සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා

Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා.

පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට හිතුමතේ වෙඩි තියලා මරලා දානවා. හේතුවක් රහිතව. කෙනෙක්ව මරලා දාන්න කිසිම අයිතියක් නොදෙන නීතී පද්ධතියක් තියෙන රටක් ඇතුළෙ, එක ධීවර ගම්මානයක් ඇතුළෙ එක මොහොතකින් මිනිහෙක්ගෙ ජීවිතේ අවසන් කරලා තීන්දුවක් දෙනවා එක කාකි නිළ ඇඳුමක්.

ඊටපස්සෙ උසාවිය දෙනවා ඊටත් එහා තීන්දුවක්!

තමන්ට නීතීයේ පිළිසරණක් උවමනා වුණාම, එන්න තියෙන එකම තැනින්, තමන්ගෙ ජීවත්වීමේ අයිතිය උදුර ගත්තම සාම සාකච්ඡා වලට ඇවිත් ඉඳගන්න තරම් පරිසරයක් මේ ගම් වල පොලීසි වලින් ගමේ මිනිස්සුන්ට දීලා තිබුණා නම්, දේශබන්දු මහත්මයා ඇවිල්ල මීඩියාවලට කියයිද “මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ, අඟුලානෙ ඉන්න කුඩ්ඩො, මත්ද්‍රව්‍ය ජාවරම්කාරයො සහ පාතාලකාරයො. ඔවුන්ට විරුද්ධව කෙරෙන පරීක්ෂන නිසා ඔවුන් කුපිත වෙලා ඉන්නෙ ඔවුන් තමා මේ අවස්ථාව බලලා මේ සිද්ධිය කරලා තියෙන්නෙ ” කියලා. ඒ නොකියා කියන්නෙ මුන් කුඩ්ඩො සහ චන්ඩි කියලා අපි කියන නිසා, මුන්ව මරලා දැම්මත් කමක්නැහැ කියන එක නෙමෙයිද? ඒ නොකියා කියන්නෙ මුන් පාන ඕන විරෝධයක් එන්නෙ නූගත්, මදාවි පරිසරයකින් මිසක් ශුද්ධවූ භූමියකින් හරි ශුද්ධවූ ආස්ථානයකින් නෙමෙයි කියන එක නෙමෙයිද?

දේශබන්දු සර්,

ඔයාලගෙ උත්තම නිළධාරීන් මීට කළින් මේ ගමේ තරුණයො දෙන්නෙක්ව එක රෑට දස වද දීලා වෙඩි තියලා කලපුවට සහ මුහුදට අත ඇරියා. ඒකට තිබුණු හේතුව තමා පොලිස් ස්ථානාධිපතිගෙ එක අනියම් බිරිඳකට මේ තරුණයො දෙන්නා (අනියම් බිරිඳක් බව නොදැන, සාමාන්‍ය ගෑණු ළමයෙක් කියලා හිතාගෙන ) විහිළු කරලා තිබීම. ඒ වතාවේ මුළු ගමක් රේල්පාරේ ඉඳගත්තෙ රටේ උතුම් නීතී පද්ධතිය ගැන මේ මුළු ගමම දැනගෙන හිටපු නිසයි. ඒ සටනෙ මූලිකත්වය ගත්තෙ ගමේ උගත් ප්‍රජාව නෙමෙයි. ධීවර මිනිස්සු. කෝච්චියක් නවත්තනකන්, පොලීසිය හෝ මාධ්‍ය ඒ මිනිස්සුන්ගෙ හඬට අවදානය නොදෙන බව ඒ මිනිස්සු දැනන් හිටියා.

පේනවද?

ජීවිත දෙකකට වඩා වැදගත් සර් කෝච්චිය වෙලාවට යන එක. ඒ නිසා රජය ක්‍රියාත්මක වුණා. මතකද සර්? ජීවිත දෙකක්? ඊටපස්සෙ ඔයාලා අපිව ලේබල් කරා ” පොලීසියට ගල් ගහපු ගම” කියලා.

දැන් ආයේ වතාවක් ඔයාලා ඒ සෙල්ලමම කරනවා. ඊට වඩා විශාල බලයක් එක්ක. දවස් දෙක තුනකින් ඔයාලා උසාවියෙන් සහතික අරන්, ඔළුව කෙළින් තියාගෙන එළියටත් එනවා. ඒ බව දැක්කම, මේ ගම් වල උගත් ප්‍රජාවගෙ ලේ පිච්චෙන වේගෙට වඩා වේගයෙන් මේ ගම් වල දුප්පත් මිනිස්සුන්ගෙ ලේ පිච්චෙනවා. මැරුණෙ උන්ගෙ එකෙක් කියලා උන් හිතනවා. උන්ට දැනෙනවා. මුළු ඇමරිකාවටම එක මිනිහෙක් නිසා Black Lives Matter කියලා පාරට බහින්න පුළුවන් වුණාට , ලංකාවේ එහෙම නොවෙන බව මේ ගෑණු, මිනිස්සු දන්නවා. ඒ නිසා බැටන් පාර කන්න බලාගෙන, මේ මිනිස්සු පාරට බහිනවා.

