සේනා දළඹුවා දුටු පමණින් කළබලවී කෘමිනාශක යෙදීම අනවශ්‍ය බවත් අනිසි ලෙස කෘමිනාශක යෙදීමේදී වගාවට හිතකර කෘමින් විනාශවි තවත් හානිය වැඩිවීමක් සිදුවන බව මහ ඉලුප්පල්ලම කෂත්‍ර පර්යේෂන භෝග පර්යේෂන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ හා පලිබෝධ පාලනය පිළිබඳව ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

මේ වන විට රජරට ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් පුරා පැතිර යන සේනා දළඹු හානිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්‍යාඥවරිය මේබව පැවසු අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය.

බඩ ඉරිගු පත්‍ර විශාල ප්‍රමාණයක් මුල් අවදියේදී දළඹුවන් ආහාරයට ගත්තත් භෝගයේ වර්ධනයත් සමග සති හයක් අටක් යන විට භෝගයටම හානිය මග හරවා ගෙන ගහ පරිණතවි දළඹුවන් අඩුකර ගැනීමක් පෙන්නුම් කරනවා.

බඩ ඉරිඟු වගාවේ ප්‍රධාන ගැටළුවක් තමයි සේනා දළඹු හානිය.මේ කන්නයේදී බඩ ඉරිඟු වගාව ලංකාවේ විවිධ පළාත් වල සිදුකෙරුණා.විශේෂයෙන්ම අනුරාධපුර අම්පාර මොණරාගල බදුල්ල වගේ ප්‍රදේශවල.2018 වසරේ අග භාගයේ තමයි ලංකාවේ ප්‍රථම වරට සේනා දළඹු හානිය වාර්ථා වුණේ.

හානිය හදුනා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මර්ග ඒකාබද්ධ පළිභෝද පැකේජයක් හදුන්වාදීලා අපිට පහුගිය කන්න දෙකේම දළඹුවා පාලනය කරන්න හැකි වුණා.විශේෂයෙන්ම අස්වනු හානිය සියයට පහකට වඩා අඩු අගයකට අඩුකර ගන්න හැකිවුණා.

අපි හානිය දුටු පමණින් කළබල වෙලා කෘමිනාශක යෙදීමට යන්න අවශ්‍ය නෑ.ගොඩක් වෙලාවට අනිසි ලෙස කෘමිනාශක යෙදුවොත් හානිය උග්‍රවීමක් සිදු වන්නේ.මේ දළඹුවන්ගේ ස්වාභාවික සතුරන්(වගාවට හිතකර සතුන්) මගින් දළඹුවන් පාලනය වීමක් සිදු වෙනවා.කෘමිනාශක යෙදුවොත් වගාවට හිතකර සතුන් විනාශ වෙලා දළඹු හානිය දැඩිව ව්‍යාප්ත වීමක් සිදුවෙන්න පුළුවන්.

පහුගිය කන්නයේදී අපි ඒකාබද්ධ ක්‍රමවේදයක් දළඹු පාලනයට හදුන්වා දුන්නා.එතනදී වැදගත්ම දේතමයි වගා කරන භූමියේ එක යායක ගොවීන් සියලු දෙනාම එකටම වගාව ආරම්භ කිරීම.විටින් විට කඩින් කඩ මේ වගාව ආරම්භ කිරීම නිසා හානිය වැඩි වීමට හේතුවක් වෙලා තියෙනවා.

හානිය මුල්ම අවධියේදී හානිය අඩු මට්ටමක තියෙනවා නම් වැලි,දහයියා අලු ගහේ ගොබයට ඉසීම කරන්න පුළුවන්.ඒ වගේ දේවල් වලින් හානිය තරමක් දුරට අඩු කර ගන්න පුළුවන්.ඒ වගේම කොහොඹ බීජ නිස්සාරක යොදලා සතියෙන් සතියට භෝගයට යෙදීමෙන් සතුන් පලවා හැරිය හැකියි.

ඒ වගේ ක්‍රමවේද භාවිතා කරලා හානිය යම් කිසි මට්ටමකට අවම කර ගත හැකියි.ඒ වගේම ලපටි අවස්ථාවේදී හානිය 20% කට වගේ දක්නට ලැබෙනවා නම් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් කෘමි නාශක වර්ග පහක් නිර්දේශ කරලා තියෙනවා.ඒවා මගින් සාර් ථකව කෘමින් පාලනය කළ හැකියි.

අනුරාධපුර එප්පාවල නල්ලමුදාව ගම්මානයේ බඩ ඉරිගු අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් පුරා සේනා දළමු වසංගතය පැතිරි ඇතැයි හේන් ගොවීන් පවසති.දින 03 /04 ක ඉඳන් කොළ පාටට තිබුණ බඩ ඉරිඟු ගස් සුදු පාට වෙන්න ගත්තා.

ඊ‌ට පස්සේ බඩ ඉරිඟු ගහේ ගොබය කඩලා බැලුවම පණුවෝ ඉන්නවා දැක්කා.කෘමිනාශක තෙල් ගෙනත් ගැහුවා ඒ තෙල් ගැහුවත් පණුවෝ අඩුවක් නෑ. ඒ විදිහටම ඉන්නවා.මේ දළඹුවා විනාශ කරන්න හැම දේම කළා නමුත් විනාශ කර ගන්න බැරි වුණා.

දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ.මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් හා කෘෂි බලධාරින්ගෙන් ඉල්ලනවා යැයි ගොවින් පැවසීය.

මේවනවිට මහවිලච්චිය ගොවි ජනපදයේ යාය පහ හය හත ඇතුළු ප්‍රදේශ රැසක සේනා දළඹු ආක්‍රමණ නිසා බඩ ඉරිගු වගාවට දැඩි හානි සිදුවෙමින් පවතින බව එම ප්‍රදේශයේ ගොවින් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts