ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…

ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් පොහොසත් ජාතියක් වන ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ විචිත්‍රව නැඟී සිටින නමුත්, එහි විචිත්‍රවත් මුහුණුවරට යටින් පැතිරුණු අන්ධකාරයක් පවතී. ලංකාව තුළ පැවතෙන කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය මෙම අන්ධකාරයට හේතු සපයයි. සමාජ සම්මතයන් සහ සංස්කෘතික භාවිතයන් තුළ ගැඹුරින් මුල් බැස ඇති මෙම නිහඬ වසංගතය, එහි ජනගහනයෙන් අඩකගේ එනම් කාන්තාවන් හා ගැහැණු ළමූන්ගේ මූලික අයිතිවාසිකම් සහ අභිලාෂයන් යටපත් කරමින් රටෙහි සංවර්ධනයට ද බාධාකාරී වේ.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය විවිධ ආකාරවලින් සිදුවේ. මෙම පීඩාවන් ශාරීරිකව හෝ මානසිකව හෝ වාචිකව සිදුකරනු ලබන හිංසනයන් විය හැක. ඒවා කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ශාරීරිකව, මානසිකව, චිත්තවේගීයව හා සමාජීය වශයෙන් දුරදිග යන හා ඇතැම් විට විනාශකාරී බලපෑම් ඇති කරයි. ජීවිතවල නොමැකෙන වේදනාත්මක සලකුණු ඉතිරි කරයි. ඛේදනීය කරුණ නම් බොහෝ විට ඔවුන්ට ඉතාමත් සමීප අයෙකු, පවුලේ අයෙකු හෝ සහකරුගෙන් මෙම හිංසනයන් සිදු වීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 2019 අධ්‍යයනයකට අනුව, කාන්තාවන්ට හා ගැහැනු ළමයින් ට එරෙහි හිංසනය මානසික අවපීඩනය, කාංසාව, පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) සහ සියදිවි නසාගැනීම් ඇතුළු ඍණාත්මක සෞඛ්‍ය ප්‍රතිඵල රාශියකට හේතු වන බව පෙන්වා දෙයි. මෙම කම්පනයන්වලින්, විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක කම්පනයන්වලින් දිවි ගලවා ගත් අයට වුවද එම කම්පන ඔවුන්ගේ ජීවිත කාලය පුරාම අඳුරු සෙවණැලි මවයි. එයින් මතු වන සමාජ හුදකලාව, අපකීර්තිය සහ ආර්ථික දුෂ්කරතා මෙම වේදනාව වැඩි කරමින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් අවදානමට ලක්වීමේ විෂම චක්‍රයක් තුළ සිර කරයි.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයෙහි ප්‍රතිවිපාක පුද්ගලයාගෙන් ඔබ්බට විහිදෙන අතර, සමස්තයක් ලෙස එය පවුල් සහ අනෙකුත් ප්‍රජාවන්ට ද බලපායි. මෙම ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන දරුවන් චිත්තවේගීය හා චර්යාත්මක ගැටලු අත්විඳීමට ඇති ඉඩකඩ වැඩිය. එමගින් ඇතිවන මානසික තත්ත්වය හේතු කොට ගෙන මෙය පරම්පරා ගණනාවක් පුරා ප්‍රචණ්ඩත්වයේ චක්‍රය පවත්වාගෙන යෑමට හේතු වේ. පවුල් තුල ඇති සම්බන්ධතාවයන් බිඳවැටීම්, විශ්වාසයන් පලුදු වීම් හේතුවෙන් ඇතිවන්නා වු ආරවුල් හේතු කොටගෙන මෙය ඔවුන්ගේ සමස්ත සංවර්ධනයට සහ යහපැවැත්මට බාධා පමුණුවයි. එබැවින් මෙය ඉතාමත් බැරෑරුම්ව සලකා බැලිය යුතුය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2019දී සිදු කළ කාන්තා යහපැවැත්ම සමීක්ෂණය විසින් අනාවරණය කළ පරිදි, ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (20.4%) තම ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකු විසින් කායික සහ/හෝ ලිංගික හිංසනයට ලක්ව තිබේ. මීට අමතරව, UNICEF විසින් 2017දී සිදු කර ඇති අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 15-19 අතර ගැහැණු ළමයින්ගෙන් 15% ක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වී ඇති බවයි. කාන්තා හා ළමා සංවර්ධන දෙපාර්තමේන්තුව 2021දී වාර්තා කළ පරිදි ගෘහස්ථ හිංසනය පිළිබඳ පැමිණිලි 31,147 ක් ලැබී තිබිණි. එසේම, ශ්‍රී ලංකා සංඛ්‍යාන කාර්යාංශයට අනුව, 2021 දී ලිංගික හිරිහැර කිරීම් 2,097 ක් වාර්තා විය. මෙම දත්ත විසින් ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කෙතරම් ඉහළ මට්ටමක තිබෙනවා ද යන්න පෙන්වා දෙයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මෙහි භයානක ප්‍රධාන අඳුරු පැතිකඩකි. ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් සැලකීය යුතු පිරිසකට එය කටුක යථාර්ථයක් වන අතර, නිවෙස්වල ඇති සාමය සුනුවිසුනු කර, එම ස්ථානය ඔවුන් බිය පත් කරන සහ වේදනාවේ කුටීර බවට පත් කරයි. මෙම ශාරීරික හෝ ලිංගික හිංසනය, ආරක්ෂාව සහ අභිමානය සඳහා වන මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් වන අතර එය කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිත අඩපණ කර, සමහර අවස්ථාවන්හි කිසිදා සම්පූර්ණයෙන් සුව කළ නොහැකි චිත්තවේගී කැළැල් ඇති කරයි. එමෙන්ම ගැහැණු ළමයින්ගේ ළමා කාලය සහ අධ්‍යාපනය අහිමි කරවන ළමා විවාහ, අවදානම් සහ දරිද්‍රතාවය ද මෙම හිංසන චක්‍රය පවත්වාගෙන යාමට හේතු වේ.

