ඇමතිට දීලා නිළියකුත් පාවිච්චි කරනවා කියන රාවණාගේ බොරු කොවිඩ් බේත් වලට රැවටෙන්න එපා!

coronamarona

මිනිසුන් බිහිසුණු අන්තරායන්ට පත් කරන රටක නරකම කාල පරිච්ඡේද පවා තමන්ගේ වාසියට යොදා ගන්නා මිනිසුන් ලෝකයේ හැම ජන සමාජයකම වගේ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

ගුප්ත විශ්වාස පිළිබඳ වැඩි නැඹුරුවක් පළ කරන සමාජ වල මිනිසුන් තුළ ඇති වන බිය සැක වලට මිථ්‍යා ආරෝපණ ලබා දෙමින් ඒ අයගේ ඉහ මොළ සූරා කන පිරිස්  ගැන තොරතුරු ලැබෙනවා.දැන් අපේ රටෙත් මීට සමානුරූපී තත්වයක් දැක ගන්න පුළුවන්.කොවිඩ් වලට හොඳයි…! කොවිඩ් සනීප කරනවා…!! කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල …!!! වගේ ලස්සන වචන තියන නොයෙකුත් දේවල් දැන් වෙළඳ පොළේ වැහි වැහැලා.

නමුත් ලේබලේ තිබ්බට ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ. ලේබලේ ලස්සනට තිබ්බට, ඒකෙ වෛරසයේ පින්තූරයක් තිබ්බට, දැන්වීමට ලයික් වැඩිවුණාට ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

ආයුර්වේද  සූත්‍ර කමිටුව උණ, සෙම් ප්‍රතිශ්‍යාවට අනුමත කරපු බේතක් “කොවිඩ් සුව කරනවා” කියලා වංචනික දැන්වීමක් දැම්ම කියල ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

බේත ඇමතිතුමාට පිළිගැන්නුවා කියල, ඇමතිතුමා එක්ක ෆොටෝ ගත්ත කියල හරි අර සබන් පවුඩර් වගේ අහවල් නිළියත් පාවිච්චි කළා කියලා ෆොටෝ වීඩියෝ මුහුණු පොතේ පළ කළා කියල ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

බේත ගැන යූටියුබ් එකේ නොයෙක් ආකාරයෙන් විස්මිත ගුණ කිව්වට ඒක හදපු පුද්ගලයා කටමැත දෙඩෙව්වට ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

ඉබේම හොඳ වෙන කොවිඩ් ලෙඩ්ඩුන්ට දීල සනීප උනා කියල ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ. (මේ වෙලාවේ මිනිස්සු බොන දේවල් වල හැටියට මොකෙන් හොඳ වෙනවා ද කියල හොයන්නත් බැහැ.අනික කොවිඩ් කියන්නේ වැඩි ප්‍රතිශතයකට ස්වාභාවිකව සුව වෙන රෝගයක්.යම් ප්‍රතිශතයක් විතරයි සංකූලතා පළ කරන්නෙත් මරණයට පත් වෙන්නෙත්)

අනික දොස්තරල සපෝට් කළා කියල, විද්වතුන් ගුණ ගායනා කළා කියල, ටෙස්ට් රිපෝර්ට් පෙන්නුවා කියල ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

“හෙළ ඔසු” කියන ලේබලේ තිබ්බට ඒ වට්ටෝරුවෙ බේතේ අපේ ඖෂධ අඩංගු උනාට ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.
විශ්ව ශක්ති, ෆෙන්ෂුයි, සුදුකිරණ වලින් බලගන්වපු, නැකත් යෝග වලින් නෙළා ගත්තු රහස් ඖෂධ වට්ටෝරුවක් කියල බොරු ප්‍රචාර කළාට ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

දෙයියො දුන්න කියල, මැරිච්ච ආච්චි හීනෙන් කිව්වා කියල, පරණ පුස්කොළ පොතක තිබ්බ කියල, පරම්පරාවෙන් ආව කියල, රාවණලගේ පුලස්තිලගේ නම විකුණල ප්‍රචාරය කළා කියල ඒක කොවිඩ් වලට බේතක් වෙන්නේ නැහැ.

අනාදිමත් යුගයක ජීවත් වුණු බව කියන රාවණලගේ පුලස්තිල වෙදකම් දැනගෙන හිටියය කියන එක මීට සියවස් කීපෙකට කලින් සමාජ ගතවුණු ප්‍රවාදයක්.අද ඒකට ජනකාන්ත බවක්  වගේම අසීමිත වෙළඳ අගයකුත් ලැබිලා තියනවා.රාවණාගෙ නමින් එන බේත් වට්ටෝරු සේරම බොහොම පසු කාලීන ඒවා. රාවණා කියන්නේ නිකම්”බ්‍රෑන්ඩ් එකක්”

කොවිඩ් කියන ලෙඩේ සනීප කරන්න තනි බේතක් හොයාගන්නවා කියන්නේ මෝඩ කතාවක්. එහෙත් කොවිඩ් රෝගීන්ට දෙන්න පුළුවන් අපේ බේත් ඕනේ තරම් තියෙනව. ඒවා දෙන්නෙ ඒ ඒ වෙලාවේ ඇතිවන රෝග ලක්ෂණ,සංකූලතා පාලනය කරන්න. ඒක හැමකෙනාටම එක වගේ දෙන එක බේතක් නොවේ. බේත් පන්තියක්. ප්‍රතිකාර පද්ධතියක්.

කොවිඩ් හැදෙන එක වළක්වන්න බේතක් ඇත්තෙත් නැහැ. අසාධ්‍ය වෙච්ච ලෙඩෙක් බේරගන්න පුළුවන් බේතක් ඇත්තෙත් නැහැ. එහෙත් රෝගය නිසා ඇති වන ලක්ෂණ හා අපහසුතා පාලනය කරන්න ඒවායින් ඇතිවිය හැකි සංකූලතා මගහැර ගන්න බේත් තියෙනව. “එකම බේත”, “හොඳම බේත”, “පළමු බේත”  වගේ කතා ඔක්කොම කූට ජාවාරම් කාරයන්ගේ පච ගස් යට  කතා.

නියම වෙද්දු කිසිම දවසක කටමැත දොඩවන්නේ නැහැ. පුරසාරම් පම්පෝරි ගහන්නේ නැහැ. ඕනෙම ලෙඩෙක් සනීප කරනවා කියන්නේ නැහැ.එහෙම කීම ශාස්ත්‍ර වගේම ආචාර ධර්ම විරෝධියි. නියම වෙද්දු ඒ කූට ජාවාරම් කාරයන් ගෙන් වෙන් කර ගන්න මේ පම්පෝරි ගැහීම හා නොගැහීමත් සාධකයක් විදිහට යොදා ගන්න පුළුවන්.

ඒවගේම මිනිසුන් බිහිසුණු අන්තරායන්ට පත් කරන මේ නරකම කාල පරිච්ඡේදයේ වෙදකමේ නාමයෙන් අසරණ ජනතාව හූරා කන මේ හොර වෙදුන් ගැන විද්වත් සමාජ අවධානයක් යොමු වීමත් අතිශය වැදගත්.

ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….