අර්බුදයට විසඳුම ජූලි 09 න් පසුව අපිට ලැබෙයිද?

gossiplanka

ආයෙත් අරගලය පණගහලා නැඟිටලා අපි දිහා බලාගෙන ඉන්නවා. රටම නොනිළ ලොක්ඩවුන් එකක. අද රජය නිවේදනය කළේ පාසල් සති දෙකකට වහලා දානවා කියලා. ඒවා හරි සරළ තීන්දු. කොවිඩ් කාලෙත් එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපනයට හොඳමට කෙළවෙලා. සීඩබ්ලිව් ඩබ්ලිව් කංන්නංගර ගැන කයි ගහන පාලකයෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන දෙයක් නෑ. ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි. විභාග කාල සටහන උනත් මඤ්ඤමක් වෙලා අහවරයි. ඒත් කාටද වගේ වගක් තියෙන්නේ ? කාටවත් නෑ.

මේ අහු අස්සේ අම්මලා ළමයි අරගෙන වැව් වලට පනිනවා දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ කියලා. සමහර අම්මලාගේ බඩේ ඉන්න දරිවෝ හදිස්සි ප්‍රතිකාර නෑ කියලා මෙලොවට එන්න කළින්ම එලොව ගිහිං. පිලිකා රෝගීන්ට දෙන ඖෂධ සමහර ඒවා සොයාගන්නවත් නෑ. රසායනාගාර ද්‍රව්‍ය නෑ කියලා සමහර හදිස්සි වෛද්‍ය පරීක්ෂණ කල් ගිහිං. ඒ අස්සේ ජැක්සන් ඇන්තනීගේ වේගෙන් ගිය කැබ්බෙක අලියෙක්ගේ ඇගේ හැප්පිලා. ජැක්සන් අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට ගෙනල්ලා. දැන් බුකියේ දෙපිළ බෙදිලා ජැක්සන් මැදට තියාගෙන හෙන වළියක්. ඒ අස්සේ කංචන විජේසේකර තෙල් නැව් එන කාලසටහන ජනතාවට ඉදිරිපත් කරනවා. හුඟ කාලෙකින් අගමැතිතුමා ජාතිය ඇමතුවේ නෑ කියලා ජනතාව කසුකුසුවක.

මේ සියල්ල අස්සේ දැන් ආයෙත් අරගලය මෝදු වෙලා. තැනින් තැන ආයෙත් විරෝධතා හුස්ම ගනිමින් තිබෙනවා. ඒ අතරේ ගෝල්ෆේස් අරගලකරුවන් කොළඹට ජනතාවට පැමිණෙන්න දිනයක් යෝජනා කරලා. දිනය තමයි ජූලි 09. ආයෙත් ගෙදර ඇරලා මිසක් අපි ගෙදර යන්නේ නෑ කියලා හිතාගෙන එදාට කොළඹට වරෙල්ලා කියලා තමයි අරගලකරුවන්ගේ යෝජනාව. ජවිපේ, සජබේ වගේ විපක්ෂ බලවේගත් මේකට සහාය දෙනවා කියලා ආරංචියක් යනවා. ඒක සුබවාදී දෙයක්. නිර්පාක්ෂික අරගලය සර්වපාක්ෂික බහුපාක්ෂික වෙනවනම් ඒක මරු. කොහොමහරි මේක එකතුවෙලා කරන්න ඕනී සටනක්.

රාජපක්ෂ පවුල ලංකාවේ දේශපාලනයෙන් ඉවත් කිරීම තමයි මේ අර්බුදය විසඳීමේ මඟ හෙළිපෙහෙළි කරන මන්සන්දිය. ඒක අපි තේරුන් ගන්න අවශ්‍යයි. මේ පවුලෙන් තොර පාලනයක් කීවොත් විතරයි අපිට රට තුළ වගේම රටෙන් පිටත සිටින ජනතාවගෙත් සහාය සහ විශ්වාසය දිනාගන්න තියෙන එකම මඟ. අන්තර්ජාතික සහාය පවා දැනට වඩා ලබාගන්න මේ හරහා පුලුවන් වේවී.

හරි ලබන ජූලි 09 වෙනිදා මුලු ලංකාවම කොළඹට ඇවිත් මේ පවුල් පාලනය අවසන් කළා කියමු. මේ අර්බුදයට විසඳුම ඒ සමග අපිට ලැබෙයිද? තෙල් පෝලිම් නැති වෙයිද? රෝහල් වලට බෙහෙත් ලැබෙයිද? කන්න අවශ්‍ය බඩුවල මිල ගණන් අඩුවෙයිද?

මම නම් හිතන්නේ මේ කිසිවකට මැජිකල් විසඳුම් නෑ. මේ අරගලයේ ඉන්න ගොඩක් වාමාංසිකයන්ට මේ අර්බුදයට තියෙන්නේ සමාජවාදී විසඳුම්. ඒත් ඒ බොහෝ විසඳුම් ප්‍රායෝගික නැහැ. එවැනි විසඳුම් ප්‍රශ්නය තවත් අවුල් කරන්න ඉඩ තිබෙනවා. ගෙවුම් ශේෂය පිළිබඳ ගැටලුවට අපි මොකද්ද දෙන විසඳුම. ඒක දවසින් දෙකෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි.

