මන්දිර සොමිය ගැන සංජීවගේ සත දෙක..!

ඊයේ බොහෝ අමාරුවෙන් සෙනඟ අස්සෙන් තෙරපෙමින් චැතම් වීදියේ උඩට එනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව පේන මානයේදී එකදිගට ඇසුනේ වෙඩි හඬ. මේ වෙඩි හඬ සමග සමහරුන් ආපසු හැරුණෝය. සමහරු ආවා වගේ දෙඟුණයකින් ඉස්සරහට තල්ලු වුණේ විශාල ශක්තියක් තමන්ට තිබෙන බව පෙන්වමින්‍ ය.
මිනිස්සු රංචු වශයෙන් මෙවැනි අවස්ථාවන්වලට මුහුන දෙනවිට ඔවුන්ගේ සත්ව ගති මතුවීම අහම්බයක් නොවේ. මරණ බිය ජයග්‍රහනයට ඇති උමතුව විසින් ශරීරයේ ඇතිකරන ඒ සඳහා සූදානම බොහෝවිට පියවි සිහිය, ගැඹුරට කල්පනාව වැනි දේවල් අහිමි කරන බව රහසක් ද නොවේ. එකදිගට බැරියර් එකින් එක පෙරළමින් ගමන් කර අවසානයේ විශාල ප්‍රථිරෝධයකට මුහුන දීම එහිදී තමන්ගෙ අනෙකුත් සටන් සගයන් වෙඩි ප්‍රහාරයන් සහ ප්‍රචණ්ඩ බැටන් ප්‍රහාරයන්ට ලක්වෙන විට මිනිසුන්ට නවගුණවැල ගණින්න ඇහැක් නම් ඒ මිනිසුන් අඩුම තරමින් රහත්වී හෝ සිටිය යුතුය.
මේ අරගලයේ ඉස්සරැහින් වෙඩිකාගෙන ඉලක්කයට නොසැලී මුලින්ම ගියේ බොහෝවිට මේ ෆේස්බුක් එකේ අරගල කරන්නේ කෙසේද කියා පහදන අපි වැනි මිනිසුන් නොව මේ ප්‍රශ්නවලින් බොහෝ සේ පීඩා විඳි මිනිසුන් බව ඔවුන්ට උපහාර වශයෙන් කිව යුතුය.
එදාවේල කන්නේ කොහොමද ත්‍රීවිල් එකට පෙට්‍රල් ටිකක් සොයාගෙන රැකියාව කරන්නේ කොහොමද දරුවන්ට කිරි පැකට් එකක් අරගෙන එන්නේ කොහොමද අම්මගේ බෙහෙත් ටික අරගෙන දෙන්නේ කොහොමද වගේ බරපතළ ප්‍රශ්න සමග එදිනෙදා ජීවිතය ගතකරමින් සිටින මිනිසුන් ශිෂ්‍යන් මේ අරගලයේ මුලින්ම සිටගත්තෝ ය. සමහරුන් පොත් කියවන්න ආසාවක් නැති අය විය හැකිය. සමහරුන් ජීවිතය ගැන බරසාරෙට නොගත් අය විය හැකිය. බොහෝ දෙනෙක් ගාන්ධි ගැන නොකියවා ඇති බව මට බුදු සුවර්‍ය. ඉතිං මේ මිනිසුන් අරගල කරන හැටි දන්නේ නැති වෙන්නට පුලුවන් ය. ඒත් සත්වයෙක් විදිහට ස්භාවධර්මය තමන්ට දුන් අවම පහසුම් ටික භාවිතා කර ඔවුන් ඉලක්කය සපුරා ගත්තෝය. අවසන ඔවුන් අරගලයට ජයග්‍රහනය අරගෙන ආවෝය..
