පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

namal-wejesighe

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්‍ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන් ගේ ආර්ථික හා සමාජමය අසරණ බව, එකල පොලීසියේ ඇතැම් පිරිස් අධිකරණ බලය ද ඉක්මවමින් තම රාජකාරී බලය අවභාවිතා කිරීම ඒ සඳහා හේතු වන්නට ඇත.

කෙසේ වුවද මෙලෙස පොලිස් පහරකෑම් වලට බඳුන්ව කායික තැළුම් පෙලුම් වලට ලක් වන පුද්ගලයන් සඳහා ඒ කාලයේ ප්‍රකට ශාකසාර ඖෂධයක් ද විය. එනම් ගොනිකා කොළ ය. එම ගොනිකා කොළ යුෂ වශයෙන් හෝ තම්බා හෝ ඒවායින් කැඳ සාදා බීමෙන් හා ගොනිකා කොළ මැල්ලුම් කෑමෙන් එලෙස කායිකව සිදු වී ඇති තැළුම් පෙලුම් ඉතා ඉක්මනින් සුවපත් වන බවට සමාජයේ පැතිර ගත් මතයක් විය.

ඒ අනුව කිනම් හෝ හේතුවක් මත පොලීසියේ අමානුෂික පහර කෑමකට ලක්ව නිවසේ ඔත්පලව හිඳින්නවුන් වෙනුවෙන් ගොනිකා කොළ සොයමින් ඇවිදින දෙමාපියන්, බිරියන් සහ පවුලේ සෙසු ඥාතීන් එවක සමාජයේ ජීවත් වුවන්ට අරුමයක් නොවී ය. මීට වසර හතලිහකට පමණ ඉහත අමානුෂික පොලිස් පහර කෑමකට ලක් වූ තම පුතුට කැඳ සාදා දීම පිණිස ගොනිකා කොළ සොයමින් ඇවිදින මාතර ප්‍රදේශයේ පිටිසර ගමක මවක පිළිබඳව අසන්නට ලැබීමෙන් මම අතිශය කම්පනයකට පත් වීමි.

මෙම ගොනිකා කොළ ආහාරයට ගැනීමෙන් මිනිස් ශරීරයේ කැඩුම් බිඳුම්, තැලුම් පෙළුම් ඉතා ඉක්මනින් සුවපත් වන බව තහවුරු කෙරෙන රසවත් ප්‍රවාදයක් තිබේ. එහෙත්, එය කුමන ප්‍රදේශයකින් මතු වූවක් දැයි මම නොදනිමි.

එක්තරා ගම්බද ප්‍රදේශයක තණ කමින් නිදැල්ලේ ඇවිද ගිය ගවයෙකු කළු ගල් ප්‍රපාතයකින් පහළට ඇද වැටී දරුණු කැඩුම් බිඳුම්, තැලුම් පෙළුම්වලට ලක්ව නැගිට ගත නොහැකිව එම ප්‍රපාතය පාමුලම වැතිර කල්ගත කරන්නට විය. ඒ කාලය තුළ කිසිදු ආහාරයක් සොයා ගත නොහැකි එම ගවයාට ආහාරයට ගත හැකි වූයේ ඒ ප්‍රපාතය පාමුල වැටී ඇති එක් වැල් විශේෂයක් පමණි.

දින කිහිපයක් අන් කිසිදු ආහාරයක් නොගෙන එම වැල් විශේෂය පමණක් ආහාරයට ගත් ගවයා එලෙස ප්‍රපාතයෙන් ඇදවැටීම නිසා හටගත් සියලු කැඩුම් බිඳුම්, තැලුම් පෙලුම් ආදී කායික ආබාධ පිටු දැක දින හෝ සති කිහිපයක් තුළ නැඟී සිටි බවක් එම ප්‍රවාදයේ සඳහන් ය. එය මුල් කොට පළමුව ගොනු+කැ+වැල් යන්න පසුව ගොනිකා වැල් යනුවෙන් ව්‍යවහාර වූ බව කියනු ලැබේ.

ශ්‍රී ලංකාවේ දී ගොනිකා නමින් හඳුන්වනු ලබන මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වූවක් නොවේ. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව,  ජාවා සහ බෝර්නියෝ යන රටවල ද දක්නට ලැබෙන්නකි. ශ්‍රී ලංකාවේ දකුණු සහ නිරිත දිග වෙරළ බඩ තීරයන් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මුහුදු මට්ටමින් අඩි හත්සියයට වඩා උසින් අඩු බිම්වල මෙම වැල් විශේෂය දක්නට ලැබේ.

