නිට්ටඹුව වතුපිටිවල පාරේ මාඉඹුල නම් සුන්දර ගම්මානයේ පිහිටි ‘ඉරස’ කාබනික ආහාර නිෂ්පාදන අායතනය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපාරිකයෙකි. රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වන උදය Food Science ඩිප්ලෝමාවක් හදාරා තත්ව සහතික විගණන නිලධාරියකු ලෙසද පුහුණුවක් ලබා ගන්නේ තම අනාගතය ආහාර නිෂ්පාදන අංශයෙන් ඉදිරියටම ගෙන යාමේ නැවුම් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. මුලින්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ප්‍රකට සමාගමක තත්ත්ව සහතික අංශයේ සේවයට එක්වන ඔහු එයින් ලබා ගන්නා දැනුමද සමඟ තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනඟා ගන්නට මුලපුරන්නේ කොස් ගසෙන්ය. මේ අරමුණ ඇතිව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයට එක්වී උපදෙස් හා මගපෙන්වීම ලබාගන්නා උදයට මේ ව්‍යාපාරය තවතවත් පුළුල්ව ඉදිරියට ගෙන යාමට මහෝපකාරි වන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි.
මෙසේ නිසි උපදේශනයෙන් ව්‍යාපාර ලොවට එක්වන උදය ‘වරකා ගෙඩියට’ අත තබන්නේ තනිවමය. වරකා ගෙඩි රැස්කරන්නේත්, කපා මදුලු ඉවත් කරන්නේත්, විජලනය කර පැකට් කර ඇසුරුම් කරන්නේත් ඔහුමය. එසේ කුඩාවට ගොඩ නගා දිනෙන් දින වසරින් වසර දියුණු කළ මේ ව්‍යාපාරය පස්වන වසර සමරයි. උදයගේ ඉරස නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ පර්චස් 20ක පමණ ඉඩකඩකය.
එහි බිම්මහලේ කොස් ගබඩා කිරීම, ඉදවීම සහ මදුළු ගලවා සකස් කිරීම සිදු වෙයි. ‘අපි මේ කර්මාන්ත ශාලාවට ගෙන එන්නේ හොඳට පැසුණු කොස්. ගෙන එන ඕනෑ ප්‍රමාණයක් කොස් අපි මිලදී ගන්නවා. එම කොස් අපේ ගබඩා තුළ දින 04ක් පමණ ස්වාභාවිකවම ඉදෙන්නට හරින්නට තබා පොතු රැහැලා, ඇට, ඉරි ඉවත්කරලා මදුලු ගලවනවා. මේවා සිදු කරන්නේ ගමේ කාන්තාවන්. ඒ වගේ සකසා ගන්නා වරකා මදුලු තැටිවල අසුරා කර්මාන්ත ශාලාවේ උඩුමහලේ ඇති විජලන යන්ත්‍රවලට යොමු කරනවා. ඉන්පසු එම වරකා මදුළු පැය 12ක් පමණ විජලනය වන්නට තබනවා. තෙතමන පරීක්ෂණයක් සිදු කර ඇසුරුම් අංශයට ඒවා යොමු කරන්නේ ඉන්පසුවයි. ඇසුරුම් අංශයේදී සෑම වරකා මදුලක්ම අපි පරීක්ෂාවට ලක්කරන්නේ එහි ගුණාත්මක බව සුරකින්නටයි. ඒ පරීක්ෂාවෙන් පසු ඇසුරුම් අංශයේදී කිලෝග්‍රෑම් 2.5 ප්‍රමාණයේ පැකට් වශයෙන් මුද්‍රා තබා ‘ඉරස’ නිෂ්පාදන නාමය යටතේ විදෙස් වෙළෙඳපොළට යොමු කරනවා. සාමාන්‍යයෙන් මාසයකට වරක් අපි මෙම නිෂ්පාදනවල එක් අහඹු සාම්පලයක් අරගෙන ක්ෂුද්‍ර ජීවී පරීක්ෂණයක්ද සිදු කරනවා. මේ කාර්ය ඉතාම සෞඛ්‍යාරක්ෂිතව අපේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනවා. ඔවුන් විශේෂ ඇඳුමක්, හිස් ආවරණයක්, මුඛ ආවරණයක් අනිවාර්යයෙන්ම පැලඳ සිටිනවා. මේ කර්මාන්ත ශාලාවට ඇතුළු වන අය විෂබීජහරණය කර ඇතුළුවීම අනිවාර්යයි. මෙසේ ඉතාම සෞඛ්‍යාරක්ෂිතව අපේ මේ නිෂ්පාදන සකස් කරන්නට තවත් හේතුවක් වන්නේ ඒවා විදේශීය වෙළෙඳ පොළට ‘ශ්‍රී ලංකා’ නාමය රැගෙන යන නිසයි’ උදය පෙන්වා දෙයි.