අන්තර්ජාතිකව ගන්න උත්සාහ කරන ණය කන්දකට විතරයි මේ ප්‍රශ්නය තාවකාලිකව සමනය කරන්න හෝ පුලුවන්. ඊළඟට අපි අයිඑමෙෆ් සාකච්ඡා සාර්ථක කරගත යුතුයි. ඒ හරහා විතරයි ළිඳෙන් ගොඩ එන්න මාර්ගය වැටිලා තිබෙන්නේ. අපනයන ආදායම සහ ආනයන වියදම අතර අගාධ පරතරය අපි වහාම අඩුකර ගත යුතුයි. එක්කෝ අපි සුවපහසුව අඩු කරන්න ඕනී නැත්තං අපනයන ධාරිතාවයන් වැඩි කරන්න ඕනී. ඒකට ඉතිං කර්මාන්ත අංශය දියුණු කරන්න අවශ්‍යයි. අනෙක තමයි සංචාරක කර්මාන්තය. අපි මේක ගැන වෙනස්ව හිතන්න ඕනෑ. තායිලන්තය වගේ රටක් අවශ්‍යනම් ආදර්ශයට ගන්න පුලුවන්. මේවා කරන්න නම් ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. අලුත් නීති අණපනත් සම්මත කරගන්න අවශ්‍යයි.

අනෙක අපි විදෙස් ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවෙලකට වහාම යන්න අවශ්‍යයි. ධම්මික පෙරේරා වගේ කෙනෙක් අමාත්‍ය කළා කියලා මේ ප්‍රශ්නයට විසඳුම් නෑ. නීති අණපනත් වෙනස් වෙන්න ඕනී.

අපි රාජපක්ෂවරුන් ඇත්තටම ගෙදර යැව්වා කියමු.. ඊටපස්සේ අපි මේ ප්‍රශ්න විසඳන්න භාවිතාකරන ආර්ථික මොඩලය මොකද්ද? පූසා මැටි උනත් මීයෝ අල්ලනවානම් ප්‍රශ්නයක් නෑ. අපි ප්‍රායෝගිකවාදීන් වෙන්න ඕනී. දැනට අපි ප්‍රජාතාන්ත්‍රක සමාජවාදී දෙමුහුමක් නේ. අපි 09 වෙනිදට සමාජවාදී විප්ලවයක් කරන්නේ නැත්තං පූර්ණව වෙළඳපොළ ක්‍රමය විශ්වාස කරන මොඩලයකට යා යුතුයි.

මේකෙදී සෞඛ්‍ය අධ්‍යාපනය වගේ දේවල් හැරෙන්න අපිට බරක් වෙලා තියෙන සියලු රාජ්‍ය ආයතන විකුණලා දැමීම ගැන ප්‍රතිපත්තීමය තීරණයක් ගන්න වෙනවා. තවත් වැනි වැනී ඉන්න බෑ. වෙළඳාම පුද්ගලික අංශයට දීලා රාජ්‍ය වේවැල අතට ගන්න ඕනී. ඒ කියන්නේ හැම ආයතනයක්ම, ව්‍යාපාරයක්ම නියාමනය වෙන්න ඕනී. රාජ්‍ය බදු ගෙවන ජනතාවගේ සියලු අයිතීන් ආරක්ෂා කරන තැනකට යන්න ඕනී.

මේකට නීතියේ පාලනය සැමට සාධාරණව ක්‍රියාත්මක වෙන පරිසරයක් හදන්න වෙනවා. යුක්තිය බලාගෙන ඉන්න හැවෝටම යුක්තිය හිමිවෙන්න ඕනෑ. ව්‍යාපාර වුණත් සධාචාරයක් මත පිහිටුවෙන්න අවශ්‍යයි. ඒකට රාජ්‍ය මැදිහත්වීම නිසි විදිහට කරන්න ඕනෑ. ක්ෘෂි කර්මාන්තය ගැන අපි අලුත් විදිහට හිතන්න ඕනෑ. විශාල වැව් හැදුවා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලයේදිත්, ඒත් ඒවායින් රටට එන ආදායම කොච්චරද? ඒනිසා වගාවන් කලාපකරණය කිරීම වගේ දේවල් අපි ගැඹුරින් සලකා කටයුතු කරන තැනකට යන්න ඕනෑ. බලශක්තිය ගැන අපිට අලුතින් හිතන්න වෙනවා. ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නවා වගේ තැනක ඉඳලා පුලුල් පරාසයක සිතියමක් මේකට දිගෑරගන්න අවශ්‍යයි.

අනෙක් පැත්තෙන් අන්තර්ජාතික වගේම ඉන්දියාව එක්ක තියෙන බැඳීම ගැනත් අපිට අලුතින් හිතන්න වෙනවා. ගොඩබිමින් ගුවනින් සහ මුහුදෙන් ඉන්දියාව එක්ක බැඳෙන තත්ත්වයන් ගැන අපි අලුතින් සිතන්න අවශ්‍යයි. ඉන්දියාව කියන්නේ අපේ සංචාරක කර්මාන්තයට හොඳ තැනක්. ඒවගේම අපේ වරායන් ඉන්දියානු අවශ්‍යතා වෙනුවෙන් මීට වඩා භාවිතා කරන්න අපි ඉඩ හදාගත යුතුයි.

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගාලා දාන්න හිතන අපි, ජාතික ප්‍රශ්නයට දෙන විසඳුම ගැනත් ටිකක් සිතන්න අවශ්‍යයි. මොකද්ද අපි උතුරට දෙන විසඳුම? අනෙක් පැත්තෙන් සුදු අලියෙක් වුණ පළාත්සභා ක්‍රමය අපි තවදුර‍ටත් පවත්වාගෙන යනවද? මෙන්න මේ වගේ දේවල් ගැනත් අපි ඉදිරිගාමීයව සිතන්න අවශ්‍යයි. එහෙම නැතුව රාජපක්ෂ සාධකය අවසන් කළා කියලා මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන එකක් නෑ.

කේ. සංජීව

Related posts