සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.

රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවත් නව පනත හරහා එම කටයුතු වඩාත් විධිමත් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

අල්ලස හා දූෂණය සටන් පාඨයක් කර ගැනීමට ඉඩ නොතබා ඒවා මර්දනය කිරීම පිණිස මෙවලමක් ලෙස දූෂණ විරෝධී පනත ගෙනවිත් තිබෙන බවත්, නව දූෂණ විරෝධි පනත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පූර්ණ ස්වාධීනත්වය තහවුරු වන බවත් සරත් ජයමාන්න මහතා පෙන්වා දුන්නේය.

නව දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ජයමාන්න මහතා මෙසේද සඳහන් කළේය.

අල්ලස හා දූෂණය යන්න අද ශ්‍රී ලංකාව පමණක් නොවෙයි මුළු ලෝකයම මුහුණදෙන ගැටලුවක්. ඕනෑම රටක් දූෂිත රාජ්‍යයක්ද යන කාරණය එම රටේ ආර්ථිකයට සෘජුවම බලපානවා. ඒ නිසා තම රට දියුණු වෙනවාට කැමති, රටට ආදරය කරන නායකයින් මෙන්ම ජනතාවත් අල්ලස හා දූෂණය අවම කර ගැනීමට උත්සාහ කරනවා.

වසර 2004 දී ලෝක ප්‍රජාව එක්වී අල්ලස හා දූෂණයට එරෙහි ප්‍රඥප්තියක් සකස් කර ගත්තේ මේ නිසයි. තම රට අල්ලස හා දූෂණයෙන් තොර අභිමානවත් රටක් බව පෙන්වීමට අවශ්‍ය ඕනෑම රටකට එම ප්‍රඥප්තියට අනුගත විය හැකියි. අප රටද 2004 දී ඊට අත්සන් තැබුවද අද වන තුරු අප ඊට අනුගත වී නොතිබීම කණගාටුව කරුණක්. අපේ රටේ සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රයත්, පුද්ගලික අංශයත් අල්ලස හා දූෂණයෙන් පිරී තිබෙන බව ජනතාව සිතන්නේ මේ නිසයි.

මුලින්ම අල්ලස හා දූෂණය තුරන් කළ රටවල් එම තත්ත්වය අත්කරගත්තේ කෙසේද යන්න අප සොයා බැලිය යුතුයි. සිංගප්පූරුව, හොංකොං, භූතානය , ඉන්දුනීසියාව, මැලේසියාව යන ආසියාතික රටවල් වගේම ස්කැන්ඩිනේවියානු රටවල් අල්ලස හා දූෂණය තුරන් කළ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා. අල්ලස හා දූෂණය හොඳ නෑ කියන කාරණය ඔවුන්ගේ ජානවලම තිබෙන දෙයක්. නමුත් එම හරයන් අපේ රටේ ජනතාවගේ ලේ සමඟ බද්ධ වී නැති නිසා එම හරයන් ජනතාවට කාවැද්දීමට සිදුව තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ණ වෙනසක් අවශ්‍යයි. ඒ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

අප මේ පසු කරමින් සිටින්නේ මේ රටේ ඉතිහාසයේ ඉතාමත් කේන්ද්‍රීය අවදියක්. අලුත් පනතක් ගෙන ඒමෙන් අපට යම් අභිමානයක් ඇති වෙනවා. නමුත් අලුත් පනතක් ගෙන ආ පමණින්, එක රැයකින් මේ රටේ අල්ලස හා දූෂණය තුරන් වෙන්නේ නැහැ.

1954 ගෙන ආ අල්ලස් පනත 1994 සංශෝධනය කර අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්ථාපිත කළා. එදා සිට වසර 30කට ආසන්න කාලය තුළ වෙනත් කිසිවක් සිදුව නැහැ. අප එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අනුගත වී දැන් වසර 20කට ආසන්න වෙනවා.

මෙහි වැදගත්කම කරුණ වන්නේ මෙම පැමිණිල්ල භාරව සිටින ආයතනය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ ප්‍රධානීන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන විය යුතුයි. ඔවුන් ස්වධීන ලෙස තීන්දු ගත යුතුයි පමණක් නොවෙයි ඔවුන්ට ස්වාධීන ලෙස කටයුතු කළ හැකි වටපිටාවක් තිබිය යුතුයි.