ඇත්තටම සමහර කාලවලට අපේ නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුම සපුරාලන්නට නොහැකිවී තිබෙනවා. විජලනය කළ වරකා මෙන්ම විජලනය කළ කොස්, කොස් ඇට ආශ්‍රිතවත් නිෂ්පාදන රැසක් තම නිෂ්පාදනයක් ලෙස Made in Sri lanka නාමය යටතේ අමෙරිකාව, යුරෝපා රටවල් සහ අරාබි රටවලට අප යොමු කරනවා. අපේ මිනිසුන් ප්‍රයෝජනය නොගත්තට ඇත්තටම කොස් ගස කියන්නේ කප්රුකක්. කොස්, වරකා, කොස් ඇට මොන තරම් ගස් යට වැටිලා විනාශවෙලා අපතේ යනවද?. අෙමරිකාවේ යුරෝපයේ වරකාවලට විතරක් නෙවෙයි විජලනය කළ කොස්වලටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. කොස් ඇට තම්බා අප සමාගම සකස් කරන පිටිවලට අරාබි රටවලින් තිබෙන්නේ පුදුම ඉල්ලුමක්. ඒම ජනතාව මෙම පිටි , තෝස, පිට්ටු, රොටි වැනි ආහාර සකස් කරන්න ආදේශක ලෙස භාවිත කරනවා. රාමසාන් උත්සව කාලයට ඔවුන් කොස් ඇට දාලා විශේෂ ව්‍යංජනයක් හදනවා. මේ කාලයට කොස් ඇට කිලෝ ග්‍රෑම් 1000ක් විතර සතියකට අප විදෙස් රටවලට ගුවන් මඟින් යවනවා. බොහෝ විදේශිකයන් කොස්, වරකා කොස් ඇට ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන්නේ කොස් ගස රසායනික පොහොර භාවිත නොකර ස්වභාවිකව වැඩෙන, පලදරන ගසක් නිසා, කොස් ඇටයට යනකම් වස විස නැති ආහාර එයින් ලබා ගන්නා නිසා.’කොස්’ වසර පුරාවටම එක ලෙස පලදාව ලැබෙන්නේ නැහැ. ඒ කාලයට අපි අඹ, කෙසෙල්, එළවළු වර්ග, පලාවර්ග විජලනය කර නිෂ්පාදන සකස් කරනවා. අපේ බෝතල් කළ කෙසෙල් මුව නිෂ්පාදන ඉතාම ජනප්‍රියයි. පොලොස් බහුල කාලයට ඒවා සකස් කර බෝතල් ඇසුරුම්වල දමා විදෙස් රටවලට යැවීම අප සිදු කරනවා. අපනයන සංවර්ධන මණ්ඩලය හරහාත් පෞද්ගලික අපනයනකරුවන් හරහාත් අපේ ඉරස නිෂ්පාදන විදෙස් වෙළෙඳපොළ වෙත යවනවා. මේ කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන කොස් කටු, කිරි ගව කර්මාන්තයේ යෙදෙන මේ ගමේම පුද්ගලයකුට ලබාදෙනවා. මගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන කෙනෙක් මාසිකව රුපියල් 35,000කට වඩා ආදායම් උපයනවා. නිෂ්පාදන ඉල්ලුම වැඩි කාලවලදි සේවකයන්ට අතිකාල දීමනා ලබාදීලා වැඩිපුර නිෂ්පාදන සිදු කරනවා’ උදය පවසන්නේ මහත් අභිමානයෙන්.
‘ඉරස’ කාබනික ආහාර නිෂ්පාදන අයතනය GMP-(Good Manufacturing Practices) සහතිකය ලත් ආයතනයකි. උදයගේ මීළඟ වෑයම ලබන වසරේදී HACCP ජාත්‍යන්තර තත්ත්ව සහතිකය තම නිෂ්පාදන සඳහා ලබා ගැනීමටය. එය ISO සහතිකයට පසු තිබෙන උසස්ම සහතිකයයි. එදා පුංචි තැනකින් තම ව්‍යාපාරය ඇරැඹූ උදය අද රටට ඩොලර් මවන ලොකු මිනිසෙකි. මේ ව්‍යාපාරය පුළුල් කරමින් තවත් 12 දෙනකුට රැකියා අවස්ථා ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
ඒ තුළින් තම නිෂ්පාදන වැඩි කර ශ්‍රී ලංකාවට තවතවත් ඩොලර් ගෙන ඒම උදයගේ අපේක්ෂාවයි.
බුද්ධිකා ඉඹුලාන
dinamina