ගොඩට එන්න ජාතියක් වශයෙන් එක් වෙමු

විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බව වටහා ගෙන අධෛර්යවත් නොවී මේ අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් සියලු දෙනා එක් වන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඊයේ (16) ප්‍රකාශ කළේය.

ජාතිය අමතමින් ජනපතිවරයා මෙසේ ද කීය.

ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැට‍ලු ගැනත් මා හොඳින් දන්නවා. පසු ගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා.

මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.

මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා.

අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ ‍දීමට සිදු වූවක් නොවෙයි. මුළු ලෝකයම නොයෙක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා.

මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.

අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි.

රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව, මේ අවුරුද්දේ ‍අපේක්‍ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇතිවෙනවා.

පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.

මේ අතර, මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට‌ වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා.

අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.

එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.

ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා.

මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්.

ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.

පසුගිය කාලයේ මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.

ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි. වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා.

මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ.

ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස දෙකේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා.

ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශන ක්ෂේත්‍රවලට රජය විසින් යටිතලපහසුකම් සැපයීම වේගවත් කිරීම නිසා මේ ක්ෂේත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා.

අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා.

ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි.

මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….