දිව්‍යමය ඇඳුම් කුලියට දීම – දේව දූතයන් ගැන අප්‍රකට කතා

diwyamaya

‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති.

දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින් ප්‍රකට වූ එවන් පණිවුඩකරුවෙකි.මයිකල් යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ.

දේව දූතයා යන්න හැඟවෙන පැරණි ග්‍රීක භාෂාවෙහි එන Angelos යන්න පසුව Angel ලෙසින් ඉංග්‍රීසි බසට නැංවී තිබේ. ක්‍රිස්තියානි  ඉස්ලාම් සහ යුදෙව් යන ඒක දේවවාදී ආගම් විසින් පැරණි ආගමික විශ්වාසයන් තුළ පවතින මෙම මානව විද්‍යාත්මක සංකල්ප වලට ආගමික ආරෝපණ දී තිබේ.

දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිසුන්ට ප්‍රකාශ කරන දේව දූතයන් නිර්මාණය  කර ඇත්තේ  පියාපත් සහිත මිනිසුන් ලෙසිනි.බටහිර කිතුනු සංස්කෘතියට අනුව පියාපත් සහිත මිනිස් රූ වශයෙන් සිත්තම් වූ මෙවන් දේව රූප මුල්කොට ලොව සම්භාවනීය චිත්‍ර සහ මූර්ති නිර්මාණ බොහොමයක් බිහි වී තිබේ.

බොහෝ මානව විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට මෙම දේව දූත සංකල්පය ලොව ප්‍රාථමික ආගමික විශ්වාස පැවැති අවදියේ ආරම්භ වී පසුකාලීනව වර්ධනය වූ ඒක දේවවාදී ආගම් සමග විකාශනය වූවකි.  ලොව පැරණිතම බිතු සිතුවම් ආදියේ තිබී හමුව ඇති මීට වසර
පන්දහසක් පමණ පැරණි පියාපත් සහිත මිනිසුන්ගේ රූ සටහන් මෙම දේව දූත සංකල්පයේ සමාරම්භක අවදිය සනිටුහන් කරන බව ඔවුහු විශ්වාස කරති.

අප රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ දේව දූතයා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සති පිරිත් දේශනා අවසානයේ සිදු කෙරෙන දොරකඩ අස්න නම් චාරිත්‍රය මුල්කර ගනිමිනි. පිරිත් දේශනයෙන් අනුමෝදන් කර ගත් පින්පෙත් දෙවියන්ට අනුමෝදන් කරවීම පිණිස යවනු ලබන පුද්ගලයා මෙහි දී දේවදූත යනුවෙන් හැඳින්වෙයි.

එහි දී එම එක් එක් දෙවි දේවතාවුන් වැඩවෙසෙන විහාරස්ථානවල ලේඛනය හෙවත් නම්පොත කියැවීම ද මෙම දේව දූතයා සතු කාරියකි. පසුව මෙම දේව දූතයා විසින් පෙරහරකින් අද්දර ඇති පැරණි විහාරයක් හෝ දේවාලයක් වෙත ගොස් යළි පැමිණ එම සති පිරිත් මණ්ඩපය ඉදිරියේ සිට තමන් ගිය කාරිය සාර්ථක වූ බවත් එම පින් අනුමෝදන් කර ගැනීම පිණිස දේව සමූහයා වැඩ සිටි බවත් එහි වැඩ සිටින
භික්ෂූන් වහන්සේ වෙත මිහිරි ස්වරයකින් යුතුව ගද්‍ය හා පද්‍ය මුසු වෘත්ත ගන්ධි ශෛලියේ ව්‍යවහාරයකින් දන්වා සිටීම මෙම දොරකඩ අස්න ලෙස හැඳින්වෙයි.

මෙම දොරකඩ අස්න සහ නම් පොත පිරුවානා පොත් වහන්සේ ලෙස ප්‍රකාශයට පත්ව ඇති සෑම ග්‍රන්ථයකම අඩංගු වී තිබේ. එක්තරා අන්දමක නාට්‍යමය ජවනිකාවක් හෙවත් ජන රංගනයක් ලෙස හැඳින්විය හැකි මෙම දොරකඩ අස්න බෞද්ධ සංස්කෘතිකමය වශයෙන්
බලන විට පුණ්‍යකර්මයකි.

මහනුවර නායක්කර් රජුන් රජ කළ සමයේ ඇරඹි මෙම දොරකඩ අස්න කියැවීමේ චාරිත්‍රය හුදෙක් බෞද්ධ සංස්කෘතිකමය අංගයක් සේ සැලකුණ ද එහි ඔඩ්ඩි, වඩිග ආදී දකුණු ඉන්දීය දෙවිවරුන්ගේ සේම අප රට පාලනය කළ පෘතුගීසි, ඕලන්ද ආදීන් ඇදහූ දෙවිවරුන්ගේ නම් ද ඊට  ඇතුළත් කොට තිබේ. ඒ කන්ද උඩරට රාජධානි සමයේ පහත රට පාලන බලය අල්ලාගෙන සිටි එම ජාතීන් සමග මිත්‍රශීලී ආකල්පයක් ගොඩනගා ගැනීම ඉන් අදහස් කළා වන්නට ද පුළුවන.