දැන් අපිට ඔවුන්ගේ දියකෙළි ගැන සෙල්ෆි ගැන කයි වැපිරිය හැකිය. සිනාසිය හැකිය. ජනාධිපති මන්දිරයට ටිකක් මුලින් ගිය මටද මේ අත්දැකීම විඳින්නට හැකි විය. මට මුලින්ම සිහිවුණේ කාබුල් ජනාධිපති මන්දිරයට ඇතුල් වුණ සටන්කාමීන් ය. ඒත් මේ මිනිසුන්ගේ මිනිස් හැසිරීම ගැන මට අවුලක් නැත. මේ බොහෝ දෙනෙක් ජනාධිපති මන්දිරයට හෝ මොනමාකාර හෝ මන්දිරයකට පැමිණ තිබුණේ ජීවිතයේ පළවෙනි වතාවටය. ඔවුන් බොහෝ දෙනෙක් කීවෝ ‘මුන් අපිට කෙළවලා සැප විඳලා තියෙන හැටි බලහල්ලා’.
ලස්සන මේස ඇතිරිල්ලක් ඔතාගන්නා මිනිසෙක් දැක්ක මම කරබාගතිමි. ඒ වෙලාවේ ඒ හැඟීමේ දී එයට විරුද්ධවී පළක් නැත. සමහරවිට ඒ විරුද්ධවීම ගුටිකන්නට නිමිත්තක්ද විය හැකිව තිබුණි. එහෙත් අර උද්වේගකර හැඟීම් පහව යනවිට කාලයත් සමග මිනිසුන් ඒ චිත්‍ර එම මන්දිරය ආරක්ෂා කරන්නට පෙළඹුණේ මේ අපේම සල්ලි බන් කියලා කියමින් ය. ඒක තමයි මිනිස් ස්භාවය.
අනෙක මේ මිනිස්සු ඒ වෙලාවේ තමන් සමග විශාල සතුටක හිටියේ. ‘ දැන් ඉතිං හෙට ඉඳලා නිමාඩු නෑ’ එක තරුණයෙක් කියනවා අහගෙන. මට හිතුනේ හෙට ඉදලම රටට හරියයි වැඩට යන්න වෙයි කියලා මේ මිනිස්සු හිතපු විදිහ ඒක.
මේ විදිහට වෙඩි කාගෙන මොරාල්පිට ජයග්‍රහණයට මුලින්ම දුවපු මිනිස්සු පහළ පන්තිවල දුක්ඛිත ජීවිත ගතකරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ජීවිතේ තවත් වැටෙන්න තැනක් නෑ කියලා හිතෙන්න ඇති. ඒ මිනිස්සු නිසා තමයි මේ ජයග්‍රහනය මේතරම් පහසු වුණේ. මමනම් මගේ ආදරය මේ මිනිස්සුන්‍ ට පිරිනමන්න පැකිලෙන්නේ නෑ.
ෆූල් එකේ නාලා සෙල්ෆියක් ගැහුවට මටනම් ඒකේ සිනාවෙන්න දෙයක් නෑ. ඒක තමයි මිනිස්කම. ඒක අස්සේ තිබෙන්නේ හැඟීම් කන්දක්. ජීවිතය ගැන බලාපොරොත්තුවක්. සමහරවිට පාලකයන්ට තියෙන විරෝධය ඒක අස්සේ දියවෙලා තියෙන්න පුලුවන්. පන්ති පරතරය ඒකේ දියවෙලා තියෙන්න පුලුවන්. ඇති නැති පරතරය ඒක අස්සේ තියෙනවා.
මේවා බල බලා හිනාවෙන අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා ඒක තමයි මේ මිනිස්සු ජනාධිපති මන්දිරයේ නාන්න සබන් තුවා එහෙම අරගෙන මේ සටනට ආවේ නෑ. ඒනිසා දේවල් ඒ මොහොතින් ගලවලා රස විඳින තරම් ආතල් එකක් දේවල් ඒ මොහොතේ තියලා විඳිනකොට එන්න විදිහක් නෑ.
කොහොම වුණත් මේ අරගලකාරයන්ට මගේ ආදරය. අපි පුලුවන්නම් මේවා ගැන හොයනබලන විනෝද වෙනගමන් මියගිය තුවාල උන අය ගැනත් සොයමු බලමු. මේක අපි හැවෝටම අමාරු කාලයක්…!

කේ සංජීව

 

Related posts