sri lanka sinhala news

සත්ව ආහාර සදහා පිරිසිදු කිරීමෙන් පසුව සහල් ගබඩා කළ විශාල ටැංකියක් ඉරා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් (30000)සිරුර මතට ඇදවැටී ඊට යට විමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වි තිබේ.

සත්ව ආහාර සකසන එම ආයතනය නැවත දැනුම් දෙනතුරු කිසිවෙකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා මුදිතාගම හිරියාලේගම නොච්චියාගම පිහිටි කුකුල් කෑම සකසන ආයතනයක සවිකර තිබූ සහල් ගබඩා කර වියලන ටැංකියේ පතුල ඉරියාම නිසා කාන්තාවට දිවි අහිමිවි තිබේ.

අවාසනාවන්ත මරණයට මුහුණදි අත්තේ මුදිතාගම නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි 47 හැවරදි දෙදරු මවකවූ වේලාගේ පුෂ්පකුමාරි නැමත්ති විවාහක කාන්තාවයි.

හදිසියේ මරණයට පත්වු කාන්තාව කලක සිට අදාල පුද්ගලික ආයතනයේ කම්කරු සේවිකාවක වශයෙන් සේවයේ නිරතවි ඇති අතර ඇය සත්ව ආහාර සදහා සහල් පිරිසිදු කර වියළන ඒකකයේ සේවයේ නිරතවි ඇති බව පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

ඇය පිරිසිදු කළ සහල් වියලීම සදහා යොදා ගන්නා ටැංකිය ආසන්නයේ සේවය කරමින් සිටියදි එහි පතුලට බර දරා ගැනීමට නොහැකිව ඉරී ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි කාර්මික ආයතනයකින් අදාල ටැංකිය නිපදවා ඇති බවත් එහි සහල් කිලෝග්‍රෑම් 50000ක ප්‍රමාණයක් තැම්පත් කිරීමට හැකි බවට නිර්දේශ කර ඇතත් සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් ගබඩා කර තිබියදි පතුල ඉරී ගොස් ඒ ආසන්නයේ සේවයේ නිරතවූ කාන්තාවගේ හිස මතට සහල් පතිතවි ඇය යටවි ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවී තිබුණි.

අඩි හයකට ආසන්න උසකින් යුතු සහල් තොගයට යටවූ කාන්තාව සේවකයින් විසින් විනාඩි 15ක පමණ කාලයේදි ඉවතට ගෙන ප්‍රතිකාර සදහා නොච්චියාගම රජයේ රෝහලට රැගෙන ගොස් ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් ඇති බව රෝහල් වෛද්‍යවරයා සනාථ කර තිබුණි.

අඩි දහයක් පමණ උසින් සවිකර තිබූ ටැංකියේ පතුල ඉරියන අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකු ස්ථානයේ සේවය කර තිබෙනා බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලිදි අනාවරණය වි තිබුණි.

එක් කාන්තාවක් ටැංකියේ පතුල ඉරි සහල් බිමට පතිතවද්දීම එම ස්ථානයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනා අතර මරණයට පත්වූ කාන්තාව ටැංකිය සවිකර තිබූ ස්ථානයේ බිත්තිය ආසන්නයේ සේවය කිරීම නිසා ඇයට අනතුරෙන් බේරිමට අවස්ථාව නොලැබි ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් පසුව අදාල ආයතනයට පරික්ෂණ අවසන් වනතුරු ඇතුළු වීමට නොහැකි ආකාරයට මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර තිබුණි.සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි තඹුත්තේගම මහේස්ත්‍රාත් නුවන් කෞෂලය මහතා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා කාන්තාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

මියගිය කාන්තාවගේ පී.සී.ආර් පරික්ෂණයේදි ඇයට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු වූවත් සිරුර ආදාහනය කිරීමට අවසර ලබා නොදෙමින් මරණය මඩකලපුව ඕට්ටමාවඩි පිහිටි ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුර භූමිදානය කරනා සුසාන භූමියේ මිහිදන් කරනා ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

අනතුර සම්බන්ධයෙන් සැක පවතිනා බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්ථා කිරීම නිසා විනිසුරුවරයා අදාල නියෝගය නිකුත් කර තිබුණි.

අදාල ආයතනයේ සවිකර තිබූ සහල් වියලීමට යොදා ගන්නා ටැංකිය ඉරීයාම සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්ථාවක් කැදවීමට නොච්චියාගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා විනිසුරුවරයා අවසර ලබාදුන්නේය.

නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

sri lanka sinhala news

Similar Posts