කැන්දපත් ඇල්ලට ගමනක්

kandapath-ella

ඇඳිරිය හෙටානිද්දට අහවරයි ඕන් කියලා ඇහෙනවා. ලොක්ඩවුන් ඉල්ලුවාම ඇඳිරිය දාපු රටේ ගෙදර ඉඳලා කොරන්න වැඩක් හිත හිතා ඉන්නකොට මෙහෙම හිතක් ආවා.

ආගිය තැන්වලට මතකයෙන් යන්න ඇහැක් නම්.. ඒක ආතල් හිටී. ඉතිං මතක මඟුල් සොමියක් ගන්න කියලා තමයි මේ හදන්නේ.

මෙහෙම හිතහිතා මුහුනු පොතේ එහෙට්ට මෙහෙට්ට ගාටනකොට මෙන්න හුරු පුරුදු එකපාරටම ඇහැ අස්සට කඩන්පැන්න පොටෝවක් දැක්කා. මේ බොලේ ගමේ දියඇල්ල, කැන්දපත් ඇල්ල නොවැ කියලා හිතුනා.

ඔව්.. මීට කළින් ලියලා නැතිවුණත් පොඩි එකා කාලේ ඉඳලා දියේ ගිලුණු මේ මනරම් ඉසව්ව ගැන ලියන්න ඇහැක් නේද කියලා හිතුනා, ඒ එක්කම. එහෙනම් ඔන්න ඒ පින්තූරයට පින් අයිති වෙන්න කියලා ගමේ දියඇලි කොමළියගෙන් නාකියාගෙන මේ මතක මංපෙත දිගේ ඇවිද යන්න වරෙව් කියලා වැඩේට බහිනවා.

දිය ඇල්ලට පාර

මුලින්ම මේ දිය ඇල්ලට ඔබ යන්න හිතනවා නම් පාර කියන්නම්. රත්නපුරේ ඉඳලා හංගමුව හරහා කරවිට යන බස් එකකට ඔබ නගින්න ඕනෑ. එහෙව් බස් එකකට නැගලා යනකොට යනකොට හංගමුව හන්දිය පාස්වෙනවා.

හංගමුව කියලා කියන්නේ සඟුන් හමුවුණ තැන කියලා කියනවානේ. හංගමුව හන්දියට උඩැහින් තියෙන පන්සලේ මලය කියන කන්දේ විශාල ආරාමයක් ඉස්සර තිබුණා කියලා ජනකතාව.

හංගමුව කියලා කියන්නේ ඉස්සර වොලිබෝල්වලට සෑහෙන්න පුරසිද්ධ ගමක්. වීර ක්‍රීඩා සමාජය ඒකාලේ ගම්පහට විතරයි දෙවෙනි වුණේ. ඒ අතීතය. අහපු කයි කතන්දර. ඉතිං හංගමු හන්දියෙන් ගඟ පැනලා කරවිට පාරේ තවත් උඩහට යනකොට පුරාණ පත්තිනි දේවාලේ හමුවෙනවා.

මේ ඉසව්ව මඟුරුගොඩ. ලස්සන ජනකවියක් තියෙනවා. දැන් මට ඒක මතක නෑ. මතක් උනොත් ලියන්නම්.. කොහොම වුණත් ජනකවි ගැනත් වෙනම එකක් ලියමු..

මඟුරෝ ගොඩාක් හිටිය දොළක් නිසා මඟුරෝ ගොඩ මඟුරුගොඩ උනා කියලා තමයි කියන්නේ. ඒ කවියටත් තියෙන්නේ ඒ වගේ තේරුමක්.

ඒ දොළ පාර අපි උස්මහත් වෙනකොට අපේ ඇස් ඉස්සරහාම අතුරුදන් වුණා. හේතුව ගොඩ පතල් කර්මාන්තය. ඒ දොළ පාර විතරක් නෙවෙයි අපි ඕසෙට අන්නාසි ගිල්ල මහා විශාල අන්නාසි ගලත් පොළව පලාගෙන අතුරුදන් .. කොටඋඩ රත්නපුර කියන්නේ නිකං ද? මඟුරුගොඩ පහුකරලා උඩහට යනකොට ඔන්න අපේ ගම. පෑලිමෝදර. පැලලි ඇතිරුව මෝදර කියන එක පෑලිමෝදර උනා කියලා තමයි කයිය.

උමං දොළ හංගමුව ගඟට වැටෙන්නේ මේ ගම මැදදි තමයි. පෑලිමෝදර ඉඳලා කරවිටට යන්න තියෙන්නේ කඳු පාරක්. ඉතිං මේ කන්ද පටන් ගන්න තැනින් තමයි ඔයා මේ ඇල්ලට හැරෙන්න ඕනී.

අලිමංකඩ

මෙතනින් තමයි අලුපොත කියන ගමට හැරෙන්නේ. මේක මුලින්ම අඩි පාරක්. දැන්නම් තැනින් තැන වළවල් හදලා තැනින් තැන කොන්ක්‍රීට් කරලා තියෙනවා. මේ හැරෙන තැන හන්දියට අපි නම් කියන්නේ අලිමංකඩ කියලා.

ඒකට හේතුව තමයි අපේ ගමේ හිටිය අලි බලන පවුල පදිංචිවෙලා හිටියේ මෙතන. අලි මුදියන්සේ කිව්වාම සපරගමුවෙම ප්‍රසිද්ධ අලි බලන්නෙක්. අපි නම් ඉතිං බලි බලන්න ආස අයනේ. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවනේ. කොහොමහරි මේ කියන අලිමංකඩින් හැරුණාම මීටර් පන්සීයක් යනකොට මෙන්න කෑගහනවා දිය ඇල්ල.

දිය ඇල්ලට ටිකක් උඩින් පුරාණ විහාරය. ඉස්සර මේ පාර ගියේ විහාරේ මිදුල උඩින්. පස්සේ පන්සලේ හාමුදුරුවෝ පාර වහලා වටපාරක් දාලා පන්සල වටේට තේ වැව්වා. ඒ සසර චූන්වෙලා. මේවා ලියලා ගමට යන්නත් බැරිවෙයිද මන්දා.. කොහොම වුණත් මේක තමයි ඇත්ත..

කැන්දපත් ඇල්ල

මේ දිය ඇල්ලට අපි කියන්නේ කැන්දපත් ඇල්ල කියලා. කැන්දකොළයක් වගේ වැටෙන හින්දා ඒ නම ආවා කියලා කියනවා. සමහරු රතඹලා ඇල්ල කියලත් කියන්නේ මේකටම තමයි.

හංගමුව ගඟ නැත්නම් රක්වාන ගඟ කියලත් කියන රක්වානේ ඉඳලා ගලන ගඟ මේ ඉසව්වෙදි කඩාහැලෙනවා. අඬාහැලෙනවා. කෑගහගෙන පහළට පනිනවා.

මේක ඇත්තටම අඩි විස්සකට වඩා වැඩි කළුගල් ප්‍රපාතයක්. හංගමුව ගඟ හැල්මේ දුවගෙන ඇවිත් මේකට පැන්නට අපි මක්කා කොරන්නද? ඒත් ඉතිං මේ පැනිල්ලේ සවුන්දර්‍ය බලන්න මෙතන එන්න ඕනී. ගැහැනියක් රෙදි අහසට වීසිකරලා බැලේ එකක් නටනවා වගේ ඇහැට රහා ගේන පැනිල්ලක් ඒක.

ඉතිං මේ ඇල්ල ගැන ලස්සන මතක ගොඩක් තියෙනවා. අපේ ගමේ කොල්ලෝ කොලුගාය පෙන්නුවේ මේ ඇල්ලට පැනලා. පැනලා පීනුවාම ඉතිං කොල්ලා තාමා.. දිය ඇල්ල කඩන් වැටෙන තැන තියෙන දියවලේ පීනලා දිය ඇල්ල යටින් කිමිදිලා දිය ඇල්ල ඇතුලේ තියෙන ගුහාවට රිංගුවාම තමයි නියම බඩුවක් වෙන්නේ.

මේ ගුහා ගතවිල්ලට, පනින පැනිල්ල වගේම පනින ඈන්ගලයත් වැදගත්. පහළට කෑගහගෙන පනින වතුර කඳ, උඩට බුබුලු මල් පුප්පනකොට අපි උනත් උඩහට වීසිකරලා දානවා. ඉතිං හොඳට පීනන්නයි හොඳට කිමිදෙන්නයි දෙකම ඕනෑ මේ වැඩේට.

පෑලිමෝදර අලුපොත කියලා කියන්නේ පොඩි කාලෙ ඉඳලම ගඟ එක්ක ජීවත්වෙන පිරිමි ඉන්න ගම්. මම එහෙම කියන්නේ මේ ගම් දෙකේම ඉන්න පිරිමි රස්සාවට කරන්නේ ගඟේ පතල් කර්මාන්තය නිසා. ඒ හින්දා ඉතිං ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම පීනන්න වගේම කිමිදෙන්නත් මේ ගම්වල කොල්ලන්ට ඇහැක්.

කෙල්ලෝ ඉතිං ඉස්සර ගඟේ පීනුවට දැන් ගෙවල්වලින් එළියට බහින්නේ නැති හින්දා දැන් කෙල්ලන්ට පීනන්න බෑ. හැබැයි අපේ වයස්වල කෙල්ලන්ට හොඳට පීනන්න ඇහැක්. ඒ උන් නාන්න ගඟට ආපු නිසා. දැන් නාන්න ගඟට එන කෙළි නෑ. ආවත් නෙස්ටර්මෝල්ට් ගඟේ නාන්නත් බෑ.

