වේවැල්හින්න රෝහලේ කෝටි ගාණක දේපළ විනාශයි

හාලිඇළ, වේවැල්හින්න රෝහල මීට වසර 15කට පමණ පෙර වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් සිය ගණනක් මේ වන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර, රෝහලට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි රාශියක් විනාශ වෙමින් පවතී.

වේවැල්හින්න හා ඕතුඹේවත්ත යන වතුවල මෙන්ම අවට ගම්මානවල දහස් ගණනක් දෙනා දශක කිහිපයක් තිස්සේ සිය රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගත් මෙම රෝහල පිහිටා ඇත්තේ හාලිඇළ සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම මායිම් වන ලෙස වේවැල්හින්න වත්ත ආශ්‍රිතවය. බාහිර රෝගී අංශය, සූතිකාගාරය, පිරිමි හා කාන්තා වාට්ටු, සායන, මුළුතැන්ගෙය, ගබඩා කාමර, මෘත ශරීරාගාරය, වැසිකිළි කැසිකිළි පද්ධති සහ වෛද්‍ය නිල නිවාස, හෙද නිල නිවාස ආදියෙන් සහ ජලය හා විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් ද සමන්විතව මෙම රෝහලෙන් දීර්ඝ කාලයක් ප්‍රදේශවාසී ජනතාවට විශාල සේවාවක් සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති.

එසේ වුවද කලකට ඉහත එම රෝහල වැසීයාමෙන් අනතුරුව කැලෑ වැදී ඇති එහි ඇතැම් ගොඩනැඟිලිවල වහල, සෙවිලි තහඩු, දොර ජනෙල් හා විදුලි උපාංග ආදිය සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර, අයාලේ යන ගවයන් මෙහි ලගින බවට සලකුණු ගොඩනැඟිලි ඇතුළත විසිරී තිබේ. එසේම ඇතැම් ගොඩනැඟිලි කිරි වවුලන් හා වැහිලිහිණියන්ගේ ජනාවාස බවට පත්ව ඇති අතර, වැස්සට තෙමීම හේතුවෙන් වැසිකිළි පද්ධති හා ඇතැම් ගොඩනැඟිලිවල බිත්ති ගරා වැටී ඇතැම් තැන්වල වේ තුඹස් පවා බැඳ තිබේ. ඒ කෙසේ වුවද මේ වන විටත් එහි බොහෝ ගොඩනැඟිලි පිළිසකර කොට භාවිත කළ හැකි තත්ත්වයේ පවතින බැවින් රෝහලක් නොමැතිකමින් දුෂ්කරතාවයට පත්ව සිටින දහස් ගණනක් ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා මෙම රෝහල යළි ගොඩනඟා ජනතාව වෙනුවෙන් විවෘත කරන ලෙස ඔවුහු රජයෙන් හා අදාළ සෙසු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු මෙසේ අදහස් දැක්වූහ.

කේ. වෙල්ලසාමි මහතා,

“මේ රෝහල ඒ කාලෙ ඉතා හොඳට තිබුණා. ලයිට්, වතුර, මාර්ග, නිල නිවාස පහසුකම් සේරම තිබුණා. වේවැල්හින්න වත්තේ, ඕතුඹේ වත්තේ වගේම අවට ගම්මානවල හැමෝම ඒ කාලෙ බෙහෙත් ගත්තේ මේ රෝහලෙන්. ඒත් දැන් අවුරුදු 15කට පමණ පෙර මේක වසා දැම්ම නිසා රෝහලේ වහලය, ටකරන් තහඩු ටික, දොර ජනෙල් ගොඩක් හොරු ගලවලා. ගොඩනැඟිලි සේරම විනාශ වෙමින් තියෙනවා. ඒ නිසා අපිට හදිසියකට බෙහෙත් ටිකක් ගන්න හැතැප්ම ගාණක් දුර ගෙවාගෙන නෙදර්විලට යන්න ඕන. හදිසි අසනීපෙකට වුණත් ඒ වගේ දුරක් යන්න වයසක අපට අමාරුයි. පහසුකම් සේරම තිබුණ තැනක් මේ වගේ විනාශ වෙන්න ඇරලා. ඒ නිසා අපට හදිසියකට බෙහෙත් ටිකක් ගන්න මේ රෝහල ආපහු පටන්ගන්න කියලයි අප ඉල්ලන්නේ.”

එස්. වල්ලිඅම්මා මහත්මිය,

“සේරම පහසුකම් තිබුණු මේ රෝහල වහල දාල මේ විදිහට විනාශ වෙන්න ඉඩදීල තියෙන එක අපරාධයක්. ඒ කාලේ මේ අවට ගම්වලත් වත්තෙත් අම්මලාට ළමයි හම්බවුණේ මේ රෝහලේ. දැන් ළමයි ලැබෙන්න ඉන්න වත්තෙ අම්මලා බදුල්ලට යන්න ඕන. රෑකදි හරි හදිසියක් වුණොත් ඒ කාලෙ මේ රෝහල නිසා ජීවිත බේරුණා. දැන් වත්තෙ කෙනෙක්ට හදිසියේ අනතුරක් වුණොත් රෑකදි හදිසි ලෙඩක් හැදුණොත් දෙයියන්ගෙ පිහිට තමයි. දැන් හදිසි ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න වුණත් ලොකු දුරක් ගෙවාගෙන දෙමෝදරට, කෝට්ටෙගොඩට නැත්තම් බදුල්ලට යන්න ඕනෑ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.”

ඒ.ජේ.එම්. පුංචිබණ්ඩා මහතා,

“අද මේ වත්තෙ ඉන්න ගොඩක් දෙනා ඉපදුණේ මේ රෝහලේ. මං ඉපදුණෙත් මේ රෝහලේ. ඒ දවස්වල සේරම පහසුකම් තිබුණා. වටපිටාවේ ගම්වලින් පවා මෙහෙන් බෙහෙත් ගන්න ආවා. එහෙම වටිනා තැනක් අද විනාශ වෙන්න ඉඩ ඇරලා. රුපියල් කෝටි ගාණක් වටිනා ගොඩනැඟිලි සේරම විනාශ වෙනවා. ප්‍රදේශවාසීන් විදිහට අප රජයෙන් හා අදාළ සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්පත් විනාශ වෙලා යන්න ඉඩ නොදී මෙම රෝහල අලුත්වැඩියා කරලා වෛද්‍යවරුන් පත්කරලා ජනතාව වෙනුවෙන් යළි විවෘත කිරීමට පියවර ගන්න කියලයි.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….