තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා

madapatha

1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප  අතට හෝටල් හා කෑම බිල සම්පූර්ණයෙන් ගෙවීමට තරම් ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. මතක හැටියට යෙන් 220,000ක පමණ මුදලක් තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි හෝටලයේ ම නැවතී සිටි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙක් සිය ගමන් මල්ලේ කිලෝ විස්සේම ගෙනැවිත් තිබුණේ මැගී නූඩ්ල්ස් ය. ඔහු ඉස්තිරික්කයක් ද ගෙනැවිත් තිබිණි. ඒ රෙදි මදින්නට හා රොටි පුච්චන්නට ය. විදෙස් චාරිකා ගැන නො දැන සිටි අපට එවැනි මොළයක් තිබුණේ නැත.

ඒ නිසා ආසියා පැසිපික් කලාපයේ රටවල් 26කින් පැමිණි සිටි අප වැඩි දෙනෙක් එකිනෙකා සමග නිහඬ අවබෝධයකින් යුතුව කළේ වැඩමුළුව අතරතුර දෙන දවල් දහයේ තේ මේසයෙන් උදේ, දවල් වේල් දෙකට ම සප්පායම් වීමයි. සවස තේ වේල ගත් විට රෑට ලයිට් ඩයට් එකකින් ෂේප් විය හැකි විය. ජපන්නුත් මේ සිංදුව දැනගෙන සද්ද නැතිව අපට බඩ කට පුරා කන්නට දුන් හ.

ඉතින් දිවා ආහාර වේලාවට අපි වැඩි දෙනෙක් කළේ තෝකියෝ යුනෙස්කෝ කාර්යාලය අවට වීදි දෙපස කඩවල වීදුරු කවුළුවලින් ෂොපිං යාමයි.

දිනක් මෙසේ වින්ඩෝ ෂොපිං කරමින් සිටි පැපුවා නිව්ගිනි කාන්තාවකට ලංකාවේ කාන්තාවක හමු වී විස්තර කතා කරන විට යුනෙස්කෝ වැඩමුළුවෙහි ලංකාවෙන් පැමිණි අයෙකු ද සිටින බව දැන ගන්නට ලැබිණි. පැපුවන් ගැහැනිය මට මේ විස්තරය කියා මොහොතක් යන්නටත් පෙර පාපැදියෙන් කන්ද නැගගෙන, කලිසම් – කමිස ඇඳි වයස 40ක පමණ ලාංකික ගැහැනියක් යුනෙස්කෝ කාර්යාලය වෙත පැමිණියා ය. දුර තියාම කළු සිංහලයා හඳුනා ගත් ඇය මගේ අතේ ඇය ගෙනා ටොෆි පාර්සලය තබන ගමන් ඇසුවේ මා පැමිණියේ ආපසු යන්නට ද කියා ය.

මා තීරණයක නැති බව ඇසූ විට ඇය මට බැණ වැදුණා ය.

“ඔයා එහෙ මොනවද කරන්නෙ?”

“ගුරු වෘත්තිය.”

“අයියෝ ඔය රස්සාව කරලා ඔයා කවදා ගොඩ යන්න ද? පිස්සු කෙළින්න එපා. ඔයා දන්නවද කොල්ලෝ කොච්චර අමාරුවෙන් ද නැව් අස්සෙ හැංගිලා එහෙම මෙහේ එන්නේ කියලා. ඔයාලා ලේසියෙන් ඇවිල්ලා කොන්ෆරන්ස්වලට ඉඳලා ආපහු යනවා. කැත වැඩ නම් කරන්න එපා.”

ඇය මා කැටුව දුරකතන කුටියක් වෙත ගොස් ඇගේම වියදමින් ඇමතුම් කීපයක් ගත්තා ය.

“මේ ලංකාවේ කොල්ලෙක් ඇවිත් ඉන්නවා. ඌට රස්සාවක් හොයා දෙන්න බැරි ද? රස්සාවක් හොයා ගන්නකල් ඉන්න තැනක් හොයා දෙන්න බැරි ද?”