කොහොම වුණත් ඉතිං අවුරුදු නිමාඩු කාලෙට ගඟ නිල් කැටේට පාට උනාම (මේ කාලෙට විතරයි ගඟේ බොරේ යන්නේ. ඒ මොකද මැණික් පතල් නතර කරන නිසා) අපි රංචු පිටින් යනවා මේ කැන්දපත් ඇල්ලට.

ඇල්ලේ ගල්වලවල් රැසට. ඒවෑ තාමත් මැණික් හම්බවෙනවා ඕසෙට. අශ්වකුර ලාංචන තියෙනවා තැනෙක දෙතැනෙක. ගඟේ දියට යට ඇතෙක් ඉන්නවා ගලේ කොටලා කියලා කතාව. මේවා නිධන් ලකුණු.. එහෙමයි කයිය. ඉතිං ගම්මු කියන්නේ මහා නිධානයක් තියෙනවා මෙතන කියලා.

සමහරු කියනවා අලුපොත පන්සලේ හිටිය සිවුරු හොරෙක් මේ නිධානය ගත්තා කියලත්. වළගම්මා රජ්ජුරුවෝ කුකුළුවා විහාරෙට යනකොට දියනෑවේ මෙතනින් කියලත් කයියක් තියෙනවා. ඉස්සර කෙම්මුර දවසට රත්තරං ආඳෙක් මතුවුණා කියනවානේ මේ බුබුලෙන්.

අපිනම් ඉතිං දැකලා නෑ. හැබැයි අපේ ආතා මේ කතා හරි ලස්සනට පන පිහිටුවලා ඉස්සර කියනවා. මැජික් පිස්සු ලස්සනක් ඒ කතාවලට තිබුණේ. සමහර පායන කාලවල ගොම්මන් වෙලාවල්වලට දිය ඇල්ල කෑගහනවා.

එතකොට ආතා කියනවා ඔන්න බොලව් පායන කාලය දිග වෙන්න එන්නේ කියලා. දිය ඇල්ල කෑගහනවා කියලා කිව්වේ දියඇල්ලට විරුද්ධව සුළං හමනකොට ආපු සද්දේ. සමහර තද වැහි දවස්වලටත් ඇල්ල කෑගහනවා. එතකොට නම් ඇල්ල පහළ ඉන්න අපි ගංවතුරට පනින්න මඟ බලනවා. ගඟ අයිනේ ගෙවල්වල මිනිස්සු බඩු අස්සකරන්න ලකලෑස්ති වෙනවා.

ඇල්ල ඇතුලේ ගුහාව

කොහොම වුණත් මේ දියඇලි කොමළියට ජීවය දෙන මේ ගල් තලාව මාරම ලස්සන තැනක්. දිය ඇල්ලට ඇතුලෙන් තියෙන ගුහාවත් කටාරම් කොටපු එකක්ද කියලා වෙලාවකට හිතෙනවා. මේ ගුහාව ඇතුලේ නැගිටලා ඉන්න ඇහැක්. එහෙම ඉන්නකොට ඔලුව උඩින් තමයි ගඟ කඩන් හැලෙන්නේ. ගඟ පැහැදිලි දවසට ගුහාව අස්සට ඉරඑළිය ටිකක් දිය අස්සෙන් පනිනවා.

සමහර දවස්වලට දියඇලි කොමළියගේ රෙද්ද එහෙට මෙහෙට උනාමත් ගුහාව පේනවා. හැබැයි එහෙමට කියලා ගුහාව ඇතුලට ගියාම ඇතුල පේන්නේ නෑ එහෙමට.

කොහොමවුණත් මේ ගුහාව අස්සට කිමිදීම කියලා කියන්නේ ජීවිතයේ අමතක වෙන්නේ නැති මතකයක්. එහෙම වාර කීයක් මේ ගුහාව අස්සට ගිහිං ඇද්ද අපි. එක දවසක් අපි මේගුහාව අස්සට ගිහිං අඩියක් ගහමු කියලා කතා වුණා. ඒත් ඉතිං අපේ රංචුවේ හිටිය එකෙක් මෙහෙම කිව්වා _ මේ කිල්ලට අහුවෙලා මැරෙන්නද හදන්නේ. එතනින්ම ඒ යෝජනාව හංගමු ගඟට වැටුණා.

ඒත් ඉතිං මේ දියඇල්ල පහළ අපි ඕසෙට බීලා ඇති. බජව් දාලා ඇති. දියවළවල්වල කිමිදිලා ජපන් ගහලා (දියයට කිමිදිලා මැණික් ඉල්ලම් බාල්දිවලට ගෙන ඒම) ඇති. පැන්සි කෑලි, නිල් ඔට්ටු කෑලි, දෙළුම් ඇට වගේ රතු කෑලී ඕසෙට තිබුණ තැනක් තමයි කැන්දපත් ඇල්ල කියලා කියන්නේ.. ඉතිං ඊළඟට ගඟේ පතලෙකින් ආයෙත් මතුව එන්නම්..

මතකය දිගේ 01

කේ. සංජීව

Related posts