවා සේම ආහාර සුරක්ෂිතතාව ජාතියක මුලික අවශ්‍යතාවක් වනබව අප සියලු දෙනා පිළිගන්නා සත්‍යයක් වේ.

රටේ කෘෂිකාර්මික සංවර්ධනයට නව තාක්ෂණය අවශ්‍ය බව බොහෝ දෙනා පිළිගනිති. එම තාක්ෂනය ශ්‍රී ලංකාවේ හෝ විදේශයක උපත ලැබුවත් අපේ කෘෂිකාර්මික පද්ධතියට ගැලපේ නම් ඒවා යොදාගැනීමට බාධාවක් නැත. කාබනික වගාවේදී කොතරම් ඉක්මනින් මෙම නව තාක්ෂනය භාවිත කල හැකි දැයි සහ එම තාක්ෂණයේ ශක්‍යතාව සහ ඒවායේ අනුවර්තිතභාවය කෙතරම් ඉක්මනින් තීරණය කල හැකිවේ දැයි නොදනිමි.

අද බොහෝ විට කාබනික කෘෂිකාර්මික තාක්ෂණයෙන් ඉහල තැනක සිටින්නේද බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන බහුජාතික බුවල්ලන් මය. ඔවුන්ගේ කාබනික තාක්ෂණය ද අකැප යයි උපකල්පනය කල හොත්, තාක්ෂනය ආනයනය කරන්නේ නම්, විකල්ප සෙවීමද ආරම්භ කලයුතුය.

උදාහරණයක් ලෙස, ක්ෂුද්‍ර ජීවි තාක්ෂනය ද ඇතුළුව කෘෂිකර්මාන්තයේ යොදා ගත හැකි නව තාක්ෂනය අපේ විද්‍යාඥයන් සතුය. ක්ෂුද්‍ර ජීවින් අඩංගු ජෛව පොහොර ආනයනය පාරිසරික ගැටළු රාශියක් ඇති කරන කාරණයකි. අපේ රටේ නිපදවුණු හෝ සංවර්ධනය වූ නව තාක්ෂනය අපේ කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් භාවිත කිරීම පිලිබඳ විවාදයක් නැත.

එහෙත් මෙම ආනයන තහනමත් සමගම, කෙටි කලක් තුලදී එම තාක්ෂනය කෘෂි පාරිසරික කලාප 46 ක විහිදී පවතින කෘෂිකර්ම ක්ෂේත්‍රයට යොදා ගැනීම කෙතරම් ප්‍රායෝගික දැයි සිතා බැලිය යුතුය. එය හිතුමතේ කලයුතු දෙයක් නොවන බව නම් පැහැදිලිය.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීරණය ශ්‍රී ලකාවේ ආයෝජකයන්ට විවිධ මංපෙත් විවෘත කර ඇති බව ද කිව යුතුය. නව ව්‍යාපාර අවස්ථා මෙම සැම අභියෝගයක්ම හමුවේ පවතී. අපේ බෝග වල පෝෂණ අවශ්‍යතාව සපුරාලන්නට අවශ්‍ය නව තාක්ෂණයද මුසු කල කාබනික පොහොර භාවිතයට කොපමණ කල් ගතවේ දැයි කිව නොහැක. ඒ සඳහා අවම වශයෙන්, අස්වැන්නේ ප්‍රමාණය හෝ අඩු නොවීමට යෙදිය හැකි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණ දැයි ගණනය කල යුතුය.

උදාහරණයක් ලෙස, වී වගාවෙන් හෙක්ටාරයට ටොන් 5 ක සාමාන්‍ය අස්වැන්නක් ගන්නේ නම් ඒ සමග පසෙන් ඉවත්වන නයිට්‍රජන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 105 කි. තවත් ආකාරයට කිව හොත්, පස තුල අවශ්‍ය පෝෂක ප්‍රමාණය නොමැතිනම් මාස 3 වයස් කාණ්ඩයේ වී වගාවකින් හෙක්ටාරයට ටොන් 5 ක අස්වැන්නක් ලැබීමට, එයට නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 105 ක් මෙම වර්ධන කාලය තුලදී අවශ්‍යතාවට අනුව ලබා දිය යුතුය.