මෙම දොරකඩ අස්න නම් චාරිත්‍රාවලියේ ප්‍රධාන භූමිකාව හොබවන දේව දූතයා සම්බන්ධයෙන් ද මෙහි දී විශේෂ සඳහනක් කළ යුතු ය. එනම් මෙම නව යොවුන් තරුණයා අනිවාර්යයෙන්ම කායික ආබාධ කිසිවක් නොමැති බඹසර රකින්නා වූ විනීත, චරිතවත්  අයකු විය යුතුමය. එමෙන්ම මොහු උභය කුල හෙවත් මා පිය දෙපාර්ශ්වයෙන්ම කුලවත් එනම් උඩරට රදළ පරපුරකට අයත් විය යුතු බවට ද
සම්මතයක් විය.

අඩුම තරමින් එම දේව දූත තරුණයාගේ මව හෝ උඩරට රදළ පරපුරකට අයත් නොවුවහොත් එය “භින්න මාතෘක දෝෂයක් “සේ සළකා අදාළ දෙවිවරුන් විසින් ඔහු විසින් ගෙනෙනු ලබන පින් භාර නොගන්නා සේම තමන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ඔහු වැන්නකු එවීම පිළිබඳ කෝපයට පත්ව මුළු ගමටම විපත් පමුණුවන බවට විශ්වාසයක් ද එකල ප්‍රචලිත වී තිබිණි.

එහෙත් ,පසුකාලීනව පහතරට ප්‍රදේශවල පැවැති මෙම සති පිරිත් පින්කම්වල දේව දූතයා ලෙස තෝරා ගැනුණු තරුණයා සම්බන්ධ එවන් කුල පාරිශුද්ධියක් නොසලකන ලදී.එහෙත් එවන්, තත්ත්වයක් යටතේත් ඔවුන් කෙරෙහි හෝ එම ගම් ප්‍රදේශ කෙරෙහි දේව කෝපයක් එල්ල වූ වගක් නම් දැනගන්නට නැත.

ඒ කෙසේ හෝ මෙම දේව දූතයා දෙවියන් ප්‍රිය මනාප දිව්‍යමය ඇඳුම් හා වස්ත්‍රාභරණයෙන් සැරසී දෙවියන් හමුවට යන්නකු මිස දෙවියන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයකු නොවන බව පැහැදිලි ය.මේ අතර පිරිත් මණ්ඩප සමඟ මෙම දිව්‍යමය ඇඳුම් කුලියට දෙන ස්ථාන ද ඇති බවක් දැන ගන්නට ඇත.නමුදු මෙම දොරකඩ අස්න චාරිත්‍රය ද මූලික බුදු සමය හා කිසිදු සබැඳියාවක් නොමැති ජනානන්දනීය දේශීය සංස්කෘතිකාංගයක් බව ද කිව යුතුම ය.

දේව දූතයන් පිළිබඳ අපගේ සංස්කෘතියෙහි මෙලෙස සඳහන් වුව ද මූලික බුදු සමයෙහි දේව දූත යනුවෙන් නම් කොට ඇත්තේ මරණයේ නියෝජිතවරුන් පිරිසකි.අංගුත්තර නිකායේ දේව දූත සූත්‍රයට අනුව මහලු බව, ගිලන් බව සහ මරණය හඳුන්වා ඇත්තේ දේව දූතයන් වශයෙනි. එම සංඥා පිළිබඳව නුවණැසින් විමසා බලන්නකුට සසර දුකින් අත්මිදීමට අවශ්‍ය කටයුතු අප්‍රමාදව සලසා ගත හැකි
බැවින්, එම සූත්‍රයෙහි එකී ලෝක ධර්මතාවන් ‘දේව දූත’ යන නමින් හඳුන්වා තිබේ.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට සිදුහත් කුමරුන් දුටු සතර පෙර නිමිතිවලින් මුල් තුනම මහල්ලෙකු, ලෙඩෙකු සහ මළ කඳක් ආදී වශයෙන් වන අතර සිව්වැන්න පැවිදි රූපයකි. ඒ අනුව ඉහත සඳහන් ලෝක ධර්මතාවන් නුවණින් වටහා ගත් සිදුහත් කුමරුන් තම බුද්ධත්වය පිළිබඳ මූලික අදිටන සිත තුළට පිවිසුවා ගනු ලබනුයේ ඉහත සඳහන් පැවිදි රූපය දැකීමෙනි.

මීට අමතරව දෙවිවරුන්ගේ පණිවුඩ ආදිය ගෙන යනු ලබන ‘දේව දූතා’ නම් අන්තේවාසික දේවතා පිරිසක් පිළිබඳව විමානවන්ථු අට්ඨකතාවෙහි සඳහන් වෙයි. පේත වත්ථු, විමාන වත්ථු ආදී වශයෙන් වන බෞද්ධ සාහිත්‍ය කෘතීන්වලට අනුව දේව, යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදීහු සූක්ෂ්ම ශරීරවලින් යුතු වන අතර ඔවුන් බොහොමයකට අවශ්‍ය පරිදි ඒවායින් අත්මිදී මිනිසුන් හමුවේ පෙනී සිටීමට පුළුවන.

නිදසුනක් ලෙස ත්‍රිපිටකයේ වැඩිම තැනක සඳහන් වන චාතුර්මහා රාජිකය, තාවතිංසය සහ දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මනු ලොව සත් පුරුෂයන් විපතට පත්වන විට මහලු යාචක වේශයෙන් පවා මෙහි පැමිණෙන බව කියනු ලැබේ. එවන් තත්ත්වයක් තුළ දෙවි වරුන්ට අවශ්‍ය නම් සෘජුවම මෙලොවට පැමිණිය හැකි බව් පැවසෙන පසුබිමක් තුළ බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයේ දේවදූත නම් වෙනම දේව පණිවිඩකාර කොට්ඨාශයකට  විශේෂ තැනක් හිමි කර දී නොමැති බවක් පෙනෙයි.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….