ගණ දෙවියන්ට නුවණ පෑදුණේ අඹ ගෙඩියකින්ද?  

mango

ජාඇල, උදම්මිට ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක් අද්දර මීට සියවසකට පමණ පෙර රූස්ස අඹ ගසක් තිබිණ. අඹ වාරයට එහි අතු ඉති අඹවලින් පිරී තිබූ අතර එය ඒ අවට දඟකාර කොලු කුරුට්ටන්ගේ නොමඳ අවධානයට යොමු විය. එහෙයින් එම විහාරස්ථානයේ හිමිවරුන් සහ කැපකරුවන් පෙනෙන්නට නොසිටි සෑම විටෙකම එම කොලු කුරුට්ටෝ ඒ ගසෙන් අඹ කඩාගනු පිණිස ඊට පොලු මුගුරු සහ ගල්මුල්වලින් දමා ගැසූහ.

එහෙත්, ඔවුන් එමගින් අඹ නෙළාගන්නා තරමට ඒ ගල් මුල් වැදී විහාරස්ථානයේ සිංහල උළු සෙවිලි කළ වහලවලට ද දැඩි අලාභ හානි සිදු විය. එවක එම විහාරස්ථානයේ අධිපති පදවිය දරන ලද්දේ ධර්ම විනය පිළිබඳ හසළ දැනුමකින් යුතු මහ තෙර නමක විසිනි. කොල්ලන් කුරුට්ටන් අඹ ගසට එල්ල කරන පොලු මුගුරුවලින් විහාරස්ථානයේ දේපළට සිදුවන හානිය දරාගත නොහැකි උන්වහන්සේ වරක් එම කොලු කුරුට්ටන්ට මෙසේ බැණ වදින්නට වූහ.

‘යකුනේ, මේක වෘක්ෂ දේවතාවෝ වැඩ ඉන්න ගහක්. තොපි ඔය ගහන පොල්ලක්, ගලක් වැදිලා බැරිවෙලාවත් ඒ දේවතාවෙකුගේ ඔළුවක් පැළුණොත් අතක් පයක් කැඩුණොත් වග කියන්නේ තොපේ අම්මලා අප්පලාද?’ උන්වහන්සේ සරදමට කී ඒ උපහාසාත්මක ප්‍රකාශය පසුව ගම පුරා පැතිර යන ලදුව කොල්ලන් විසින් එම අඹ ගහ ඉලක්ක කොට එල්ල කළ පොලු මුගුරු හා ගල් ප්‍රහාර නතර වූ බවත් කියනු ලැබේ. පසුව උන්වහන්සේ විසින් විහාරස්ථානයේ කැපකරුවන් ලවා එම ගසේ ඇති ඉදුණු සහ පැසුණු අඹ කඩවා ඒවා එම කොලු කුරුට්ටන් අතරේ බෙදා දුන් බව ද පැවසෙයි.

ගණේමුල්ල, හොරගොල්ලේ සිරි මහින්දාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය මිද්දරමුල්ලේ අරියකිත්ති හිමියන් විසින් පවසා සිටි එම පැරණි උපහාස වෘත්තාන්තය තුළ කිනම් හෝ සත්‍යයක් නැතුවා ද නොවේ. උන්වහන්සේ නියෝජනය කළ අමරපුර, අඹගහපිටිය පාර්ශ්වයේ මුල් ස්ථානය ද 1803 වසරේ ශ්‍රී ලංකාවේ අමරපුර නිකාය බිහි වූ බළපිටියේ, අඹගහපිටියේ අම්බරුක්ඛාරාමයයි.

සහබන්ධු මුදලි නම් ප්‍රභූවරයකු සතු අඹගහපිටිය වලව්ව එහිම පාලි ස්වරූපයෙන් “අම්බරුක්ඛාරාමය” නමින් හැඳින්වුණු බවත් පසුව එම සහබන්ධු මුදලි මරණයෙන් පසුව වෘක්ෂ දේවතාවකුව එම විහාර පරිශ්‍රයේ අඹ ගසකට අධිගෘහිතව වැඩ සිටි බවත් පැරණි ගැමියන් විශ්වාස කළ බව අහුන්ගල්ල ක්ෂේත්‍රාරාම පුරාණ විහාරවාසී භික්ෂූන් වහන්සේලා ද මීට දශක කිහිපයකට ඉහත මා සමග කියා තිබේ.

ඒ වෘත්තාන්තය පසෙක තිබිය දී අඹ සහ දෙවි වරුන් අතර ඇති බවට මෙරට ජන විඥානයේ පවතින සබැඳියාව සුළු පටු නොවේ.මහනුවර රාජධානි සමයේ අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් ලියන ලද බවක් පැවසෙන වදන් කවි පොත කෘතියේ  එන”අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ-ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ” යන කවි දෙපෙළ අද ද අප සමාජයේ බෙහෙවින් ප්‍රචලිත ය.ඊට අදාල මෙරට ප්‍රචලිත පුරාවෘත්තයට අනුව පැවසෙනුයේ ගණ දෙවියන් සහ එතුමන්ගේ සොයුරු කඳ සුරිඳුන් ඉදිරියට වැටුණු මිහිරි අඹ පලයක් ලබා ගැනීමට නොඉවසිලිමත් වීමේ දී ගණ දෙවිඳුන්ගේ එක දළයක් බිඳී ගිය බව ය.

