ජාතක පොතෙන් මතුවන රජකමට තේරුණු බකමූණා

bakamuna

ප්‍රජාතන්ත්‍රීය පදනමක් යටතේ බලයට පැමිණි බොහෝ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තය වන ජනතා පරමාධිපත්‍යය නොතකා කටයුතු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ සුලබ තත්වයකි.

එහි දී තමන්ට අවංකවම හෝ ව්‍යාජ ලෙස පක්ෂපාතීත්වයක් දක්වන පිරිස් උගතුන්, වියතුන් ආදී වශයෙන් වර්ගීකරණය කොට ඔවුන් ගේ සිතැඟි අදහස් උදහස් මත පදනම් වන උපදේශ අනුව ක්‍රියා කරන බොහෝ දේශපාලනඥයෝ බලයට පත් වීමෙන් පසු සැබෑ ජනතා හඬට අවනත වීමක් තබා ඊට කන් දීමක් වත් සිදු නොකරති.

එහෙත්, අද සමාජයේ බොහෝ දෙනකුන් විසින් යල් පැන ගිය ධර්ම සාහිත්‍යාංගයක් සේ සලකන බෞද්ධ ත්‍රිපිටකය තුළ එවන් නවීන ප්‍රජාතන්ත්‍රීය දේශපාලන විග්‍රහයන් සහ අර්ථ කථනයන් ද කොතෙකුත් දක්නට ලැබේ. ඉහත සඳහන් සැබෑ ජනතා හඬ වශයෙන් ඉස්මතු වන විවෘත අදහස් පළකරන්නවුන් කෙරෙහි කිපී ඔවුන් පසුපස ලුහු බැඳ යාමෙන් තම දේශපාලන බලය අහිමි කර ගෙන පිරිහීමට ලක්වන දේශපාලනඥයකු පිළිබඳව සංකේතාත්මක කතා ප්‍රවෘත්තියක් පන්සිය පනස් ජාතක පොතේ සඳහන් ය.

කාකෝලුක හෙවත් උලුක ජාතකයේ එන එම අතීත කතා ප්‍රවෘත්තිය මැතිවරණ පැවැත්වීම, ජනමත විචාරණ ආදී නූතන ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ සහිතව ප්‍රථම කල්පයෙහි හෙවත් දුරාතීතයේ සිදු වූ කතා ප්‍රවෘත්තියක් වශයෙන් සිත් කා වදින ලෙස ඉදිරිපත් කොට තිබේ. මෙහි කාක යනු කපුටා වන අතර උලුක යනු බකමූණා ය. කාකෝලුක ජාතකයේ අතීත කතාව මෙසේ ය.

ප්‍රථම කල්පයේ ජීවත් වූ මිනිසුන් තමනට රිසි පුරුෂයකු රජු වශයෙන් තෝරා ගත් අතර සිව්පාවෝ තමන් ගේ රජු ලෙස සිංහයකු තෝරා ගත්හ. මේ අතර මත්ස්‍යයන් ද තමන් ගේ නායකයා ලෙස ආනන්ද නම් මත්ස්‍යයා තෝරා ගත් අතර ඒ සියල්ල සිදුවන ලද්දේ බහුතරයේ කැමැත්ත මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට අනුව ය.

මේ අතර තමන්ට පමණක් රජ කෙනකු නොමැති බව පවසමින් පක්‍ෂීන් හිමාලයේ ගල්තලාවක් මතට නැඟ උද්ඝෝෂණය කරන ලද්දේ වත්මන් ව්‍යවහාරයට අනුව කිවහොත් පක්ෂි ලෝකයේ ‘ජනපතිවරණයක්” පිළිබඳ අවශ්‍යතාව හුවා දක්වමිනි. එහෙත්, එහි දී පක්ෂීන් ගේ රජු වශයෙන් තේරී පත් වනුයේ බකමූණෙකි.

ඇතැම් රාජ්‍ය තාන්ත්‍රීක හෝ දේශපාලනමය තීරණ හමුවේ විරෝධතා ගොනු කිරීමට අවකාශයක් ලබාදීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වුව මෙම ජාතක කතාවට අනුව බකමූණා රජකමට පත් වීම සම්බන්ධයෙන් ද විරෝධතා ගොනු කිරීමට සියලු පක්ෂීන්ට අවකාශ ලැබේ.

එහි දී එම පක්ෂීන් අතුරින් එක් පක්ෂියකු ඉදිරිපත්ව බකමූණාට රජකම දීම කෙරෙහි පොදු සම්මුතියක්, එකඟතාවක් තිබේද? යන්න තෙවරක්ම විමසා සිටිනුයේ ද ජනතා පරමාධිපත්‍යය මත පදනම් වන නවීන ප්‍රජාතන්ත්‍රික ලක්ෂණ එලෙසින්ම හුවා දක්වමිනි.

පොදු සම්මතයට අනුව පක්‍ෂීන් අතර හිඳින නොවැදගත්ම පක්ෂියා කපුටා ය. මෙහිදී එම බකමූණාගේ රාජප්‍රාප්තිය පිළිබඳව දෙවරක් විචාරීමේ දී සෙසු සියළු පක්ෂීන් නිහඬව සිටින අතරේ පක්‍ෂීන් හට එම අවස්ථාව තෙවන වරටත් උදාවූ පසු ඒ සඳහා ඉදිරිපත් වනුයේ කපුටෙකි.

