පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය.

* බියංකා ගේ උපන් ගම කොහෙද ?

මාතලේ, කවුඩුපැලැල්ල

* ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ?

ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා විද්‍යාලයට. මම ඉපදුණේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි අයියයි නංගිලා දෙන්නයි මල්ලියෙකුයි මැදට.
අපේ තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා රස්සාවක් කළේ නෑ. ඒත්, අම්මාත් තාත්තා වගේම හරි හරියට පොත් කියෙව්වා. අපි පොඩි කාලේ ඉඳලා ගෙදර තාත්තගේ පුංචි පුස්තකාලයක් තිබුණා. ඒකෙ ඩබ්ලියු. ඒ. සිල්වා, පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ, කුමාර කරුණාරත්න, කරුණාසේන ජයලත්, එඩ්වඩ් මල්ලවාරච්චි වගේ ගොඩාක් අයගේ නවකතා පොත් තිබුණා මට හොඳට මතකයි. විජයබා කොල්ලය, කැලෑහඳ, ගොලු හදවත, ආදර රත්නෙ, එයා දැන් ලොකු ළමයෙක්, මනමාලී, ප්‍රාර්ථනා, සුබා, සුබ ප්‍රාර්ථනා වගේම ඒ අතරේ අමා වතුර, දහම් සරණ, සැළලිහිණි සංදේශය, කාව්‍යශේකරය වගේ පොතුත් තිබුණා. අවුරුදු පහේ හයේ ඉඳලා මේ පොත් අතපත ගෑවා කියෙව්වා. අම්මගෙනුයි තාත්තගෙනුයි ජීවිතේට ගත්ත ප්‍රධාන දේවල් අතරේ විශේෂම කාරණා දෙකක් තියෙනවා. පොත්වලට ළං වීමත් සත්තුන්ට ආදරේ කිරීමත්.

* ඔයාගේ ගෙදරත් ඔයා පුංචි කාලේ සත්තු ගොඩක් හිටියද ?

අපි පුංචි කාලේ ඉඳලා හැමදාම ගෙදර පූසෙකුයි බල්ලෙකුයි හිටියා. අම්මා කියන්නෙ අපි පොඩිකාලේ ඇඳේ නිදි කළාට පස්සෙ ඒ පූසත් ඇඳට වෙලා නිදාගන්නවා කියලා. අපේ ළඟ පුංචි කාලේ ඉඳලා පූසෙක් නිදා ගත්තා කියලා අපිට කිසි අසනීපයක් හැදුනේ නෑ. ගෙදර හදපු බලූ ජිමී. අවුරුදු පනහක් විතර තිස්සේ ගෙදර හදපු සතා වරින් වර නැතිවෙද්දී ගේන හැම බලූටම ලැබුණෙ ජිමී කියන ඒ නමමයි. අදටත් අපේ මහගෙදර පූසෙක් සහ බලූ ලා හතරක් ඉන්නවා. අයියයි අම්මයි නංගිලයි බලාගන්නෙ. දැන් මගේ තාත්තා ජීවතුන් අතර නෑ. අම්මට අවුරුදු අසූව පැනලා. ඒත් එයා සත්තුන්ට ආදරේ කරලා, ඒ අයගේ සුරතල් බලලා පුදුම මානසික සුවයක් ලබනවා කියලා මං දන්නවා.

* පුංචි කාලේ ඉඳලම පොත් කියවපු නිසාද පොත් ලියන්නත් නැඹුරුවක් ඇති වුණේ ?

