keheliya

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත අවශ්‍යතාව අනුව අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීති රීති සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

බොහෝ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබා ගැනීම පිළිබඳ  සමාලෝචනය කිරීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

දානපතියන්ගේ පරිත්‍යාග මත මහනුවර ජාතික රෝහලේ ඉදිකළ සාමාන්‍ය ප්‍රතිකාර ඇදන් සියයක් හා දැඩිසත්කාර ඇදන් 16 කින් යුතු කොරෝනා ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ  (26) සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එන්නත්රණය  සම්බන්ධයෙන් ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට  සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රමුඛත්වය අනුව ඉදිරි අයවැය මගින් සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් වන බව සඳහන් කළ ඒ මහතා මේ වන විට ප්‍රමුඛස්ථානයට පත්ව ඇත්තේ සෞඛ්‍ය අංශය යැයි ද කීවේය. ඒ අනුව අය වැය මගින් ඊට විශාල මුදලක් වෙන් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් විවෘත කිරීමට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබුණු ගුරුවරුන්ගේ එන්නත්කරණය මේ වන විට 99% ක ඉලක්කය පසුකර හමාර යැයි කී අමාත්‍යවරයා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත්කරණය පිළිබඳව ලොව පුරා මෙතෙක් අවධානයක් යොමු වී නැතැයි ද සිහිපත් කළේය.

රට තවදුරටත් වසා  තබන්නේ ද නැත්නම් විවෘත කරන්නේද යන්න විශ්ලේෂණය කරන බවත් කුඩා ආර්ථිකයකින් සමන්විත මෙම රට තවදුරටත් වසා  නොතබා  විවෘත කිරීම වඩා සුදුසු යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි ඇතුලු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, ඖෂධ සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා, ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් අණදෙන නිලධාරී මේජර් ජනරල් කිත්සිරි ලියනගේ මහතා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා, වටු සංකීර්ණය ඉදිකිරීම් වැඩ සටහන් භාර වෛද්‍ය අරුණ අබේසිංහ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts