දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ පවතින වැරදි නිවැරදි නොකර දුෂිතයින් ඇල්ලීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි සිතා කටයුතු කළ හොත් සිදුවන්නේ එක් දුෂිතයින් පිරිසක් වෙනුවට වෙනත් පිරිසක් බිහිවීම පමණක් බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

විශාල රජයකින් ජනතාවගේ ආර්ථික නිදහසට අනවශ්‍ය ලෙස මැදිහත් වීම දුෂණයට හේතු වන බව ආචාර්ය පාමර් මහතා පැහැදිලි කළේය.

ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ග්‍රීසියේ සහ යුක්රේනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි සඳහා උපදේශකයකු ලෙස සහභාගී වීමෙන් ලද අත්දැකීම් ඒ මහතා විස්තර කළේය.

ග්‍රීසියේ ආරථික අර්බුදය දික් ගැසීමට හේතු වුයේ එරට දේශපාලනයේ මධ්‍යස්ත පිරිස්වල බලපෑම යටපත් කරමින් අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිනාංශික බලවේග ශක්තිමත් වීම නිසා ය. ආර්ථික අර්බුදයට ඔවුන්ගේ විසදුම් සාර්ථක වුයේ නැත.

කෙසේ වෙතත්, මේ වනවිට මධ්‍යස්ථ පක්ෂයක් බලය ලබා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටියි. දැන් එරට ආරථික වර්ධන වේගය යුරෝපය අභිබවා ගොස් ඇත. ජර්මනියට ද වඩා වේගයෙන් වර්ධනය වෙයි.

ග්‍රීසියේ තිබු එක් ප්‍රශ්නයක් නම් අනවශ්‍ය රාජ්‍ය ආයතන රාශියක් පැවතීමයි. ආයතනයක ගිනි නිවනය පරීක්ෂා කිරීමට රාජ්‍ය ආයතන එකොළහක් තිබිණි. දැන් එය එකක් දක්වා අඩු කොට ඇත. ඒ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව යි.

මෙලෙස රජයේ මැදිහත්වීම් අඩු කරන විට දුෂණයට ඇති ඉඩ අවම වෙයි.

ග්‍රීසියේ මෙන් ම යුක්රේනයේ ද ප්‍රධාන ප්‍රශ්නයක් වුයේ දුෂණය යි. කෙසේ වෙතත්, දුෂණය ප්‍රශ්නයේ හේතුව නොව එහි රෝග ලක්ෂණයක් පමණක් බව තේරුම් ගත් ඔවුහු බදු ක්‍රමය සරල කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහ.

කවරෙකුට හෝ කිසියම් ආර්ථික තීන්දුවක් ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා පවතින නීතිය පැහැදිලි විය යුතු ය. රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතිය ගැනීම වෙනුවට නීතියෙන් නියම කළ සීමා තුළ බාදාවකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු ය. එවිට දුෂණයට තිබෙන අවස්ථා අඩු වෙයි.

දුෂිතයින් අල්ලා දඬුවම් කිරීමට අවශ්‍ය නම් එසේ කරන්න. නමුත් එය ප්‍රශ්නයට විසඳුම නොවන බව තේරුම් ගැනීම අවශ්‍ය ය.

ප්‍රශ්නයට විසඳුම වන්නේ ක්‍රමයේ තිබෙන වැරදි නිවැරදි කිරීම ය.

අඩ්වෝකාටා ආයතනය සංවිධානය කළ 2024 ආර්ථික සමුළුවට සහභාගී වෙමින් “ඇට්ලස් ජාලයේ “‘ ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා මෙම අදහස් පළ කළේය.

ෆ්රේසර් ආයතනයේ නේවාසික නියෝජිත ෆ්‍රෙඩ් මැක්මොහාන්, ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, , මුදල් අමාත්‍යංශයේ උපදේශක ආර්ථික විද්‍යාඥ ඩැනියල් අල්ෆොන්සස් මහත්වරු ද සාකච්ඡා මණ්ඩපයට සම්බන්ධ වුහ.

මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබී ය.

“ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

Similar Posts