මං ඉස්කෝලේ යද්දිම ලියන්න පටන් ගත්තා . කවි කෙටිකතා වගේ පුංචි පුංචි දේවල්. ඒවා යොවුන් හා කාන්තා පත්තරවලටත් රේඩියෝ වැඩසටහන් වලටත් දාලා පළවුණා. ඒවා දිගටම කරගෙන යන අතරේ උසස් පෙළ පන්තියේ දි මොනිටර් එක්සසයිස් පොත්වල අතින් නවකතා පොත් දෙක තුනක්ම ලිව්වා. ඒවා යාළුවො අතරේ හුවමාරුවුණා. ඒ ගොල්ලෝ ලස්සනයි කියද්දී හිතට ලොකු ධෛර්යයක් ආවා. ඒ නිසා තව තව ලිව්වා. ඒ අතරෙ මං උසස් පෙළ ලිව්වා. එතකොට අයියයි අක්කයි දෙන්නම විශ්ව විද්‍යාලේ. ඒ දෙන්නට වඩා වැඩි ප්‍රතිඵල තිබුණත්, වැඩි ලකුණු තිබුණත් මට විශ්ව විද්‍යාලේ යන්න එක ලකුණක් මදි වුණා. ඒ විදිහට මගේ විශ්ව විද්‍යාල සිහිනය බොඳ වෙලා ගියා. මං මිදුලෙ ජෑම් ගහයට බංකුවට වෙලා තව තව ලිව්වා. අපි පොඩිකාලේ ඉඳලා සිත්තර ඇතුලු ගොඩක් චිත්‍රකතා පත්තර බැලුවා. මේ කාලෙ වෙද්දී කුමරි, අරලිය, සුවඳ පත්තරත් බැලුවා. මං ලියාපු “ගිම්හානෙට මල් පිපුණා” කෙටි නවකතාව මම සුවඳ පත්තරේට තැපැල් කරලා යැව්වේ නිකමට වගේ. සති දෙකකට පස්සෙ ඒක පත්තරේ පිටු භාගයක කොටස් වශයෙන් පළවෙන්න ගත්තා. මට හරි ආසයි. ඊට පස්සෙ ලොකු නවකතාවක් ලියලා යැව්වා. ඒක ” කියන්න කාටද ආදරේ” . ඒකත් පත්තරේ පළවෙන්න ගත්තා. සති කීපයක් කතාව යද්දී රස ප්‍රකාශන ප්‍රධාන කර්තෘ අර්නස්ට් වඩුගේ නමින් විදුලි පුවතක් ලැබුණා “පැමිණ මා හමුවන්න ” කියලා. ඒක මම එච්චර ගණන් ගත්තෙ නෑ. දෙවැනියටත් එවන්ම විදුලි පුවතක් ලැබුණා. ඒ වතාවේ තාත්තයි පොඩි අක්කයි, පොඩි අක්කාගෙ සැමියා මහින්ද අයියයි එක්ක මරදානෙ තිබුණු පත්තර කන්තෝරුවට ගියා. වඩුගේ මහත්තයා මාව අගය කරලා මට සුවඳ පත්තරේ උප කර්තෘ තනතුරක් දුන්නා බලෙන්ම වගේ. ඒ විදිහට මම ගමෙන් කොළඹ ආවේ 94 අවුරුද්දේ. එන්න බෑ කිය කිය අඬ අඬා.

* ඒත් එදා ඉඳලා තාම ඔයා කොළඹම නේද ගත කරන්නේ?

ඔව්. ලබන අවුරුද්දට මම කොළඹ ඇවිත් අවුරුදු තිහක් පිරෙනවා. කොළඹ බෝඩිම් ජීවිතේට හුරු වෙන්න මුලින් මුලින් ලේසි වුණේ නෑ. ගෙදර අම්මයි තාත්තයි සහෝදර සහෝදරියො ගොඩකුයි මැද්දෙ ඉඳලා කොළඹ ආවට පස්සේ පුදුමාකාර පාළුවක් දැනෙන්න ගත්තා. ඒ නිසා ගොඩක් වෙලාවට මම කළේ පාරෙ හිටපු බලූ ලා එක්ක යාළු වුණු එක. බස් හෝල්ට් එකට යද්දි එයාලට බිස්කට් පැකට් එකක් අරන් ගිහින් දීලා ටිකක් කතා කර කර ඉන්නවා. එයාලා ඊළඟ දවසෙ මං එනකම් බලන් හිටියා. ඕක මගෙ තනිවුණු ජීවිතේට ලොකු සතුටක් වුණා. සුවඳ පත්තරේ අවුරුදු දෙකක් වගේ හිටියේ. ඊට පස්සෙ කුමරි, රන්ලිය, කුමාරයා, බිරිඳ වගේ පත්තරවල එක දිගට අවුරුදු දහයක් වැඩ කළා. ඒ මුළු කාලෙම කළේ සතිපතා පත්තරවලට නවකතා ලිව්ව එක.

* ඒ කාලේ බියංකා නානායක්කාර කියන්නේ ජනප්‍රිය නවකතාකාරියක්.

ඔව්. ඊටපස්සෙ මං ඉරිදා ලංකාදීප පත්තරේ නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට ටික කලක් ඉඳලා රිවිර පත්තරේට ගියා. අවුරුදු දොලහක් එහෙ වැඩ කළා. අන්තිමට මම රිවිරෙන් අයින් වුණේ විශේෂාංග කර්තෘ විදිහට. අද මගේ රැකියා ස්ථානය අරුණ පත්තරේ.

* මේ වෙනකොට ඔයා නවකතා පොත් කීයක් විතර ලියා තියෙනවද?

හරියටම ගණන නම් මතක නෑ. ඒත් නවකතා පොත් තිස් ගාණක් මුද්‍රණය කළා. මේ දිනවල ධරණි කාන්තා පත්තරේට නවකතාවක් ලියනවා. අවුරුදු පහකින් විතරම පොතක් පළකරන්න බැරිවුණා.

* කොහොමද බියංකා සත්තු ඇති කරන්න යොමු වුණේ?

ඒක හරි අපූරු විදිහට සිදුවුණු දෙයක්. මගෙ පළවෙනි පූස් දරුවා මලී. මලී කිව්වට එයා කොල්ලෙක්. එයාට මාස දෙකක විතර පුංචි කාලේ එයා ඒ දවස්වල මම කුළියට අරගෙන හිටපු ගෙදර ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් හිටියා. ගෙට ගන්නෙ නැතුව දවසක් දෙකක් කන්න බොන්න දුන්නත් අන්තිමේ මට එයාව ගෙට ගන්න සිද්ධවුණා. කෑම බීම හිඟ තවත් කෙට්ටු කහ පූස් පැටියෙක් ටික දවසකින් අපේ ගෙදර ඇවිත් මලී එක්ක සෙල්ලම් කරලා එයාගේ කෑම කාලා ගියා. ඊට පස්සෙ එයාත් යන්නෙ නැතුව පදිංචි වුණා. ඒ තමා කහමලී. ඊට පස්සෙ දවසක් වැඩ ඇරිලා එද්දි තව චූටි පූස් පැටියෙක් ගෙයි දොරකඩ හිටියා. ඒ සිසී. තව දවසක් පූසියෙක් පැටව් පස් දෙනෙක් උස්සන් ඇවිත් ගේ පිටිපස්සෙ තියන් හිටියා. එයාලගෙන් අද මං ළඟ ඉන්නෙ සුදු ටිටී විතරයි. ඊට පස්සෙ එක දෙසැම්බර් 31 වැනිදාවක රතිඤ්ඤා සද්දෙට බයවෙලා පැටව් දාන්න හිටපු පූස් අම්මා කෙනෙක් අල්ලපු ගෙදර සිවිලිමේ පැටව් දාලා තිබ්බා. ඊට පහුවදා ඒ ගෙදර අයිතිකාරයෝ ඒ පූස් පැටව් ටිකයි අම්මයි පෙට්ටියකට දාලා වැට අයිනට විසිකරලා තිබ්බා. එච්චර ලොකු ගෙයක් තියෙද්දී. මං ගෙදර ආවම ඒ පූස් අම්මා පැටව් ටික අපේ ගේ දොරකඩට ගෙනාවා. එයාලවත් ඒ නිසා ගෙට ගන්න සිද්ධ වුණා. දවසක් මස් කඩේ ළඟදි චූටි පූස් පැටියෙක් කැබ් එකකට අහුවෙන්න ගිහින් නූලෙන් බේරෙද්දි එයාවත් මං අරන් ආවා. ඊට ටික කලකට පස්සෙ මම ඒ ගෙදර මාරුකරලා ඒ කිට්ටුව වෙන ගෙදරකට කුළියට ආවා. එතකොට ඒ පැත්තෙ මිනිස්සු මට තෑගි වත්තට දාන්නත් ගේට්ටුව ළඟ තියන්නත් පුරුදු වුණා. ඒ විදිහට තවත් පූසො එකතු වුණා. ඒ අතරෙ කොරෝනා කාලේ කෑම කන්න ආපු එළියෙ පූසියො දෙන්නෙක් ඇවිත් පැටව් දැම්මා. ඔය විදිහට මගේ ළඟ අද වෙනකොට ඉන්න පූසන්ගෙ ප්‍රමාණය තිහක්.