Psychotria Sarmentosa යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන ගොනිකා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දක්නට ලැබෙන මුත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ දී හිමිව ඇති වැදගත් කම අන් කිසිදු රටකදී හිමි නොවීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව තුළ ඖෂධීය ශාකයක් වශයෙන් සැලකෙන මෙයට ඉන්දියාවේ ආයුර්වේදයේවත් විශේෂ තැනක් ලැබී නැත. ඒ අනුව අපට හැඟී යනුයේ මෙම ගොනිකා අප රටේ ‘ජන වෙදකම’  (Folk Medicine) සඳහා වන කදිම නිදසුනක් බව ය.

ජන වෙදකම යනු විධිමත් සෛද්ධාන්තික පදනමකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ ජන විඥානය මත පදනම් වූ සේම පිරික්සුම් හා වැරදීම් න්‍යාය  (trial and error method) ඔස්සේ භාවිතයෙන් ස්ථාපිත වූ වෛද්‍ය ක්‍රමයකි. වෛද්‍ය විද්‍යාවක් හෝ වෛද්‍ය ශාස්ත්‍රයක් ලෙස හැඳින්වීමට අවශ්‍ය මූලික අංග නැතත් නිශ්චිත ජන සමාජයක් තුළ දීර්ඝ කාලීනව භාවිතා වන බැවින් මෙම ජන වෙදකමේ සාධනීය අංග ඇතැයි පැවසීමට අප පසුබට විය යුතු නැත.

ඉංගිරිසි බෙහෙත් යනුවෙන් ශ්‍රී ලාංකීය ගැමියන් විසින් හඳුන්වනු ලැබූ ඇලෝපති වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ මුල් යුගයේ එම ඖෂධවල ඇති අතුරු සහ පශ්චාත් ඵල කෙරෙහි අනිසි බියක් ඇති කර ගත් අප රටේ ගැමියෝ ඒවාට ‘සැර’ ‘උෂ්ණ’ ආදී වශයෙන් විවිධ අර්ථ කථන දුන්හ.

එම යුගයේ ඉංග්‍රීසි බෙහෙත් බිව් පසු ශරීරය තුළ හටගන්නා උෂ්ණාධික බව දුරුකර ගැනීම පිණිස යැයි කියමින් බොහෝ දෙනෙකු මෙම ගොනිකා කොළ යුෂ හා කැඳ වශයෙන් භාවිතයට ගත් බවට සාධක තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධ එක්තරා අතකින් විස්මයට තුඩු දෙන කරුණක් ද ඇත. එනම් මෙම ශාකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ දෙකකින්ම එහි පවත්නා නිර්වේදනික (analgesic) ප්‍රදාහ විරෝධී (Anti inflammatory) ස්වභාවයක් පිළිබඳව නීරීක්ෂණය වීම ය.

1999 වසරේ එවක කොළඹ විශ්ව විද්‍යාලයීය සත්ව විද්‍යා අංශයේ සේවය කළ කීර්තිමත් සත්ව විද්‍යා මහාචාර්ය ඩබ්ලියු. ඩී. රත්නසූරිය මහතා මීයන් යොදා ගනිමින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණයක දී මෙම ශාකය සම්බන්ධ නිර්වේදනික තත්වයන් නිරීක්ෂණය කොට ඇත.

වියපත් වීමත් සමඟ කතුන් තුළ බහුලව ඇති වන හන්දිපත් වේදනා ඇතුළු ආතරයිටිස් රෝග තත්ත්වයන් සේම රිදුම්, තැලීම් ආදී කායික වේදනා සම්බන්ධ ‘සමනකාරක’ ගුණයක් මෙම ශාකය තුළ පවතින බව මහාචාර්ය වරයාගේ පර්යේෂණ වාර්තාවේ දැක්වෙයි.  මෙහි පැරසිටමෝල්වලට සමාන වේදනා නාශක හා සමනකාරක ගුණයක් ඇති බව ද එමඟින් තහවුරු වී තිබේ.

