දිව්‍යමය සංගීතඥයන් හෙවත් ගාන්ධර්වයන් හඳුනා ගනිමු

gandabbayo

ගාන්ධර්ව යන නම අප බොහෝ විට අසා ඇත්තේ සංගීතය හා සම්බන්ධ භාවිතාවක් ලෙසිනි. විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හඳුන්වනු පිණිස ජාතියේ මහා ගාන්ධර්වයාණේ යන වදන යොදනු අපි අසා ඇත්තෙමු. එහෙත්, සැබැවින්ම මෙම ගාන්ධර්වයන් යනු කවුරුන්ද?, ඔවුන්ගේ ස්වරූපයන් සහ ගති ස්වභාවයන් කෙබඳු ද ආදී කරුණු අද බො‌හෝ දෙනෙක් නොදනිති.

හින්දු සහ බෙෳද්ධ සාහිත්‍යයන්හි බහුල වශයෙන් හා ජෛන සාහිත්‍යයේ සුළු වශයෙන් සඳහන් වන මෙම ගාන්ධර්වයෝ දිව්‍යමය ශරීර ඇත්තෝ වෙති. ඔවුන් පිළිබඳව වැඩිදුර විමසීමේ දී ‘උප දේවතා’ ගණයෙහි ලා දැක්විය හැකි බව පෙනෙයි.

ශරීරවලින් සොබාදහමේ විවිධ සුගන්ධයන් විහිදුවමින් මල්වතු, උයන් වතු ආශ්‍රිතව වෙසෙන මොවුහු සුළඟ හා මුසු වී ගමන් බිමන් යාමේ හැකියාවක් ඇත්තෝ ද වෙති.

ගායනය සහ වාදනය සම්බන්ධ විශිෂ්ට කුසලතා පළ කරන මොවුන් දෙවිවරුන්ට සංගීත රසාස්වාදනය ලබා දෙන දිව්‍යමය සංගීතඥයන් කොටසක් බව පෙනේ. ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් හට මෙම ජාතියේ මහා ගාන්ධර්ව යන අන්වර්ථ නාමය පටබැඳී ඇත්තේ
එතුමන් තුළ පැවැති සංගීත ප්‍රතිභාව ‘දිව්‍යමය’ තත්ත්වයක පැවැති නිසාම විය යුතුය.

භාරතීය සංස්කෘත බසින් ගාන්ධර්ව යන්නෙන් සඳහන් වදන බෙෳද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන්හි සඳහන් වනුයේ ‘ගන්ධබ්බ’ යනුවෙනි. මෑත කාලීනව සමාජය පුරා ජනකාන්ත තත්ත්වයට පත් ‘මනෝකාය’ නම් සංකල්පය බුදු දහමට අනුව විස්තර කිරීම පිණිස මෙම ගාන්ධර්ව යන වදන යෙදෙන බව ඇතැමුන්ගේ මතයයි.

පුද්ගල ප්‍රතිසන්ධියක් පිළිබඳ විස්තර කෙරෙන මජ්ජිම නිකායේ මහා සංඛය සූත්‍රයේ ඒ සඳහා මුල් වන කරුණු තුනක් දැක්වෙයි. එනම් ඉධ මාතා පිතරෝච සන්නිපතිතා හොන්ති (මව් පිය දෙපළගේ සංවාසය) මාතාච උතුනීහෝති (ඔසප් වීම) වශයෙන් මව සරු කාලයට එළැඹ සිටීම සහ ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති (ගාන්ධර්වයාගේ පිහිටීම) එම කරුණු තුනය.

එහෙත් සංධාවන විඥානයක් හෙවත් දිවෙන සිතක් හෙවත් මනෝකායක් පිළිබඳ සංකල්පය එම සූත්‍රය තුළින් ඍජුවම බැහැර කරන බුදු දහම මෙහි දී ගන්ධබ්බ යනුවෙන් හඳුන්වා ඇත්තේ කර්මය හා කර්ම ඵලය සමග සබැඳුණු හේතුඵල සම්බන්ධය බව තවත් පිරිසකගේ මතයයි. එහෙත්, මහා තන්හා සංඛය සූත්‍ර දේශනාවට අනුව ගන්ධබ්බ යන්න එසේ විස්තර කෙරෙන බුදු දහමේ එනමින් යුතු දේව විශේෂයක් සම්බන්ධයෙන් ද වෙනම කරුණු දක්වා තිබේ.

ඒ කරුණු ඔස්සේ අනාවරණය කර ගත හැකි අන්දමට ගන්ධබ්බ නමින් හැඳින්වෙන මෙම දේව පිරිස සංගීතය හා සොබාදහම කෙරෙහි විශේෂ ඇල්මක් ඇති පිරිසකි.

මොනියර්-විලියම්ස් සංස්කෘත ඉංග්‍රීසි ශබ්දකෝෂය අනුව ද ගාන්ධර්ව, ගාන්ධර්ව ශාස්ත්‍ර යන්න සංගීතය හා ගීතය වශයෙන් විවරණය කිරීම මත මෙම දේව සමූහය තුළ පවත්නා සංගීත ලෝලිත්වය පහසුවෙන් අමතක කළ නොහැක. දෙවිවරුන් අතුරින් බෙෳද්ධ සාහිත්‍යයේ වැඩිපුරම සඳහන් වන ශක්‍ර දේවේන්ද්‍රයාගේ දිව්‍යමය සංගීතඥයා වන පංචශිඛ හෙවත් පන්සිළු ද ගාන්ධර්ව දේව වංශයට අයත් බව පෙනෙයි.

සතර වරම් දෙවි රජවරුන් අතරට ගැනෙන ධ්‍රැතරාෂ්ඨ දෙවි රජුට ගාන්ධර්ව සේනාවක් සිටි බව ආටානාටිය සහ මහා සමය ආදී සූත්‍රවලින් පැවසෙයි. ගාන්ධර්ව නම් වන මෙම දේව විශේෂය සම්බන්ධයෙන් අනාවරණය වන සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී පෙනී
යනුයේ ඔවුන් සකල විධ දිව්‍ය සමූහයා අතරේ හිඳින සැහැල්ලු පැවතුම් සහිත සංගීතකාමී රසවතුන් බව ය.

ක්‍රිස්තු වර්ෂ 3-5 ශතවර්ෂවලට අයත් ලොව විශිෂ්ටතම මූර්තීන් සේ සැලකෙන ඉන්දියාවේ සාරානාත් සහ මථුරා බුද්ධ ප්‍රතිමාවන්‌ගේ ශීර්ෂය දෙපස පාවෙන ස්වරූපයක් පළ කරන මානව රූප මෙම ගාන්ධර්වයන්ගේ බවට අනුමාන කෙරේ. මූලික බුදු දහමින් බැහැර අන්‍ය සාමයික මත බුදු සමයට පිවිසි ඒ සමයේ මෙලෙස ගාන්ධර්වයන්ද බුදුන් හට රැකවරණ සැලසූ බව ඉන් සංකේතනය වී ඇතැයි යන්න මාගේ වැටහීම ය. මෙම ගාන්ධර්වයන් කෙතරම් සැහැල්ලු ජීවිත ගත කරන ලද්දේ ද කිවහොත් සම්මත චාරිත්‍ර සියල්ල පිටුදැක කාන්තාවකගේ සහ පුරුෂයකුගේ තනි කැමැත්ත මත පමණක් සිදුවන විවාහයන් හැඳින්වීම පිණිස ද මෙම ගාන්ධර්ව විවාහය යන නම යෙදෙයි.

ගාන්ධර්ව විවාහය යනු පැරණි භාරතීය ධර්ම ශාස්ත්‍රයන්හි එන අෂ්ඨ විවාහවලින් එක් විවාහයකි. එය අප ජන සමාජයේ ‘හොරෙන් පැනලා යාම’ යනුවෙන් හැඳින්වෙන විවාහ ක්‍රමයට යම් තාක් දුරකට සමාන වෙයි.

නෙ ව දෙවො න ගන්ධබ්බො
න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා
තථා රූපස්ස ඡන්තුනො

යන ධම්ම පදයේ සහස්ස වග්ගයට අයත් ඉහත සඳහන් ගාථා පාඨය ද ගාන්ධර්වයන් පිළිබඳව කියැවෙන්නකි.

“දූ කෙළි ආදියෙන් අනුන් පරදවා දිනීමට වඩා කෙලෙසුන් පරදවා තමන් දිනා ගැනීම ඒකාන්තයෙන්ම උතුම් ය. තමන් දමනය කළ, නිරතුරුව සංවරව හැසිරෙන , ආර්ය පුද්ගලයාගේ ඒ දිනුම පැරදුමක් කරන්නට කිසිම දෙවියෙක්, ගාන්ධර්වයෙක් හෝ මහා බ්‍රහමයා සමග එන මාරයා හෝ සමත් නොවේ”යන්න එහි සිංහල අරුත ය.

බෙෳද්ධ සාහිත්‍යයේ, ඛුද්දක නිකායට අයත් අපදාන පාලියේ එන බෝධි සම්මජ්ජික තෙරුන්ගේ කතා පුවතට අනුව බෝධි මලු ඇමදීමෙන් ආරක්ෂාව ලබාගත හැකි පාර්ශ්ව පහෙන් ගාන්ධර්වයෝ ද එක් කොටසකි.

දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, අසුර‌යෝ ද, ගාන්ධර්වයෝ ද, යක්ෂයෝ ද, රාක්ෂයෝ ද වශයෙන් එහි දැක්වෙන විස්තරය අනුව පෙනී යනුයේ
ගාන්ධර්වයන් යනු මනුෂ්‍යයන් ද දෙවියන් ද නොවන යක්ෂයන් ද නොවන වෙනත් ජීවීන් කොට්ඨාසයක් බව ය.

සොබාදහම, සංගීතය කෙරෙහි නැඹුරුවක් පළ කිරීම තුළින් සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන මෙම උප දේවතා විශේෂය දොළොස් වන සියවසේ ලියැවුණු කව් සිළුමිණ සහ දහ හත්වැනි සියවසේ ලියැවුණු කුස ජාතක කාව්‍යය යන කෘතීන් මගින් ‘ගඳබ’ යනුවෙන් දක්වා ඇති අතර දොළොස් වැනි සියවසේ ලියැවුණු අමාවතුර ග්‍රන්ථයේ මොවුන් ‘ගඳබ දෙවි’ ලෙස දක්වා තිබේ.

එමෙන්ම බෙෳද්ධ සාහිත්‍යයේ සංයුක්ත නිකායේ ගන්ධබ්බ කාය සංයුක්තයේ ‘ගන්ධබ්බකායික දේවෝ’ යනුවෙන් හැඳින්වෙන මොවුන් පින්මඳ දෙවි කොටසක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් යෝග්‍ය යැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….