එමෙන්ම තමන් ගේ ජන්මයේ ඇති බාල බව අනුව දෝ බකමූණා ගේ රාජප්‍රාප්තිය පිළිබඳව සෘජු අදහසක් පළ නොකරන කපුටා පවසනුයේ සෙසු පක්ෂීන් අමනාප නොවන්නේ නම් ඒ සම්බන්ධ යම් අදහසක් පළ කළ හැකි බව ය.

එහිදී සෙසු පක්ෂීන් දෙන පිළිතුර ද අතිශයින් වැදගත් ය. ඔවුන් කියනුයේ ‘නුඹ බාල පක්ෂියකු වුවත් නුඹේ අදහස් වැදගත් විය හැකි බවකි’ අතීත රාජාණ්ඩු ආදී වැඩවසම් සමාජවලදී අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රභූන් ඇතුළු සමාජයේ විශේෂිත පුද්ගලයන් හට ලැබී තිබූ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය තුළ සර්ව ජන බලයක් බවට පත්ව ඇති බව අපි දනිමු. නමුත් මෙම ජාතක කතාව ලියැවී ඇත්තේ එවන් ප්‍රජාතන්ත්‍රීය සමාජයක් පිළිබඳව කිසිවකු තුළ සිහිනයක් වත් නොතිබූ යුගයක බව පැහැදිලි ය.

එහි දී කපුටා ඉදිරිපත් කරනුයේ අතිශයින් තර්කානුකූල බුද්ධිමත් අදහසකි. එනම් ‘රජකම ලැබී සතුටින් සිටින විටත් මොහුගේ මුහුණ මෙබඳු නපුරු, රෞද්‍ර ස්වරූපයකින් යුතු නම් කෝපයෙන් දැවී ගිය විට මොහු ගේ මුහුණ කෙසේ වනු ඇද්ද? එවිට මොහු වෙතට එන සෙසු පක්ෂීන් රත් වූ කබලකට වැටුණු තල ඇට මෙන් වහා විසිර යනු නියතය’ යන්න ය.

මෙසේ සමස්ත පක්ෂි ප්‍රජාව හමුවේ එලෙස තම නිදහස් අදහස් පළ කරන කපුටා ක්ෂණයකින් අහස් ගත වන අතර රජකමට තේරී පත් වීමට නියමිතව තිබියදී ‘පොදු ජනතාව’ අතුරින් මතු වූ ඒ මතය ඉවසා ගත නොහැකි බකමූණා වහා කපුටා ලුහු බඳින්නට පටන් ගනී. සෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකම නායකයකු සතුව තිබිය යුතු පොදු ජනතාවගේ හඬට කන්දීමේ යන ගුණය වත්මන් දේශපාලන ලෝකයේ ඇතැමුන් තුළ මෙන් එම බකමූණා තුළ ද නොවූ බව මින් පැහැදිලි ය.

එසේ නොමැතිව කපුටා ගේ එම ප්‍රකාශය හමුවේ උරණ නොවූ බකමූණා විසින් කළ යුතුව තිබුණේ එය තමන් සතු ස්වභාවික පෙනුම මිස තමන් ගේ රෞද්‍රත්වය අඟවන ලකුණක් නොවන බව සියළු පක්ෂීන් හමුවේ අනාවරණය කිරීම ය.

එහෙත්, සාර්ථක රාජ්‍ය පාලකයකු සතුව තිබිය යුතු එම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය බකමූණා තුළ නොතිබීමෙන් ඔහු වර්තමානයේ ඇතැම් දේශපාලනඥයන් මෙන් එම කපුටා ගේ අදහස් දැක්වීම කෙරෙහි කුපිත වී කපුටා ලුහු බඳින්නට වූ බව පෙනෙයි.

මින් ඒ කපුටා ගේ කතාව කෙතරම් සත්‍යයක් ද යන්න මනාසේ වටහා ගන්නා සෙසු පක්ෂීන් එක්ව ගනු ලබන සාමූහික ප්‍රජාතන්ත්‍රීය තීරණයක් මඟින් ස්වර්ණ හංසයකු පක්ෂීන් ගේ රජකමට තෝරා ගත් බව දැක්වීමෙන් කාකෝලුක හෙවත් උලුක ජාතකයේ අතීත කතාව නිමාවට පත් වෙයි.

අප සමාජයේ බොහෝ දෙනකු නොදැන සිටිය ද මෙබඳු අතිශය වැදගත් සමාජ, දේශපාලන සහ ආර්ථික යථාර්ථයන් ත්‍රිපිටක සාහිත්‍යයේ කොතෙකුත් දක්නට තිබේ. නමුදු ඉන් මතු වන අයහපත්, දුෂ්ට, නපුරු, කුරිරු, පාපී බලවේග වත්මන් දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉස්මතු වීම තුළින් සනාථ වන එක් දෙයක් ද ඇත. එනම් වත්මන් දේශපාලනය සැබෑ බුදු දහමින් කොතෙක් දුරස් ව තිබේ ද යන්න ය.

එවන් තත්වයක් යටතේ දුර්දාන්ත දේශපාලනඥයන්ට සහ තමන් ගේ පෞද්ගලික ප්‍රයෝජනය තකා ආර්ය මාර්ගය අමතක කොට ඔවුනට ආවඩන දුසිල්වත් භික්ෂුන් හට මේ රට ගොඩනැඟිය හැකි බව පැවසේ නම් ඉන් අනියමින් පවසනුයේ ‘බුදු බණ බොරු’ යන්න ය.

දිවුල්වැවේ ජිනරතන හිමි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….