ඊට අමතරව ඕ.ඩබ්ලිව්.එම්.කේ.එම් රත්නායක, ටී. එස්. සුරේෂ්, ඒ. එම්. අබයසේකර, නසීරා සලීම්, යූ.ජී. චන්ද්‍රිකා යන විද්වත් මණ්ඩලයක් විසින් 2017 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් කරන ලද මෙම ශාකය සම්බන්ධ පර්යේෂණයකින් ද  ගොනිකා ශාකයේ    ප්‍රදාහ විරෝධී  (Anti inflammatory)  රසායනික සංඝටක ඇති බව තහවුරු වී ඇත. ඒ ද මීයන් යොදා ගනිමින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ මඟිනි නමුදු ගොනිකා ශාකයේ අඩංගු රසායනික සංඝටක වෙන්ව හඳුනා ගැනෙන විද්‍යාත්මක පර්යේෂණයක් මෙතෙක් සිදු වී නැත.

එමෙන්ම මෙම ශාකය මුල්කොට නිපද වූ ඖෂධයක් සම්බන්ධ සායනික පෙරහුරු  (Clinical trial) ලොව කිසිදු ආයතනයක් මඟින් සිදු කොට ඇති බවක් දැන ගන්නට ද නැත. මේ සියලු කරුණු කියැවීමෙන් පසු මෙම ශාකය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විසින් විමසිය හැකි ප්‍රශ්නයක් ද තිබේ. එනම් මෙය ඖෂධයක් වශයෙන් භාවිතා කළ නොහැකිද? යන්නය.

ජන වෙදකමේ, දේශීය වෙදකමේ හෝ ආයුර්වේදයේ ඖෂධ සම්බන්ධ අර්ථ නිරූපණවලට වඩා ඉංග්‍රීසි හෝ බටහිර වෙදකම නමින් හඳුන්වන ඇලෝපති වෛද්‍ය ක්‍රමයේ ඖෂධ පිළිබඳ අර්ථ නිරූපණය වෙනස් ය.

අප ගන්නා ආහාරයක ඖෂධීය ගුණ සහිත රසායනික සංඝටක තිබූ පමණින් එය ඖෂධයක් ලෙස නොසැලකේ. ඇලෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ඖෂධය යනු ප්‍රතිනිෂ්පාදනයක් වන සේම අතිශය දීර්ඝ, විද්‍යාත්මක සේම ආචාර විද්‍යාත්මක ක්‍රියාවලියකින් පසු භාවිතයට ගනු ලබන්නකි. ඒ කෙසේ හෝ කිසියම් ජන සමාජයක් විසින් ආහාරමය වශයෙන් භාවිතා කරන දෙයක් හෝ ජන වෙදකමේ ඖෂධීය ගුණයක් ඇතැයි පැවසෙන දෙයක් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් එරෙහි වීමට අපට කිසිදු අයිතියක් නැත.

එමෙන්ම අප ජන සමාජයේ දීර්ඝ කාලීනව භාවිතයට ගනු ලබන ගොනිකා කොළ කැඳ, මැල්ලුමක හෝ සලාදයක රස විඳ එහි ඇති යම් සමනකාරක ගුණයක් අත්විඳීමේ හැකියාවක් ඔබට සේම මා සතුව ද තිබිය යුතුය. මෙම ගොනිකා ශාක සම්බන්ධයෙන් මා වෛද්‍ය සිසුන් පිරිසකගෙන් විමසූ අවස්ථාවක ඔවුන් ප්‍රකාශ කොට සිටියේ තමන් කිසිදා එබඳු ශාකයක් පිළිබඳව අසා නොමැති බවකි. අතීතයට සාපේක්‍ෂව පොලිස් පහර දීම් අඩුවීම ද ඊට හේතු වන්නට ඇතැයි මට සිතේ.

එහෙත්, වර්තමානයේ ගොනිකා කොළ පිළිබඳව අසන්නට නොමැති තරමටම පොලිස් පහරදීම් ද අඩු ව තිබේ දැයි යන්නට මම කිසිදු පිළිතුරක් නොදෙමි. මක් නිසාද එය ඔබ විසින් ඔබගේ සමාජමය අවබෝධය මඟින් පිළිතුරු සොයා ගත යුතු පැනයක් බැවිනි.

හෘදවේද විශේෂඥ

මහාචාර්ය නාමල් විජයසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….