මෙයට හේතු සොයා බැලීමේදී ලංකාව තුළ ගැඹුරට මුල් බැසගත් සමාජ සම්මතයන්, සංස්කෘතික භාවිතයන් කාන්තාවට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයන්ට හේතු සපයන බව පෙනී යයි. එය තනි පුද්ගල ක්‍රියාවක ප්‍රතිඵලයක් පමණක් නොවන අතර එය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාව, පීතෘමූලික සම්මතයන් සහ වෙනස් කොට සැලකීම පවත්වාගෙන යන සමාජ සම්මතයන් සහ සංස්කෘතික භාවිතයන් තුළ ගැඹුරින් මුල් බැස ඇත. කාන්තාවන් යටහත් පහත් ලෙස නිරූපණය කරන හානිකර ස්ත්‍රී පුරුෂ සමාජ නිර්මිතයන් ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කර බොහෝ විට එම හිංසනය සිදු කරන්නාට සමාව දෙන පරිසරයක් නිර්මාණය කරයි.

එයටත් වඩා බරපතළ ම කරුණ වන්නේ මෙම කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට එරෙහි හිංසනයන් පිළිබඳව ඔවුන් විසින්ම දරන මතයන්ය. බොහෝ දෙනෙක් තමන්ට සිදු වූයේ හිංසනයක් යැයි තේරුම් ගැනීමට නොහැකි වීම හෝ තේරුම් ගැනීමට අවශ්‍ය නොවීම තුළම හිංසනයට පත් වේ. ලංකාව වැනි ආසියාතික රටවල පීතෘ මූලික සමාජය ඉහළ යයි සැලකෙන බැවින්, එම කාණ්ඩයන් විසින් සිදු කරනු ලබන ක්‍රියා බොහෝදුරට හිංසන යටතේ සමාජය තුළ සලකන්නේ නැත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වාර්තා නොවන්නේ එබැවිනි. කුඩා කාලයේ පටන් ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් වෙනස්කොට සැලකීමේ සිටම ඔවුන් වයසින් පරිණත වන විට පිරිමින් නායකත්වයට සහ ඔවුන්ගේ යටත් පිරිසක් ලෙස කාන්තාවන් නිතැතින්ම පත්වේ. මෙයට හේතු වන්නේ කලින් සඳහන් කළ ආකාරයටම සමාජ විසින් යොදාගත් රාමු සහ සමාජ නිර්මිතයන්ය. මෙය නිහඬ වසංගතයක් ලෙස තවමත් සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

උදාහරණයක් ලෙස ළමා විවාහ, ඇතැම් සංස්කෘතික හා ආගමික සම්මතයන් තුළ ගැඹුරින් මුල් බැසගත් පුරුද්දක් ලෙසින් සිදු වන බැවින් එය ගැහැණු ළමයින්ගේ ළමා කාලය, ඔවුන්ගේ සිහින හා අපේක්ෂාවන් ඉටු කර ගැනීමට ඔවුන්ට ඇති අවස්ථාව අහිමි කරයි. ගැහැණු ළමයින් සඳහා අවම විවාහ වයස පිලිබඳව ගැටලු මතු කරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත තරුණ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා දෙයි.

