සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

death

කපා දැමූ පොල් ගසක් මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදිය පැදවූ සය දරු පියෙකුට මරු කැදවීම හා දියණිය බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සේවකයන් දෙදෙනෙකු මේ මස (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක එස් ජයසූරිය මහතා නියෝග කළේය.

අනුරාධපුර කලත්තෑව නෙළුම්කන්නිය මාර්ගයේ තරියන්කුලම මංසන්ධිය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුයේ නල්ලමුදාව ඇඳගල ලිපිනයේ පදිංචිව සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික සේවකයෙකු වන බී. ඒ ගුණරත්න (70) නැමැති සය දරු පියායි.
සැකකාර සේවකයන් දෙදෙනා අපරික්ෂාකාරි අන්දමින් ගසක් කපා දමා සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් (ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය) සිදුකිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරිමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ගොවි නියාමකවරියක ලෙස සේවය කරන කලත්තෑව කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටින බී.ඒ තක්ෂිලා නැමැති මරණකරුගේ දියණිය අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ශල්‍යකර්මයකට භාජනය කර තිබේනා බවත් ඇගේ තත්වය බරපතල බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

විදුලිබල මණ්ඩලයට අයත් කොන්ත්‍රාත් සමාගම විසින් විදුලි රැහැන් වලට අවහිරයක් වන ගස් සහ අතු කපා දැමීම සිදු කරන අවස්ථාවේ අනතුර සිදුව තිබෙනා බවත් පුද්ගලික සමාගමේ සේවකයන් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා පුද්ගලයින් පිළිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ගස් මාර්ගයට කපා දැමීම හේතුවෙන් ජීවිත හානීය සිදුව ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවිමෙන් විවිධ පැමිණිලි අංශයේ නඩු මෙහෙයුම් අංශය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts