ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය.

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව නම් රාජ්‍යයටත් හානිකර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයකින් නවීකරණය විය යුතුය. සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල සිට ගැමි සිංහල-බෞද්ධයා දක්වා විහිදෙන පුනර්ජීවනයක් සිංහල බෞද්ධයාට අවශ්‍යය.

සිංහල-බෞද්ධ විරෝධී බලවේග පෙළගැසෙන්නේ ශ්‍රී ලංකාව නම් රාජ්‍යය විනාශ කිරීමේ දිශාව වෙත බව අවබෝධ කරගැනීම වැදගත්ය. වර්තමාන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කර, පසුගාමී දෘෂ්ටිවාදයන් මත පදනම් වූ බොල් ජනප්‍රියවාදී බලවේග බලයට ගෙන ඒම මේ අවස්ථාවේදී ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලටම වාසිදායකය. එය අවාසිදායක වන්නේ මේ රටේ අනාගතයටය.

එපමණක් නොව, මෙම ඇරියස්කාර ප්‍රතිගාමී දේශපාලන බලවේග සාර්ථක වීමේ ඉඩකඩ අවමය. ඉතා කෙටි කලකින් නැවත වටයකින් දරුණු අන්දමේ සිංහල-බෞද්ධ ජාතිවාදයක් නිර්මාණය වීමේ අවදානම සම්බන්ධයෙන් ද අප සැලකිලිමත් විය යුතුය. එවැන්නක් සිදු වුවහොත්, නැවතත්, සිංහල-බෞද්ධයාට මෙන්ම සමස්ත ලංකාවටමත්, දකුණු ආසියානු කලාපයටමත් සිදුවන්නේ දරුණු හානියකි.

වර්තමානයේ දේශපාලන බලවේග පෙළගැසෙන ආකාරය ජාතිවාදයට ගොදුරු නොවී තේරුම් ගැනීම වැදගත්ය. මෙම සටහනට ප්‍රතිචාර දක්වමින් අපට ජාතිවාදීන් යයි කියන්නට ඉඩ තිබෙන බොහෝ අය තමන් දෙමළ ඊලාම්වාදයටත්, විවිධ බාහිර ජාතිවාදී උවමනාවන්ටත් ගොදුරු වී සිටින බව හෝ නොදත් අයයි.

හැම විටම සමාජ සංවර්ධනය සමග ඔබේ අනන්‍යතා දේශපාලනය ගලපා ගන්න. ප්‍රගතිශීලීත්වය එයයි.

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts