උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!

food the cook of castamar
අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ.
බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ ගල්වනවා. එතකොට ඇය හිනාවෙනවා. හැබැයි එහෙම අවස්ථා අල්පයයි.
මේ දුක නිසාමදෝ ඇය උදේ රැයින් පටන් අරං නින්දට යනකම් කළේ උයනපිහින එක. බනක් දානයක් මඟුලක් කොහේද ගිහිං කෑම හදන එක. අපේ ගමේ එහෙමට රසට කෑම හදන්න පුලුවන් මනුස්සයෙක් තවමත් නෑ කියලා මගේ යාලුවෝ නිතරම කියනවා. වැලිතලප දොදොල්වල ඉඳලා ආස්මී වෙනකම් ඕනෑම රසක් හදන්න එයා දන්නවා.
කළුවට කළුවේ උයන කක්කුටු හොද්දේ ඉඳලා පොලොස් මාළුවේ ඉඳලා අබ දාලා තෙම්පරාදුවෙන් ගමම සුවඳ ගස්සන කොස් මාළුවේ ඉඳලා ඕනී මාළුවක් දිව පිනායන්න හදන්න ඇහැක්. කොස් දෙල් උනත් ඇය තැම්බුවේ ඇගේම ක්‍රමයකට. පිට්ටුවගේ රසට. හැඩයට. ඉදලෝලු හත්තේ ඉඳලා ලේන හතු වෙනකම් ඕනී හත්තක් මස් පරාද කරන රහාට හැදුවා. ඒ සෝස් බෝස් මොකවත් නැතුව. මට දැන් හිතෙන්නේ ඇය කුස්සිය අස්සේ ඉඳලා රහාට කෑම හදලා තමන්ගේ ජීවිත දුක දාහය සහන් සිසිලසකින් තුනී කරගත්තා කියලා.
ඇත්තටම රහා කෑමක් කියලා කියන්නේ රහා කතාවක්. කෑම රහා වෙන්නේ ලුණු ගම්මිරිස් වගේ දේවල් අතට අහුවෙන පරිමාව අනුව. ඒකට වෙන්නැති අත්ගුණය කියලා ගමේ හාදයෝ කීවේ.
මටත් කවදාවත් හැන්දකින් ලුණු ගම්මිරිස් ඉසලන්න හිතෙන්නේ නෑ. එහෙම කෑම හැදුවත් නියම මාත්‍රාවට මුහුවෙන්නෙ නෑ. රස එන්නේ නෑ. ඒ නිසාම තමයි එක එක්කෙනාගේ කෑම රස ඉසියුම් විදිහට වෙනස් වෙන්නේ. ඒ මනුස්සයාගේ රිද්මය එක්ක කෑම රස සංයෝජනය වෙනස් වෙනවා. රසේ ඉසියුම් මාත්‍රාවන් අහුවෙන්නේ ඒම..
ඉතිං මට හිතෙන්නේ  අපිට අපි හදන නෙක කෑම හරහා අපේ ලෝකය තව කෙනෙක් ඉස්සරහට අරගෙන යන්න පුලුවන්. ඒ වගේම ජීවිතේ ඇතුලේ කැරකෙන දුක වේදනාව මහංසිය පුච්චලා දාලා ජීවිතය සතුටු සුළං රැල්ලකින් පුරවන්න පුලුවන්.
ඉතිං මම ඊයේ හැදුවා හරක් තෙල් මන්දේ හීන් නාරන් යුෂෙන් තම්බලා. ගම්මිරිස් ලුණු සෝයා සෝස් කොච්චි සුදුළූණු එක්ක. නොහිතපු රසක් ඒක අස්සේ සංයෝගවෙලා. අද කාලෙකින් පෝරණුවට ගින්දර දාලා ඌරු මස් තක්කාලි සුදුළූණු කෑමක්.
මේවා පොත්වල තියෙන වට්ටෝරු නෙවෙයි හිතට හිතෙන හැටී. අලුත් අලුත් රස එන්නේ එහෙම වෙන්න ඇති.. කොහේහරි තැනක මම දැක්කා උයනවා කියන්නේ භාවනාවකට කියලා. ඒකත් ඇත්ත. මට හිතෙන්නේ ඒක ජීවිතාශාව එක්ක එන පොඩි ආවේශයක්. ක්ෂණික උමතුවක්..
මට නිකපොත පතල් කපන්න ගියාම හමුවුණා වළව්වක නටබුන් අතරේ ජීවිතය හිඳුවාගෙන තනියෙන් බලන් ඉන්න මනුස්සයෙක්. නිකපොත ධනපාල මාමා. මිනිහා දඩමස් උයන්නේ හරි අපූරු ක්‍රමයකට. මස් හොද්ද ලිපේ තියා ළඟින් වාඩිවෙලා කයිය ගහන ගමන් තමයි තුනපහා මිරිස් ළූණු හොද්දට වීසි කරන්නේ. බලන් ඉන්න එකෙක්ට හිතෙන්නේ අද කාලා හමාරයි කියලා.
ඒත් ඉතිං පිඟානට බෙදලා කටට වැටෙනකොට අමුර්තරස. ඒකට තමයි උයන කලාව කියන්නේ. හුදකලාවේ තනිකමේ ලස්සන මිනිහා දඩමස් හොද්දට මුහුකරන්නේ එහෙම.. ඒක ඉතිං රාහා වෙනවා කියන දේ අහන්නත් දෙයක් ද?..
කංචි කැලේ දී හම්බවුණ අන්නන් මිත්‍රයා ගත්තත් එහෙමයි. රතුපාට වෙන්න මීමින්නා පුච්චිලා ගත්තාම ඒක මාලුවක් නොකර කපලා කන්න ඇහැක්. ඒ ගින්දර සංයෝග කරන හැඩේ. දුම් මසට වදින හැඩේ අස්සේ තමයි ඒ රහා උපදින්නේ.. මීමින්නාගේ පීකුද්ද අලුයටට දාලා ලුණු දාලා දෙහි ඉස්ම ටිකක් උඩින් ඉහලා ගත්තාම ඒක නිකං අමුවට කනවා වගේ හැඟීමක්.. ඒත් රස.. ඈතට පේන තොප්පිගල කන්ද වගේ උසයි.
ඉතිං මිනිස්සු උයන කෑම ඒ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඕසෙට බැඳිලා. දුක වේදනාව කාන්සාව පහකරලා ජීවිතේ සතුටින් පුරවන්න රස කෑමකට පුලුවන් වගේම එහෙම කෑම හැදීම අස්සෙත් ඒ දේවල් තුනී කරන්න ඇහැක්.. ඉතිං ආයෙත් කියන්න වෙන්නේ උයනවා කියන්නේ රහා වැඩක්.. ඒක දුක වේදනාව තුනී කරන ස්වවින්දනයක්….
කේ.සංජීව

Related posts