එනිසාම එතුමෝ’ඒක දන්ත”යනුවෙන් ද හැඳින්වෙති.එහෙත්, භාරතීය පුරාණ සාහිත්‍යයට අනුව මෙම කතාව මීට වඩා සංකීර්ණ බවක් පළ කරයි.කඳ සුරිඳුන් හෙවත් කාර්තිකේය සහ ගණ දෙවියන් ගේ දෙමාපියන් වනුයේ ශිව සහ පාර්වතී ය.තම දරු දෙදෙනා සහ බිරිඳ සමඟ හිමාලයේ කෛලාස කූට පර්වතයේ වෙසෙන ශිවට වරක් මහා බ්‍රහ්මයාගෙන් අඹ ගෙඩියක් තෑගි ලැබේ.එහෙත්, එහි විශේෂත්වයක් ද තිබේ.එනම් ඒ අඹ පලය අනුභව කළ සැනින් ඒ තැනත්තාට අසම සම මහා ප්‍රඥා සම්පත්තියක් හිමි වීමය.

ඒ අනුව එම අඹ ගෙඩිය ප්‍රදානය කළ යුත්තේ තම පුතුන් දෙදෙනාගෙන් කාටදැයි තීරණය කළ නොහැකි වූ ශිව දෙවියන් තම පුතුන් දෙදෙනා අතරේ තරඟයක් පවත්වා ඉන් දිනන තැනැත්තාට එම අඹ ගෙඩිය ප්‍රදානය කිරීමට තීරණය කළේය.එම තරඟය වූයේ මෙම ලෝකය වටා තෙවරක් කරකැවී හැකි ඉක්මනින් තමන් හමුවට ඒම ය.කාර්තිකේය හෙවත් කඳ සුරිඳුන්ගේ වාහනය මොනරෙකි.ඒ අනුව ඒ මොහොතේම ඒ මොනරා පිට නැඟි කාර්තිකේය තම ලෝ වටා ගමන් ඇරඹීය.

එහෙත් ලඹෝදර නමින් හැඳින්වෙන විශාල උදරයක් සහිත ගණ දෙවියන් ගේ වාහනය ද මීයෙකි.ඒ අනුව තම සොහොයුරා සමඟ තරඟයට ලෝ වටා යා නොහැකි ගණ දෙවිදුන් තම මාපියන් වන ශිව හා පාර්වතී එක් තැනක හිඳුවා ඔවුන් වටා තෙවරක් පැදකුණු කොට “මම මගේ ලෝකය වටා තෙවරක් පැදකුණු කළා”යනුවෙන් කීය.

ඒ අනුව ගණ දෙවියන්ගේ එම දාර්ශනික පිළිතුරින් සතුටට පත් ශිව දෙවියන් ඔහුට ඒ අඹ ගෙඩිය ප්‍රදානය කළ බව පැවසෙයි.මෙම ලෝකය වටා යා යුතු තරඟය වශයෙන් කරදිය වළල්ල වටා ගොස් එන ලෙස ශිව දෙවියන් කළ ඉල්ලීමට අනුව කඳ සුරිඳුන් හනික ඒ ගමන පිටත් වන අතරේ ගණ දෙවියන් නිවසේ ලුණු පොල් කට්ට වටා තම ඇඟිල්ලක් කරකවා”හරි,මම ඒ ගමන සම්පූර්ණ කළා”කියමින් ඒ අඹ ගෙඩිය දිනා ගත් බවට ද ගැමි ප්‍රවාදයක් අප රටේ ඇත. දේවත්වය සහ අඹ අතර ඇති සබැඳියාව මෙතෙකින් හමාර නොවේ.

බුදුන් දවස අඹ වනයක් මුර කරමින් සිටි උයන්පල්ලකු සැරියුත් හිමියන්ට උවටැන් කිරීමේ පුණ්‍ය මහිමයෙන් මරණයෙන් පසු අම්බවිමානවාසී දේවතාවා නමින් තව්තිසා දෙව්ලොව උපන් පුවතක් විමාන වත්ථුවෙහි තිබේ. එව රසවත් කතා පුවත සැකෙවින් මෙසේ ය.

එක්තරා ග්‍රීෂ්ම ඍතුවක අධික වූ සූර්යතාපය නිසා දහඩිය වගුරමින් මහමග වඩින සැරියුත් මහ රහතන් වහන්සේ දුටු අඹ වනයක් භාරව සිටි උපන් පල්ලෙකු තුළ උන්වහන්සේ කෙරෙහි ඉමහත් දයානුකම්පාවක් ඇති විය. ඒ අනුව එම උයන්පල්ලා සෙවණ සහ සිසිල සහිත එම අඹ වනයට වැඩම කොට මඳක් ගිමන් හරින ලෙස හෙතෙම සැරියුත් හිමියන්ට ඇරියුම් කළ අතර උන්වහන්සේ ද ඒ ඇරයුම පිළිගෙන එහි වැඩම කළහ. එහෙත් උන්වහන්සේගේ විඩාබර බව මුළුමනින් සහ නොසිඳුණු බව දුටු උයන්පල්ලා උන්වහන්සේට වැළඳීමට දිය බඳුනක් පිළිගන්වා මෙසේ ඇසීය.

