ශ්‍රේෂ්ඨාධිකරණ තවමත් සිංහල බසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර නැහැ

law

සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව සංවිධානය කළ අන්තර්ජාතික මව් භාෂා දින උත්සවය ඊයේ(21) කොළඹ, පදනම් ආයතනයේදී පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

සිංහල බස උගන්වන්න එසේ නැත්නම් බුදු දහම උගන්වන්න ඉස්සර අපට ලොකු ගොඩනැගිලි තිබුණෙ නැහැ. අද පාසලක් ඇති කරන්න කතා කරන විට බොහෝවිට ඉල්ලන්නේ ගොඩනැගිලි. නමුත් ඩී.බී. ජයතිලක මැතිතුමා සහ ආදී කාලීන නායකයන් පරම විඥානාර්ථ බෞද්ධ සමාගම සමඟ රට පුරා ගමින් ගමට පොල් අතු සෙවිලි කරන ලද කුඩා මණ්ඩපවල සිංහල භාෂාවත්, අධ්‍යාපනයත් පෝෂණය කළා. ඒ කාලෙත් වහිනවා පායනවා. අපේ ජනතාවගේ දරුවන්ට අභියෝග වැඩියි. අපට එදා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඒකට උදව් වුණේ නැහැ. නමුත් අපේ ග්‍රාමීය නායකයන් පරිත්‍යාගයෙන් ඉඩම් දුන්නා. පාසල් ඇති කළා. ඒ සිංහල භාෂාව පෝෂණය කිරීමටයි.

සංඛ්‍යා ලේඛන වලින් පමණක් ජාතියක පැවැත්මක් ඉතුරු වෙන්නෙ නැහැ. කෙටියෙන් මේ වදන් පෝෂණය කරන්න නම් අපි අපේ භාෂාව, මව් භාෂාවන් එලෙස පෝෂණය කොට ආරක්ෂා කොට අඛණ්ඩ පර්යේෂණ වල යෙදෙමින් ඇතිවිය හැකි භයානක තර්ජනයන්ගෙන් මුදවාගෙන ගමන් කළ යුතුයි.

සුදු ආණ්ඩු කාලයේ ඉංග්‍රීසි බසින් තමයි ගම්වැසියන්ගේ පැමිණිල්ලක් පොලිසිය ලියා ගත්තේ. පැමිණිල්ල තමන්ගේ භාෂාවෙන් ලියවුණේ නැහැ. සිංහල සහ දෙමළ රට වැසියා තම තමන්ගේ භාෂාවලින් පැමිණිල්ල කිව්වා. ඒ කාලේ මැලේ රටවැසියන් ප්‍රමාණයකුත් හිටියා. පැමිණිල්ල ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. කොහොම වෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන්නේ. සාධාරණත්වයේ නාමයෙන් කතා කරන බොහෝ සමාජයන් වල අපට හිමි සාධාරණත්වය ලබා නොදී ඔවුන් රට පාලනය කළා.

සති දෙකෙන් දෙකට එක් භාෂාවක් මැරෙණ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට නිගමනයකට පැමිණ තිබෙනවා. එසේ නොමැරෙන්න භාෂාවක් නම් මව් භාෂාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සුවිශේෂ යෝජනාව සම්මත කරන්නට ගෙනාවා. රවින්ද්‍රනාත් තාගෝර් බෙංගලි බසෙන් මුළු ඉන්දියාවම නැගිට්ටෙව්වා. සංගීතයෙන් ඉදිරිපත් කළා. වගන්ති වලින් සාහිත්‍යයෙන් ශක්තිමත් කළා. කාලයකට පස්සේ බංග්ලාදේශය වශයෙන් රටක් බිහි වුණා.