මෙම නිහඬ වසංගතය වළක්වාලීමට ලංකාව තුළ පුළුල් නීතිමය රාමුවක් ස්ථාපිත කර ඇති අතර, වින්දිතයින් ආරක්ෂා කිරීම, වැරදිකරුවන්ට දඬුවම් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම මෙම නීති ඉවහල් වෙයි. දණ්ඩ නීති සංග්‍රහය මෙහි ප්‍රධාන තැනක් ගන්නා අතර, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාවට සහ ගෞරවයට තර්ජනයක් වන ක්‍රියාවන් රැසක් අපරාධ ලෙස පෙන්වා දෙමින් එම ක්‍රියාවන් අපරාධ බවට පත් කරයි. එසේම 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත මගින් වින්දිතයින්ට අධිකරණයෙන් ආරක්ෂාව පැතීමට, ආරක්‍ෂක නියෝග ලබා දීමට, තහනම් නියෝග සහ අතුරු නඩත්තු නියෝග ලබා දීමට බලය ලබා දී ඇත. 1993 අංක 22 දරන කාන්තා ප්‍රඥප්ති පනත ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ කේන්ද්‍රයක් ලෙස ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වෙනස් කොට සැලකීම තහනම් කරයි. තවද 1998 අංක 56 දරණ ළමා හා තරුණ පුද්ගලයින් පිළිබඳ පනත විසින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පුළුල් නෛතික රාමුවක් සපයයි. එමගින් ළමා අපචාර, ළමා විවාහ සහ මිනිස් ජාවාරම් ඇතුළු වැරදි රාශියකින් ළමයින් ආරක්ෂා කරනවා මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබාදෙන බව සහතික කරයි.

බොහෝ විට මෙම හිංසනයන් පිළිබඳව හෝ එම හිංසනයන් සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් පිළිබඳව අවබෝධයක් නොමැති වීම නිසා නීති කෙතරම් ශක්තිමත් ව තිබුණද ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම, මෙම හිංසනයන් වැළැක්වීම සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය හෝ ඉන් පරිබාහිර ආයතනවල ගැටලු, එම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීම නිසි ආකාරයෙන් අධීක්ෂණය කීරීමේ ගැටලු, ඒවාට අදාළ යුක්තිය ප්‍රමාද වීම වැනි හේතු මත කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය තවමත් පවතී.

එබැවින් මෙම ගැටලු වලට පිලිතුරු සෙවීමේදී බැරෑරුම් ප්‍රවේශයක් සහ සාමුහික ප්‍රයත්නයක් දැරීමට අවශ්‍ය වේ. කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම ඔවුන්ට සිදුවන හිංසනයන් අවම හෝ ඉවත් කිරීමේ මූලික ප්‍රයත්නයයි.

මේ වන විට ආරම්භ වී ඇති, සෑම අවුරුද්දක් පාසාම සිහිපත් කරමින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයට එරෙහිව දැනුවත් කිරීමේ සහ බලමුලු ගැන්වීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වන දින 16 ව්‍යාපාරය මේ නිහඩ වසංගතය තුරන් කීරීමට හඬ නැගිය යුතූ බව නැවතත් අපට මතක් කරයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා මානව හිමිකම් දිනය දක්වා දින 16 තුළදී ලෝකයේ කාන්තාවන් සහ ළමයින් සමග අත්වැල් බැඳගෙන ලංකාවට පමණක් සීමා නොවු මෙම ගෝලීය අර්බුදයට පිළියම් යෙදීමේ අවශ්‍යතාව පිළිබඳ සමාජය අවදි කරමු.

ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳිමු. සෑම කාන්තාවක් සහ ගැහැණු ළමයෙක් සඳහා ම සුරක්ෂිත අනාගතයක් ගොඩනගන්නට පෙරමුණ ගනිමු.

දිනිති පේලිතන්ත්‍රිගේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත, සමබිම අතිරේකය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….