ඇය කෙසේ හෝ රැකියාවක් ඇති තැනක දුරකථන අංකයක් සොයාගෙන ජපන් දන්නා කෙනෙකුට කියා එතැන අමතන්නැයි මට කීවා ය.

“එතන රස්සාවක් තියෙනවා. සොරි. මට ඉන්න තැනක් හොයා දෙන්න විධියක් නැහැ. රස්සාවක් කරලා කීයක් හරි අතට ගන්නකල් ෂිංජුකු ගිහින් පාලම යට කාඩ්බෝඩ් එකක් දාගෙන ඉන්න පුළුවන්. හීතල තමයි. ඒත්, ඔය වගේ කොල්ලෝ තවත් එතන ඉන්නවා.”

ඇය පිටත්ව ගියේ මා ආපසු නො යන බවට දිවුරුම් කරවාගෙන ය.

මා දන්නේ ඇය පිළියන්දල, මඩපාත පැත්තේ ගැහැනියක් බව පමණි. ඊට පෙර හෝ පසු මට කිසි කලෙක ඇය හමු වූයේ නැත. මෙවැනි කාන්තාවන් සැබෑ වීරවරියන් නො වේ ද?

එහෙත්, මම ඇය මට දුන් දුරකථන අංක ගුලි කර විසි කර දමා මාසයකට පසු ආපසු ආවෙමි. නොකා නොබී ඉතිරි කර ගත් මුදලින් ගත් නිකොන් වෘත්තීය කැමරාව දැන් යල් පැන ගොසිනි.

ඇය කී කරුණ ඇත්ත විය හැකිය. ගුරු වෘත්තිය දිගටම කළා නම් මා තවමත් ආර්ථික වශයෙන් දුර්වල ස්ථානයකය. ගුරු වෘත්තියෙන් හා ඩේ ජොබ්වලින් ඉවත් වී මගේම ව්‍යාපාරයක වැඩකරන්නට පටන්ගත් පසු මට යම් ආර්ථික ශක්තියක් ලැබිණි. එය මහලොකු එකක් නොවුණත්, ඒ වෙලාවේ ජපානයේ ගල්වී අවුරුදු පහක් පමණ රැකියා කර ආපසු ආවත් මීට වඩා දෙයක් කරගන්නට බැරිවනු ඇත. එසේ නම්, මා සතුව දැන් තිබෙන කුසලතා ගොඩනැගෙන්නේ නැත.

එක් දිනක් රෑ මම ෆෙයාමන්ට් හෝටලයෙන් දුරකථන ඇමතුමක් ගෙන මගේ බිරිඳගෙන් මා නවතින්නදැයි ඇසීමි.

“ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයි. ඔයා ආපහු එන්න. අපි තියෙන විධියට ජීවත් වෙමු,” යි කීවේ මගේ බිරිඳ ය. මම මඩපාත අක්කාට වඩා ඇයට ගරු කරමි. එහෙත් මඩපාත අක්කා වීරවරියකි. නියම දේශ හිතෛෂී කාන්තාවකි.

‘මචං’ චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, ඔවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් අත්දැකීම් හා පළා යාම යන සිද්ධි පසුබිම් කරගෙනයි.

මචං කතාව ගොඩනගනු ලබන්නේ 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය.

දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.

එහෙත් 2006 වන විට ලංකාවේ අත් පන්දු ක්‍රීඩාවක් හෝ එවැනි ක්‍රීඩා සංගමයක් තිබුණේ නැත. යුරෝපයට යන්නට සිහින මැවූ තරුණ පිරිසක් ව්‍යාජ අත්පන්දු සංගමයක් හා කණ්ඩායමක් සකසාගෙන ඒ ඔස්සේ ජර්මනිය ද රවටා ගුවනින් ජර්මන් ගොස් ගල් වූ හ.

මචං චිත්‍රපටය මෙම සිද්ධිය ප්‍රබන්ධාත්මකව ප්‍රතිනිර්මානය කරයි.

පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය.
1 කොටස
2 කොටස
3 කොටස

praja

අජිත් පැරකුම් ජයසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….