“ස්වාමීනි මේ අඹ වනයේ සිසිල් පිරිසිදු පැන් සහිත ළිඳක් ඇත. ඔබ වහන්සේ කැමැති නම් ඉන් දිය ඇද ඔබ වහන්සේ ස්නානය කරවීමට මම කැමැත්තෙමි”. උයන්පල්ලාගේ ඒ ඉල්ලීම සැරියුත් හිමියන් නිශ්ශබ්දව ඉවසා වදාරනු දුටු උයන්පල්ලා එම ළිඳෙන් දිය ඇද උන්වහන්සේ ස්නානය කරවීය. පසුව එමගින් තමන් වහන්සේගේ ගමන් වෙහෙස දුරු කර ගත් සැරියුත් හිමියන් ද එම උයන් පල්ලාට ඒ පැන් පූජාවෙහි අනුහස් දක්වා නැවත තමන් වහන්සේගේ ගමනාරම්භ කළහ.

එම පුණ්‍යකර්මයෙන් හටගත් චිත්ත ප්‍රසාදය මුල්කොට පසු කලෙක මිය පරලොව ගිය එම උයන්පල්ලා තව්තිසා දෙව්ලොව ඉපිද අම්බවිමානවාසී දේවතා යන නමින් ප්‍රකට වූ බව විමාන වත්ථුවේ කතා ප්‍රවෘත්තියක සඳහන් වෙයි. එහි වැඩිදුරටත් සඳහන් වන අන්දමට එම දිව්‍ය පුත්‍රයාගේ විමානයේ විශාලත්වය යොදුන් දොළසකි.

එය මුළුමනින්ම ඝන රනින් නිමවා තිබේ.එහි මුදුන් හෙවත් කුළු ගෙවල් සත්සියයකි. වෛදුර්ය මාණික්‍යයන් ගෙන් යුතු කුළුණු සහිත ඒ මන්දිරය බබළනසුලු ය. දිව්‍ය අප්සරාවන් දහස් ගණන් ගී ගයමින් රැඟුම පාන ඒ් විමානය දිව්‍යමය ආහාරපානවලින් පිරී පවතින බව ද විමාන වත්ථුවෙහි දැක්වෙයි.

අඹ යනු මිහිමත පල දරන පලතුරක් වශයෙන් අප බොහෝ දෙනකු දැන සිටිය ද දෙව්ලොව ද අඹ උයන් ඇති බව විමාන වත්ථුවේ අම්බවිමාන කතාවලින් ප්‍රකාශ වෙයි. එම අම්බ විමානයෙහි ප්‍රධානත්වය දරනුයේ දේවතාවියක විසින් බවත් සිය ගණන් ප්‍රාසාද මහල් සහිත පසඟතුරු නදින් පිරීගත් එම දේව විමානයේ නිතර දැල්වෙන රන්වන් පහනක් ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.

එම දිව්‍යමය ආත්මය සහ විමානය හිමිකරගෙන ඇත්තේ ඇය බුදුන් දවස විසූ එක් උපාසිකාවක සිටි සමයේ බුදුන් වහන්සේගේ ද අනුදැනුම සහිතව භික්ෂූන් උදෙසා ආවාසයක් තනා ඒ හාත්පස අඹ ගස් සිටුවීමේ පුණ්‍ය මහිමයෙනි. එමෙන්ම එම සංඝාවාසය තුළ ඇය විසින් නිරතුරුවම පහනක් දල්වා තැබූ බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.

අපගේ සංස්කෘතියේ විශේෂ සඳහනක් නැතත් අඹ කොළ යනු සෞභාග්‍යයේ සංකේතයක් බවට හින්දු සමාජයේ මුල් බැස ගත් මතයක් තිබේ. එමගින් වැඩිදුරටත් තහවුරු වනුයේ අඹ කොළ මගින් සෞභාග්‍යයේ දෙවඟන වශයෙන් හඳුන්වන ලක්ෂ්මී දෙවඟනගේ අත් පා සංකේතවත් කරන බවකි.

එබැවින් හින්දූහු දීපාවලී වැනි උත්සවවල දී මෙන්ම හින්දු ආගමික උත්සවයන් සම්බන්ධ තොරණ බැඳීමේ දී අඹ අතු ඉති යොදා ගනිති. උදම්මිට නාහිමියන් කළ අඹ ගසේ දෙවිවරුන් වැඩ සිටින පුවත ජන සම්මතයට අනුව වුව හුදෙක් විහිළුවක්ම නොවනුයේ මෙම පසුබිම විමසා බලන විටය.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….