සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් සමුගනියි

sarath

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 57 හැවිරිදි වියෙහි පසුවිය.

2021 නොවැම්බර් මාසයේදී ඔහු නැවතත් රෝහල් ගත කරන ලද අතර අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සති ගණනාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1964 ජුනි 13 දින පානදුරේ උපත ලැබූ සරත් චන්ද්‍රසිරි වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහුගේ නාට්‍ය ගුරුවරයා වූ සරත් කුලාංග මුණගැසුණි.

චන්ද්‍රසිරි නාට්‍ය ජීවිතය ආරම්භ කළේ සරත් කුලාංග ගුරුවරයාගේ මඟපෙන්වීම යටතේය. මේ අතර කුලංග හරහා ඔහුට ජනක් ප්‍රේමලාල්, ජයලත් මනෝරත්න ඇතුළු තවත් නාට්‍යකරුවන් කිහිප දෙනෙක් මුණ ගැසුණි. ඔවුන් යටතේ ඔහු අබුද්දස්ස කෝලම, රජ කපුරු, අන්දරේල, තලමල පිපිල, ගුරු තරුව, පුත්‍ර සමාගම වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය.

ඔහුගේ ටෙලි නාට්‍ය අතර අඩෝ, දම්සාරි,දූ දරුවෝ, ජෝඩු ගෙදර, මහාවිරු පඬු,පබා, සිදූ හා වසන්ත කුසලන ප්‍රකටය. ඔහු රඟපෑ චිත්‍රපට අතර රාජ්‍ය සේවය පිනිසයි, බහුබූතයෝ , සමනල තටු, සිකුරු හතේ, රන් කෙවිට, මධුර චාරිකා ,වස්සානයේ සඳ,ඩොක්ටර් නවරියන් කිහිපයකි.

Related posts