හෝමාගම, රෝහණ ලියනගේ මහතා මෝටර් සයිකල්, ත්‍රීවීලර් සහ ජපන් වාහන සඳහා උසස් තත්ත්වයේ ස්ප්‍රිං නිෂ්පාදනය කරන දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දිරිය කතාවයි මේ.

ගුණාත්මක නිෂ්පාදනයේ රහස 

“මගේ ව්‍යාපාරය වන්නේ ස්ප්‍රිං නිෂ්පාදනය කිරීම සහ ඒවා අලෙවි කිරීමයි”. වාහන වර්ගය අනුව ස්ප්‍රිං වල ප්‍රමාණය, දිග සහ ස්ථිරතාවය නිවැරදිව නිපදවීම සඳහා ඔහු සතුව දශක ගණනක පළපුරුද්දක් පවතී. “ස්ප්‍රිං එකක් නිපදවීමේදී වැදගත්ම කරුණ වන්නේ නිවැරදි ටෙන්ෂන් යෙදීමයි. මෙය දිගු කාලීන අත්දැකීම් නැතිව කළ නොහැකියි”. වාහන සඳහා පමණක් නොව යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ස්ප්‍රිං සහ තාක්ෂණික උපදෙස් ද ඔහු සපයයි.

ස්ප්‍රිං එකක් නිපදවීමට විනාඩි කිහිපයේ සිට මිනිත්තු 15 දක්වා කාලය ගතවන අතර,සමහර නිෂ්පාදන ආයතන අපේ ආයතනයට පැමිණිලා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ස්ප්‍රිං නිෂ්පාදනය කරගනු ලබනවා.

පරම්පරාගත ව්‍යාපාරයක්

මෙම ව්‍යාපාරයේ ආරම්භය 1979 දී ඔහුගේ පියා වන නිමල් ලියනගේ විසින් සිදු කරන ලදී. එකල ඔහු මෝටර් සයිකල් සහ ට්‍රැක්ටර් සඳහා අමතර කොටස් නිපදවූ අතර ඒවා යාපනය, අනුරාධපුරය වැනි දුරස්ථ ප්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කළේය. රෝහණ ලියනගේ වයස අවුරුදු 6 දී පටන් ගමන් පාසල් යන අතරතුර පියාගේ ව්‍යාපාරයට සහය විය.

2004 දී රෝහණ ලියනගේ ස්වකීය ස්ප්‍රිං නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කළේය. මුල් කාලයේ බස් රථවලින් ගමන් කරමින් අනුරාධපුරය, යාපනය, ගාල්ල, මාතර වැනි ප්‍රදේශවලට ගොස් අලෙවි කළ අතර පසුව ත්‍රීරෝද රථ භාවිතා කරමින් ව්‍යාපාරය ව්‍යාප්ත කළේය. රට පුරා ඇති වාහන අමතර කොටස් වෙළඳසැල්වලට ඔහුගේ නිෂ්පාදන සැපයීය. රජයේ ආධාර නොමැතිව මෙම ව්‍යාපාරය කරගෙන යාමට ඔහුට සිදු විය.

විදේශගත වීම සහ නැවත ආරම්භය

2006 දී මූල්‍යමය අභියෝග හමුවේ කොරියාවට ගොස් රැකියාවක් ලබා ගත්තේය. 2012 දී ආපසු පැමිණි ඔහු විදේශීය ස්ප්‍රිං ආනයනය හමුවේ තම නිෂ්පාදනවලට ඇති වූ අඩු ඉල්ලුම නිසා 2016 දී නැවත කොරියාවට ගියේය. එහිදී ඔහුට විශාල ස්ප්‍රිං නිෂ්පාදන ආයතනයක රැකියාවක් ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉන්දියානු කම්බිවලට වඩා ගුණාත්මක කොරියානු කම්බි භාවිතයට ගැනීමට හැකියාව ලැබුණි. 2022 දී ආපසු ලංකාවට පැමිණ නැවතත් ව්‍යාපාරය ආරම්භ කළේය.

තාක්ෂණය සහ අලුත්වැඩියා

ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා ඔහු වෙබ් අඩවියක් නිර්මාණය කළ අතර, කොවිඩ් වසංගත කාලයේදී එමගින් වැඩි ඇණවුම් ලැබුණි. “ඇණවුම් ඉතා ඉහළ යාම නිසා අලෙවිසැල්වලට ගොස් ඇණවුම් ගැනීමට පවා වෙලාව නොතිබුණි” ඔහු කියයි. අද වන විට දුරකථන, WhatsApp, වෙබ් අඩවිය සහ කුරියර් සේවා මගින් ඔහුගේ ව්‍යාපාර කටයුතු සිදු කරයි.

ව්‍යාපාරයේ රහස්

කාලයට බාරදීම – නියමිත කාලයට නිෂ්පාදන ලබා දීම අත්‍යවශ්‍ය වේ.

සියලු ඇණවුම් පිළිගැනීම – ග්‍රෑම් 50 හෝ 10 වැනි කුඩා ඇණවුම් පවා ප්‍රතික්ෂේප නොකිරීම.

ගුණාත්මක භාවය – අමුද්‍රව්‍ය ගුණාත්මක නොවුවද, නිවැරදි ටෙන්ෂන් යෙදීමෙන් ශක්තිමත් ස්ප්‍රිං නිපදවිය හැකිය.

විනිවිද මිල ගණන් – මිල ගණන් පැහැදිලිව තබා ගැනීම සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයාගේ එකඟතාවයෙන් පමණක් මිල වැඩි කිරීම.

ස්වකීය විශ්වාසය – අන් අයගේ කැඩුණු ස්ප්‍රිං ඔහු වෙත ගෙන එන විට එය ඔහුගේ නිපුණතාවයට තහවුරුවක් ලෙස සලකයි.

අනාගත සැලසුම්
දැනට ඔහුගේ වැඩමුළුවේ සෘජුව සේවය කරන්නන් 4 දෙනෙකු සිටින අතර, ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් ස්ප්‍රිං නිෂ්පාදනය කරයි. ඉදිරියේදී තවත් යන්ත්‍ර ස්ථාපනය කිරීම, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සහ අපනයන වෙළඳපොළට පිවිසීම ඔහුගේ ඉලක්කයයි.

රෝහණ ලියනගේගේ කතාව යනු නවෝත්පාදනය, අධිෂ්ඨානය සහ ගුණාත්මක භාවය පිළිබඳ ආදර්ශමය කථාවකි.

(ලිපියේ හිමිකරු – ඉරෝෂා දීපානි)

More Stories