1954 සිට මේ දක්වා අපේ රටේ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ කටයුතු කෙරෙන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සමත් ‍පොලිස් නිලධාරීන්ගෙන්. නමුත් අල්ලස් හා දූෂණ වැනි සංකීර්ණ වරදවල් විනිවිද දැකිය හැකි බුද්ධියක් තිබෙන්නේ ගණිතය, ඉංජිනේරු විද්‍යාව, වෝහාරික විගණනය, ගණකාධිකරණය වැනි විෂයයන් හැදැරූ හසළ දැනුමක් ඇති විශේෂඥයන්ටයි. ඔවුන්ට ඉතා කෙටි වේලාවකින් යම් සිදුවීමක සුල මුල සොයාගත හැකියි. පොලිස් නිලධාරීන්ට එම කටයුතු සඳහා මාස කිහිපයක් ගත වෙනවා.

හොංකොං හා භූතානය වැනි රටවල මෙම විමර්ශන සිදු කරන්නේ පොලිස් නිලධාරීන් නොවෙයි. ඉංජිනේරුවරු, වෝහාරික ගණකාධිකාරිවරු. නමුත් මේ සඳහා අපේ රටේ නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමනය කෙරුණේ සිවිල් පරිපාලකයින් බඳවා ගත් ක්‍රමවේදයයි.

මෙම නව පනතින් තමන්ට අභිමත විශේෂඥයින් විමර්ෂකයින් ලෙස බඳවා ගැනීමට අලුතින් බිහිවන කොමිෂන් සභාවට බලය දී තිබෙනවා. ඔවුන්ගේ සේවය යහපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකර සිටිය හැකියි. ඒ අනුව දක්ෂ විමර්ශකයින් බඳවා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව මෙම පනතින් අල්ලස් හෝ විමර්ශන කොමිසන් සභාව වෙත ලබා දී තිබෙනවා.

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයට හෝ භාණ්ඩාගාරයට යාමට අවශ්‍ය වන්නේ නෑ. පාර්ලිමේන්තුව හරහා භාණ්ඩාගාරයෙන් අදාළ මුදල් ලබාදීම සිදු වෙනවා.

බැඳියාවන් අතර ඝට්ටනය, පුද්ගලික අංශය, අල්ලස් දූෂණය නිවාරණය ආදි සුවිශේෂ අංශ සඳහා බලය මෙම පනතින් හිමි වෙනවා. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයේ විධායක නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට අල්ලස් කොමිෂන් සභාවට ලබා දීම මෙමඟින් සිදු වෙනවා. එසේම කළින් කළ වැරදි සම්බන්ධයෙන් දැනටමත් අල්ලස් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබේ නම් පැරණි නීති යටතේම විමර්ශනය සිදු කර ඒ යටතේම දඬුවම් කළ හැකි වන පරිදි මෙහි සංක්‍රාන්ති ප්‍රතිපාදන තිබෙනවා.

අතීතයට බලපාන පරිදි සාමාන්‍යයෙන් නීති සකස් කළ නොහැකියි. මෙහි කොමසාරිස්වරුන් තෝරා ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්. ඒ වගේම මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ තනි අභිමතයට පත් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීම සිදු වෙන්නේ ව්‍යවස්ථා සභාවෙනුයි. එසේ නිර්දේශ කරනු ලබන තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් විමසීමෙන් අනතුරුව පත් කිරීම සිදු කරනවා.

ඒ අනුව නව දූෂණ විරෝධි පනත හරහා වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවක් තව ටික දිනකින් බිහි වේවි. එය යටපත් කිරීමට යම් බලවේගයක් කටයුතු කළහොත් ජනතාවගෙන් එම බලවේගය ප්‍රතික්ෂේප වෙනවා. හොරු ඇල්ලුවේ නෑ, අපි ආවා නම් හොරු අල්ලනවා කියන ප්‍රසිද්ධ සටන් පාඨයේ ඇලෙන්නේ නැතුව මේ වෙනස කිරීමට අදාළ රාජ්‍ය නායකයින්, නිලධාරීන් පෙළඹවීමට ජනතාවට යුතුකමක් තිබෙනවා.

ඒ වගේම නව කොමිසට බලය ලබාදී තිබෙනවා රාජ්‍ය ආයතන පිළිබඳ අවධානය යොමු කර අල්ලස හා දූෂණය ඇතිවන තැන් තිබෙනවා නම් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් අදාළ නියෝග ලබාදීමට. රාජ්‍ය අංශය තුළ අල්ලස සහ දූෂණය පිටුදැකීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට එය මහඟු ශක්තියක් වනු ඇතියි.

 

esana news today

Similar Posts