2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද?

ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය. එසේ බැරි වූයේ ඇයි? ණය ගෙවීමට තවත් ණය ගන්නට බැරි වීම එක හේතුවකි. එසේ වූයේ ඇයි? ණය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම් සිදු කරන ෆිච් රේටිං වැනි සමාගම් ලංකාවේ රජය ණය පැහැර හැරීමක් කළ හැකි මට්ටමක ඇති බවට ශ්‍රේණිගත කළ නිසාය. එවැනි රටවලට ණය දෙන්නට ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වුණත්, අවදානම අධික නිසා අධික පොළියක් ඉල්ලා සිටිනු ලැබේ.

ලංකාව විදේශ ණය ගෙවීම පැහැර හරින්නට ඉඩ තිබෙන මට්ටමට පත් වන්නට හේතු වූයේ කොවිඩ්-19 අධි වසංගතයත් සමග අපනය ආදායම් අඩු වීම, විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හෙවත් ප්‍රේෂණ අඩු වීම හා සංචාරක ආදායම් අඩු වීම නිසාය.

මේ අතර, රජයට දේශීය මුදල් ද හිඟ විය. එයට හේතු වූයේ වැට් බද්ද අඩු කිරීම, උපයන විට ගෙවීමේ බද්ද අය කරන ආදායම් සීමාව ඉහළ නැංවීම නිසා එම බදු ආදායම අඩු වීම වැනි හේතු නිසාය. ඒවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණු පොරොන්දුය. රජයට තව තවත් දේශීය ණය ද අවශ්‍ය විය. මුදල් මැවීම හෙවත් සල්ලි අච්චු ගැසීම නිසා රුපියලේ වටිනාකම අඩු වී උද්ධමනය හා භාණ්ඩ හා සේවා මිල වේගයෙන් ඉහළ යන්නට විය. වසංගත ලොක් ඩවුන් සමයේ රු. පන්දහස බැගින් ලබාදීම, පූර්ණ ලෙස වැටුප් ගෙවීම වැනි හේතු මත රාජ්‍ය වියදම් ද වැඩි විය.

අරගලය පැන නැගුණේ රජයේ සමාගම් වූ තෙල් සංස්ථාව තෙල් ආනයනයට හා විකිණීමටත්, විදුලි බල මණ්ඩලය විදුලිය සැපයීමටත් අසමත් වීමත් සමගය. අරගලයේ ඉල්ලීම එකී ප්‍රශ්න විසඳීම විය යුතුය. 2020 වන විට තුනෙන් දෙකේ බලයක් ලබා දී තිබුණු ආණ්ඩුවට ඒ වෙනුවෙන් ජනතාව උපකාර කළ යුතු විය. එහෙත්, දෙවසරක් යන විට ජනතාව ආණ්ඩුව ගෙදර යවන්නට සැරසෙන බවක් දක්නට ලැබිණි. එසේ වූයේ ඇයි?

මෙම තත්වය පසුබිම් කරගෙන නිර්මාණය වෙමින් තිබුණේ දැඩි ප්‍රභූ විරෝධයකි. ජනාධිපතිවරයාට මෙන්ම, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, සෙසු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් වූ රාජපක්ෂවරුන් වෙත දැඩි විරෝධයක් එල්ල විය. පාර්ලිමේන්තුවේ 225ම හොරු බවට ප්‍රචාරය කෙරුණු අතර, හොරකම් ගැන ඉලක්කම් හා කතා ප්‍රබන්ධ සාහිත්‍යයක් මෙන් නිර්මාණය විය. ප්‍රභූ විරෝධය කෙතරම් තීව්‍ර වීද යත්, ප්‍රභූ නොවන දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා අරගල භූමියෙන් පිටමං කෙරිණි.

මෙතරම් ප්‍රභූ විරෝධයක් නිර්මාණය වීමට හේතුව කුමක්ද? අරගලය සමග පෙළගැසුණු නායකත්වය නිරීක්ෂණය කරන විට පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයක් වූයේ එය සිංහල නොවන, බෞද්ධ නොවන, ගොවිගම නොවන පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී පදනමින් පිරිමි නොවන සාධකය පවා යම් ආකාරයකින් දැකගත හැකි විය. ඒ අනුව, අරගලයේ හරය සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට විරුද්ධ එකක් ලෙස දැකිය හැකිය.

ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය වීම ආරම්භ වන්නේ ඉංග්‍රීසි යටත් විජිතභාවයෙන් නිදහස් වීමත් සමගය. 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඩොමීනියන් තත්වයේ සිට 1972 ජනරජ ව්‍යවස්ථාව හරහා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වන විට ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යය තහවුරු වී හමාරය. 1972 වන විටම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් වී තිබිණි. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය සියලු ආකාරයේ පුරවැසියන්ට සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම තහවුරු කර තිබුණද, සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ප්‍රභූ ආධිපත්‍යය එලෙසම පැවතිණි. 2009 වන විට දෙමළ කැරැල්ල ද පරාජය කර රාජ්‍යය තුළ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යය මුළුමනින්ම තහවුරු කර ගැනුණු අතර, රාජපක්ෂ පවුල ද රාජ්‍ය පාලකයන් අතර ආධිපත්‍යය තහවුරු කරගෙන තිබිණි.

ශ්‍රී ලංකා රාජ්‍යයේ බල දේශපාලනය තුළ දෙමළ බස කතා කරන ජනයාට සාධාරණ අවස්ථාවක් පිළිබඳ ඉල්ලීමට ද රාජ්‍යය තරම්ම දිගු ඉතිහාසයක් ඇත. එහෙත්, දෙමළ ජනවර්ගයට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සාධාරණ බලයක් ලැබෙන අන්දමින් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාව තවමත් අසමත් වී තිබේ. තවත් බොහෝ කාරණා සම්බන්ධයෙන් ද තත්වය එසේය. ප්‍රායෝගිකව ගත් කල ලාංකික කාන්තාවන්ටවත් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සමාන අන්දමින් බලය හිමි වන්නේ නැත. පසුගිය 76 වසරක ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ සාමාන්‍යයෙන් 5%කට ආසන්න මට්ටමකය. වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් ගැන කතා කරන්නට දෙයක් නැත. සමලිංගිකත්වය තවමත් ශ්‍රී ලංකාවේ නීතිමය වශයෙන් දඬුවම් කළ හැකි වරදකි.

දෙමළ බස කතා කරන ජනයා, බෞද්ධ නොවන ආගමිකයන්, ගොවිගම නොවන කුලවල ජනයා මෙන්ම ස්ත්‍රීන් හා සුළුතර ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රජාවන් ද ශ්‍රී ලංකා රාජ්‍යයෙන් බැහැර කර ඇත. එය සිදු වන්නේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යය තුළය. එකී ආධිපත්‍යය සමග තරහ වීම මෙන්ම එයට වෛර කිරීම ද අසාධාරණ නැත. මෙකී ආධිපත්‍යය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් වී දරුණු ආර්ථික අර්බුදයක ගිලී ගිය විට එකී වෛරය ප්‍රභූන් පිට මුදා හැරීමට කදිම අවස්ථාවක් ලැබිණි.

ලාංකීය දේශපාලනයේ ප්‍රභූ නායකත්වය රැකගැනීම සඳහා එල්ලිය හැකි අවසාන පිදුරු ගස වූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයයි. රාජපක්ෂවරුන් අසමත් වූ තැන සිට ඔහු එම කාර්යය සම්පූර්ණ කරගෙන ඉදිරියට පැමිණියේය. ඒ පිළිබඳ විස්තර මෙහි සටහන් නොකරමි. ජනාධිපතිවරණය පැමිණියේ ඒ අතරමගදීය.

අරගලය අවසන් නැත. නැවත වතාවක් අරගලයේ බලවේග සජිත් ප්‍රේමදාසගේ හා අනුර කුමාර දිසානායකගේ නායකත්වයන් පසුපස පෙළගැසෙමින් සිටිති. රනිල් කියන්නේ තමන් වැටී සිටි රට මේ මට්ටමට හෝ ගෙන ආ බවයි. රට සංවර්ධනය කිරීම සඳහා ඔහු තව අවුරුදු පහකට බලය ඉල්ලයි. එහෙත්, අරගලයේ නිර්ප්‍රභූ ජන බලවේගවලට එය අදාළ නැත. ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, බෞද්ධ, ගොවිගම ආධිපත්‍යය විනාශ කිරීමටයි. එසේ විනාශ කිරීමෙන් පසු කුමක් සිදු වේද යන්න පවා ඔවුන්ට අදාළ නැත. ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාව එයයි. එම රැල්ල ආපසු හැරවීමට නම් නිර්ප්‍රභූ හීනමානයට එරෙහි ප්‍රබල දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍යය.

praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….