අපි කන්න දෙකක් වගා කරන බැවින්, මෙම අස්වැන්න ඉදිරියේ දී ද ලැබේ යයි උපකල්පනය කර, වර්ෂයකට වී වගා කරන වපසරිය හෙක්ටාර මිලියන 1 ලෙස ගත හොත්, සමස්තයක් ලෙස කුඹුරු පසෙන් නයිට්‍රජන් ඉවත් වන ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 105 ක් වේ (නයිට්‍රජන් ටොන් 105,000 කි). අවශ්‍ය වන්නේ මේ ප්‍රමාණය නැවත පසට ලබා දීමය. ශාකයේ මුල පද්ධතියෙන් නයිට්‍රජන් අවශෝෂණය කරනු ලබන්නේ නයිට්‍රේට් හෝ ඇමෝනියම් අයන ලෙසය. පෝෂක ලබා දීමේ ප්‍රභවය රසායනික හෝ කාබනික දැයි ශාකය නොසලකයි.

ඩී. එන්. සිරිසේන ඇතුළු පර්යේෂකයන්ගේ වාර්තාවට අනුව, කුඹුරු හෙක්ටාර මිලියනයක් වගා කිරීමට පමණක් වසරකට කාබනික ද්‍රව්‍ය ටොන් මිලියන 10 ක් අවශ්‍යව වනු ඇත. මෙම ටොන් මිලියන 10 න්, පර්යේෂකයන්ට අනුව, පිදුරු ටොන් මිලියන 5 ක් භාවිත කර ඇත. මෙමගින් වී වගාවට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය සම්පුර්ණයෙන්ම සැපයෙන බව අනුමාන කල හැක.

එහෙත් ඊට අමතරව තවත් කාබනික ද්‍රව්‍ය ටොන් මිලියන 5 ක් වී වගාව සඳහා පමණක් වසරකට අවශ්‍යවන බව පැහැදිලි වේ. එම පර්යේෂකයන්ගේ වාර්තාවට අනුව, රසායනික පොහොර නොමැතිව 21.5% සිට 31% දක්වා අඩු වන වී අස්වැන්නක් ලබා ගැනීමටත් පිදුරු වලට අමතරව කොළ පොහොර ටොන් මිලියන 10 ක් සහ ගොම පොහොර ටොන් මිලියන 40ක් වසරකට අවශ්‍ය වේ.

අනෙකුත් බෝග වගා සහ ඒවා සඳහා කාබනික ද්‍රව්‍ය අවශ්‍යතාව සහ සැපයුම පිලිබඳ කතා කිරීමට මෙහිදී අදහස් නොකරමි. අප දකින සිහිනය එතරම් සුන්දර නොමැත.

තිරසාර ආහාර සුරක්ෂිතතාවක් කරා ලගාවීමට අපි ජාතියක් ලෙස සැම උත්සාහයක්ම දැරිය යුතුය. ඒ සඳහා වන ගමන, ‘මග’ හොඳින් දැන යායුතු වන අතර, කෘෂිකර්මාන්තය එම මග ඔස්සේ අප ගෙන යන ප්‍රධානතම වාහනය වේ.

අප විසින් අවබෝධ කරගත යුතු මුලික කරුණ වනුයේ කෘෂිකර්මාන්තය හුදෙක් විජ්ජාවක් නොවන බවයි. එසේම එයින් විජ්ජා පෙන්වීමට ද නොහැකි බවයි. මන්ද යත්, එය නිසැකවම විද්‍යාවක් සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් වන බැවිනි.

මහාචාර්ය බුද්ධි මාරඹේ

බෝග විද්‍යා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Related posts