දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ද කටයුතු කළේය.

උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරණ සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමඟින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 

gossip lanka

Similar Posts