* පූසන්ව විතරද ඔයාට ඇති දැඩි කරන්න සිද්ධ වුණේ ?

ත්‍රීවීලර් එකකට හැප්පිලා පස්ස පණ නැතුව කඩවත පාරක් අයිනෙ හිටපු බලු පැටියෙකුත් ඔය අතරෙ මට ගන්න සිද්ධ වුණා. එයාව මං සනීප කළා. ඒත් රීහෝම් කරන්න උත්සාහ කළත් කවුරුත් ගත්තෙ නෑ. එයා බ්‍රවුන්. මේ අයත් එක්ක මගේ ගේට්ටුවෙන් එළියෙ ඉන්න පූසො කාණ්ඩයත් බලන් ඉන්නෙ මං කෑම පිඟාන අරන් එළියට එනකම්.

* මෙච්චර පූසන් ප්‍රමාණයකට කෑම බීම වගේම අසනීප වුණාම බෙහෙත් දෙන්නත් ඕනේ. කොහොමද ඔයා මේ අය නඩත්තු කරන්නේ ?

සත්තුත් ළමයි වගේ ලෙඩ වෙනවා. ඒවට බේත් කරන්න ඕනි. ලෙඩවලින් බේරෙන්න ප්‍රතිශක්තියට එන්නත් ලබා දෙන්නත් ඕනි. මගේ මුල් අයට එන්නත් ලබා දුන්නත් දැන් කාටවත් ලබා දෙන්නෙ නෑ. වියදම දරන්න බැරි නිසා. අඩුම තරමේ රේබිස් එකවත් විදින්නෙ නෑ. හැබැයි මගෙ මලිගේ ඉඳලා සත්තු දහ දෙනෙක් වෙනකම් මං මෙයාලට ඒ එන්නත් දුන්නා. ඒ කාලේ අසනීපවලට බෙහෙත් ගත්තෙ මාකොළ හිටපු පශු වෛද්‍ය අරුණ චන්ද්‍රසිරිගෙන්. එයාත් එයාගෙ නෝනත් මගේ සත්තුන්ගේ නම් කීවම ඒ ගොල්ලන්ගෙ ඉතිහාසය පවා දන්නවා. වටිනාම කාරණාව තමා ඒ බෙහෙත් ගත්ත එකම අවස්ථාවකවත් වෛද්‍ය චන්ද්‍රසිරි කිසිම බෙහෙතකට මගෙන් සතයක් වත් ගත්තෙ නෑ. සත්තු වැඩිවෙද්දි මං එතනට යන එක නතර කළා. නිකන් බේත් දෙනවා කියලා සත්තු විස්ස තිහ ගෙනියන්නෙ මොන හිතකින්ද මම? ඉස්සර තරම් මගේ සත්තු දැන් ලෙඩ වෙන්නෙ නෑ. ඒ දැන් ඉන්න තැන ගහකොළ ඇසුර වගේම පිරිසිදු වාතාශ්‍රයත්ලැබෙන නිසා කියලයි ඩොක්ටර් කියන්නේ.