අපේ මව් භාෂාව අපි අතහැර දමන භාෂාවන් ගොඩට එලෙස තල්ලු කරන්නට උත්සාහ දරන ක්‍රියාවලියෙන් ආරක්ෂා කර ගැනීම රජයට පමණක් කළ නොහැකි දෙයක්. නමුත් රජයට අනිවාර්ය වගකීම හා බැඳියාව තිබෙනවා තමන්ගේ රටේ ජනතාවගේ අනන්‍යතාවය ආරක්ෂා කරන්නට. අනන්‍යතාවය ආරක්ෂා කරන්නට නම් අනිවාර්යයෙන්ම මව්බස ආරක්ෂා කළ යුතුමයි. මව් බස වටා ගොඩනැගුණු විවිධ ආකාරයේ ක්ෂේත්‍ර ආරක්ෂා කර ගත යුතුයි.

අපි අහලා තියෙන වදන්වල මව් භාෂාව මව් කිරි හා සමානයි. භාෂාව ඒ තරම් වටින ජීවයක් එකතු කරන සාධකයක් බව අප අමතක කළ යුතු නැහැ. එය ස්වෙච්ඡාවෙන් අප විසින් කරන්නා වූ ක්‍රියාවලියක් බවට පත් කිරීමෙන් ඉවත් වී කටයුතු කිරීමට විවිධ නීති රීති හදනවා. ඒවා ක්‍රියාත්මක කරන්නට තිබෙන ඕනෑකම සඳහා වූ ජාතික අවදිවීමක්, ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා. එය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය, උසස් අධ්‍යාපන හා පර්යේෂණය, කේන්ද්‍රස්ථාන හැටියට වඩාත් උනන්දුවෙන් මැදිහත් වන්නේ නම් අගය කරන්නට ඕනේ.

අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී කරුණු කාරණා රැසක් නිවැරදි කර ගැනීමට අදාල දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳෙව්වා. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ඈත පිටිසර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමට අපි වහා පියවර ගත යුතුයි. එවැනි පියවර එකින් එක අප නොගත්තොත් අපේ මව්බස හුදෙකලා වෙමින් අපේ ජනතාවගෙන් ඈත් වෙන්නට ඉඩ තිබෙනවා. එම ඉඩකඩ අප වෙනස් කරගමු. ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී කටයුතු කළ සැමදෙනාට ගෞරවය පුද කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන නඩු තීන්දු කතානායකතුමා කියවන්නෙ තාම ඉංග්‍රීසි බසින්. සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරල නැහැ කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වේ. දෙමළ බසිනුත් ප්‍රකාශ කරලා නැහැ කියලා මන්ත්‍රීවරු තවත් පිරිසක් ප්‍රකාශ කළා. අපට ලබාගන්නට තිබෙන ජයග්‍රහණයන් කොයිතරම් දුරද? තව බොහෝ දුරක් තිබෙනවා. එය ඇතිකර ගැනීමේ කාර්යයට තව තවත් කැපවිය යුතු බව මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම පරිවර්තන විද්‍යාගාර ඇති කිරීම, පරිවර්තනය කිරීම සඳහා දැනුම ඇති පරම්පරාවක් විශ්වවිද්‍යාල වලින් හා ඒ හා සම්බන්ධ දෙපාර්තමේන්තුවලින් බිහිකර ගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් තිබෙනවා. අද පරිවර්තකයෝ නැහැ. පරිවර්තකයින් නැති නිසා විශ්‍රාම ගිය පිරිසට සේවා දිගු ලබාදෙන්න වෙලා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අමාරුම කාර්යය තමයි විශ්‍රාමයෙන් පස්සේ සේවා දිගු ලබා දීම.

මව් භාෂාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල යෝජනාවෙන් සහ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ගත හැකියි. ඊටත් වඩා අපේම මව්බස සුරක්ෂිත කිරීම සඳහා වූ ක්‍රියාදාමයට විශාල ශක්තියක් හා ධෛර්යයක් බවට පත්කර ගැනීමට මෙම ක්‍රියාවලිය දැවැන්ත ශක්තියක් වනු ඇති.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, බංගලාදේශ මහකොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, තානාපති කාර්යාල නිලධාරීන්, විශ්ව විද්‍යාල පීඨාධිපතිවරු, මහාචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, විවිධ සංවිධාන හා ජනවර්ග රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….