සර්,

මේ සටහන ලියන මගේ ගමත් අඟුලාන. මම කුඩ්ඩෙක් නෙමෙයි. මගේ ගමේ ඉන්නෙ කුඩ්ඩොන්ට වඩා හොඳට ඔයාලා කුඩු මුදලාලිලව අඳුරනවා. එහෙම නැති බව කියන්න එපා. ඒක ගමම දන්නවා. ඒත් මිනිස්සු මැරුම් කන්න බය නිසා කට වහගෙන ඉන්නවා.

මේ ගම් වල ඉන්න නූගත් මිනිස්සුන්ට වඩා ඔයාලා මෙහෙ ඉන්න චන්ඩි අඳුරනවා. නෑ කියන්න එපා සර්. ගමම ඒක දන්නවා. මුළු මොරටු ගම් 18ම ඒක දන්නවා.

කාවද මේ රවට්ටන්නෙ?

මීඩියා ඉස්සරහට ගිහින් ඒ ගමේ ඉන්නෙ කුඩ්ඩො , පාතාලයො කියලා කිව්වට පස්සෙ ලංකාවේ මිනිස්සු මේ සිද්ධිය අමතක කරලා දායි. ඒක මේ රටේ හැටි සර්. මැරුණු මනුස්සයගෙ ළමයි හතර දෙනා කොහොම හරි ජීවත් වෙයි. ජීවත් වෙන්න එපැයි. ගල් ගහපු මිනිස්සුන්වත් ඇතුළෙ තියන් ඉඳලා පාර්ට් දාලා, ගහලා ඔයාලා එළියට දායි. මේ ඔක්කොම අමතක වෙලා යයි. ඒක අපි දන්නවා සර්.

බීලා වාහන වලින් ගිහිල්ලා මිනිස්සු හප්පන ඇමති පුතාලා, ක්‍රිකට් ක්‍රීඩකයො සහ මල පැන්නම මිනිස්සුන්ට වෙඩි තියන පොලිස් නිළධාරීන් මේ ඔක්කොම එක ගොඩේ බව අපි දන්නවා.

ඇමති පුතාලගෙ අතින් හැප්පෙන පොඩි පොලිස් නිළධාරීන්, ක්‍රිකට් බලය සහිත වාහන වලට හැප්පෙන පොඩි මිනිස්සු සහ පොලීසියට කේන්ති ගිය නිසා වෙඩිකාලා මැරෙන තාත්තලා ඔක්කොමත් එක ගොඩේ.

ඒ නිසා අපි කියන්නෙ නැහැ සර් ඔක්කොම පොලිස් නිළධාරීයෝ තිරිසන්නු කියලා. අපිට බෙදුම් ඉරි අඳින්න ඕනේ නෑ.

ඒත් සර්, මීඩියා ඉස්සරහට ගිහින්, අඟුලාන කියන්නෙ කුඩ්ඩො සහ පාතාලයො කියලා ඉන්න ගමක් කියලා ඔයාලා කියද්දි, ඒ ගමේ ඉන්න කුඩු මුදලාලිලව සහ පාතාලයොන්ව වඩාත් හොඳින් අඳුරන්නෙ සහ වඩාත් ළඟින් දන්නෙ ඔයාලා බව අපි දන්නවා. අපි එතනත් බෙදුම් ඉරි අඳින්නෙ නෑ සර් 🙂

ඔයාලා එකම කාණ්ඩයේ වුණු එකේ අපි මොකටද ඉරි අඳින්නෙ?

මම කුඩ්ඩෙක් නෙමෙයි සර්. මම විශ්වාස කරනවා මම වෙඩි කාලා මැරිලා යන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා. කුඩ්ඩෙක් කියන්නෙත් මැරිලා යන්න ඕන මිනිහෙක් නෙමෙයි. ඒකනෙ සර්ලා කන්දකාඩූ වගේ ආයතන කරගෙන යන්නෙ.

පටලවගන්න එපා සර්,

අපි දන්නවා කවුද එකම කුලකයේ ඉන්නෙ කියලා. සර්ලා ඒ බයටම මුළු ගමම කුඩ්ඩො සහ චණ්ඩි කියලා කියන බවත් අපි දන්නවා. මේක ලංකාව නිසා වෙඩි කාලා මැරුණු තාත්තගෙ ජීවිතේ වෙනුවෙන් ඔය ගල් ගහපු ස්වල්පය ඇරෙන්න වෙන එකෙක් පාරට නොඑන බවත් අපි දන්නවා. ඒත් ජීවත් වෙනවා සර්.

මේ මුළු ගමම, එක්කො කුඩු මුදලාලිලා වෙනකන්, එක්කො ක්‍රිකට් ක්‍රීඩකයො වෙනකන් හෝ එක්කො බලය සහිත මිනිස්සු වෙනකන් අපෙන් එක එකා කාලෙන් කාලෙට බල්ලො බළල්ලු වගේ මැරිලා යන බව අපි දන්නවා.

සර්ලා දිගටම වොයිස් කට් දෙන්න සර්!

Shenu Perera  මුහුණු පොතිනි, උපුටා ගත්තේ srilankabrief.org

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….