* රැකියාවකුත් කරමින් මේ වගේ සත්තු ගොඩක් හදන්නෙ කොහොමද ?

ඕක මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ක්‍රමවත්ව කරනවා නම් ඇත්තටම ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. පුංචිකාලේ ඉඳලා සත්තුන්ට හොඳ ගතිගුණ දෙන්න පුළුවන් නම් ඒ අය කවදාවත් අපිට වදයක් වෙන්නෙ, ගෙවල් ජරා කරන්නෙ නෑ. අසනීපෙකදි හදිස්සියේ හරි එහෙම වෙන්න ඉඩ තිබුණත් ඒක කලාතුරකින් වෙන දෙයක්. කෑම කද්දි වුණත් කෑම ළඟට දෙනකම් මගෙ ලොකු පූසන් ඤාව් කිය කියා කෑම ඉල්ලලා වද දෙන්නෙ නෑ. ඒ ගොල්ලන්ට කෑම එක හදලා ළඟින් තියනකම් ඉන්නවා. පොඩි අයට ඒක පුරුදු කරගන්න බැරිවුණා එයාලා එක පාරට හතර පස්දෙනා එකතු වුණ නිසා. මං වැඩට යන්න කලින් ලින්නො කිලෝ දෙකකට හාල් ග්‍රෑම් 500 ක් දාලා බත් හදලා අනලා කන්න දෙනකම් ඒ අය සද්ද නෑ. ඔක්කෝටම එහෙම දීලා දවල්ට කැට් ෆුඩ් දාලා එන්නෙ. ආයෙ රෑ හතට අටට විතර මං ගෙදර යනකල් ඒවා කාලා බීලා කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් මං ගේ ඇතුළේ තරමක් ලොකු වතුර භාජන හතරක් තියනවා. පශු වෛද්‍යවරු කියන්නේ කැට් ෆුඩ් දෙනව කනම් වතුර වැඩියෙන් දෙන්න කියලා. නැත්තම් වකුගඩු ආශ්‍රිත ලෙඩ ඇතිවීමේ සම්භාවිතාව වැඩියි කියලයි. ඔය වතුර භාජන කට්ටිය අඩියට යන කල් හිස් කරලා තියෙනවා. නැතත් ඒ වතුර හැමදාම අස් කරලා මං අලුත් වතුර තියනවා. සත්තුත් ආසයි අලුත් වතුර බොන්න. එළියෙ තාප්පෙ උඩට කන්න එන පූසන් කට්ටියටත් මං ඔය විදිහට සලකනවා.
අනික මම මගේ සත්තු කොටු කරලා හදන්නෙ නෑ. රුපියල් 35000 මාසිකව ගෙවමින් ගහ කොළ සහිත ලොකු මිදුලක් සහිත කුලී ගෙදරක් මං මගේ වාසයට තෝරා ගත්තෙ මේ පූස් දරුවන් නිසාමයි. ඒ අයට ඒ ගේ ඇතුළේ මේස, පුටු, ඇඳන් වැනි ඕනෑම තැනක් පරිහරණය කිරීමේ නිදහස තියෙනවා. මං නිදා ගනිද්දී අනිවාර්යයෙන්ම මගේ කාමරේට ඇවිත් නිදා ගන්න පූස් දරුවන් කීප දෙනෙකුත් ඉන්නවා. දැන් අවුරුදු හතක් අටක් ඔයාකාරව හුරුවුණ හින්දා ඒ අය කාමරේ ඇතුළෙ නැත්තම් මටත් නින්ද යන්නෙ නැති ගතියක් තියෙනවා.

* පෞද්ගලික ප්‍රශ්නයක් අහන්නද?

අහන්න

* ආදරය විවාහය වගේ දේවල් ගැන ඔයාට මොකද හිතෙන්නේ ?

ජීවිතේට ආදරේ නැතිවුණාම පාළුයි. කොළඹ ඇවිත් අවුරුදු කීපයකට පස්සෙ මටත් හුඟක් හොඳ ආදරවන්තයෙක් ලැබුණා. අපි අවුරුදු ගාණක් ආදරේ කළා. විවාහයකින් අවසන් වෙන්න තිබුණු ඒ ආදර කතාව පෞද්ගලික හේතුවක් නිසා වෙනස්වෙලා එයා පිටරටකත් මං ලංකාවේත් නැවතුණා. හැබැයි තරහකාරයෝ වෙලා නෙවේ. අදටත් ඉඳහිට අපි කතා කරනවා. දැන් නම් ජීවිතේට තනිකම පාළුව දැනෙන්නෙම නෑ. එකක් ඒ ගැන හිතන්න වෙලාවකුත් නෑ. අනික සත්තු ඇසුරෙ ඉන්නකොට ඒගොල්ලන්ට සලකලා එයාලා සතුටෙන් ඉන්නවා දැක්කම හිතට හරි සතුටක් සැනසීමක් දැනෙනවා. ලියන කියන උයන හැමතැනකම පූස් දරුවෝ මං ළඟ. මං අත්දැකීමෙන් දන්න දෙයක් තමා හිතේ තියෙන ආතතිය දුරුවෙන්න හොඳම බෙහෙත පූසෙක් හරි බල්ලෙක් හරි හදන එක කියලා.

* අද රටේ තියෙන තත්ත්වය උඩ ඔයා මේ සත්තුන්ට සලකන්නේ අමාරුවෙන් කියල ඔයා කිව්වා

ඇත්තටම ඔව්. ජීවිතේ සරු කාල වගේම ගොඩාක් අසීරු කාලත් එනවා. මටත් එහෙම ආවා. වරින් වර රස්සව ගිලිහෙද්දි තමා එහෙම වෙන්නෙ. තනියම හිටපු කාලේ ඒකට මුහුණ දෙන්න පුලුවන් වුණා. ඒත් සත්තු හදන්න ගත්තට පස්සෙ හරි අමාරු වුණා. ළඟ තිබුණු සල්ලි ඉවරවෙද්දි රත්තරං බඩු උගස් කළා. ඒවාත් සින්න වුණා. යාළුවන්ගෙන් ණයට ඉල්ලගෙනත් සත්තුන්ට කන්න දුන්නා. ඒ කලෙත් පූසෝ පහළොවක් විතර හිටියා. ගෙදරින් සතිපතා අයියා මගේ වියදමට බැංකුවට දාන සල්ලි වලින් මං යන්තම් කාලා බීලා සත්තුන්ගේ බඩ පිරෙව්වා. දැන් රස්සාව තිබුණත් සත්තුන්ගේ වැඩි වීම නිසා ආයෙත් මං එවැනි තත්වෙකට මූණ දීලා ඉන්නෙ. ඇත්තම කිව්වොත් මගේ පඩියෙන් මේ ගොල්ලන්ව දැන් නඩත්තු කරන්න බෑ. එහෙමයි කියලා ආයෙ පාරට වැටෙන්න දෙන්නත් බෑ. කැමති අයගෙන් උදව් අරගෙන හරි එයාලව මේ විදිහට රැකබලාගන්නයි මට ඕනි. පුළුවන් නම් මට උදව් කරන්න කියලයි මම ඉල්ලන්නේ.

* ඔයාගෙ ගිණුම් අංකයයි, අනික් විස්තර ටිකයි කියන්න

බියංකාගේ දුරකථන අංකය:0761367659

එන්. ආර්. ඒ. බියංකා නානායක්කාර
1080 2013 3563
හැටන් නැෂනල් බැංකුව
මරදාන ශාඛාව

ඉන්දු පෙරේරා

vinivida.lk

Related posts