ඇවිළීම කළේ නිවන්න

Chandraguptha Thenuwara Blinds

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත.

83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ මෙවරත් පවත්වනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

1997 ඉඳන් මම මේ ප්‍රදර්ශනය පවත්වාගෙන එනවා. මගේ පළමු ප්‍රදර්ශනය පැවත්වුණේ ‘සැමරිය නොහැකි සැමරුම්’ කියලා. 1983 ජූලි 23 උතුරේදී ඝාතනය වූ සොල්දාදුවන් 13 දෙනා කොළඹ ගෙනෙනවා. එතැන ඉඳලා දේශපාලනිකව ඇවිළවූ යුද්ධය දශක ගණනාවක් දිග ඇදුණා. තවමත් අපට ඉන් පිටතට පැමිණෙන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ හා බැඳුණු ජීවිතය, ජීවිතයේ අයිතිය වගේ දේවල් තවම මේ සමාජය තුළ අවිනිශ්චිතයි. නිශ්ශබ්දව මේවා කතා කරන්න චිත්‍රයට පුළුවන්. ශබ්ද නගලා කතාකරන අයට වඩා වැඩි දුරක් චිත්‍රයකට යන්න පුළුවන්. චිත්‍ර බලන කෙනා තමයි කතාකරන්න ඕනෑ. 83 සිට අපේ ඇස් පනාපිට තමයි බොහෝ දේවල් සිද්ද වුණේ. අපි ඒවායේ ඇසූ-දුටු සාක්ෂිකාරයෝ. කාටවත් බයේ අපට ඒ සාක්ෂි සඟවාගෙන ඉන්න බෑ.

මේ ප්‍රදර්ශනය නම් කරලා තියෙන්නේ ‘බ්ලයින්ඩ්’ කියලා. බ්ලයින්ඩ් කියන්නේ ‘කණ’ කියන අර්ථය. මොකද අපි ලෝකය දකිමින් ඉන්නේම හිදැස් අතරින්. ඒ අදහස තමයි දිගුවක් ලෙස තියෙන්නේ. මගේ පුරුදු ඇක්‍රිලික් මාධ්‍යයෙන් කැන්වස් මත කළ චිත්‍ර මේ ප්‍රදර්ශනයේදී දකින්න පුළුවන්. ඒ වාගේම ටකරන් වගේ පෘෂ්ඨයන් මත මිශ්‍ර මාධ්‍යයෙන් කළ නිර්මාණත් තියෙනවා. ‘සුසුම් ලන යුක්තියේ දෙවඟන චිත්‍රය’ මේ ප්‍රදර්ශනයේදී ප්‍රධානයි. ඇස් වසා සිටින යුක්තියේ දෙවඟන අලුත්කඩේ උසාවියේ කුලුනු දෙකක් අතර වාඩිවෙලා සුසුම්ලනවා. මේ හැම චිත්‍රයකම සැඟවුණු රූපයක් තියෙනවා.

83 කළු ජූලිය සිද්ධිය සිදුවෙලා අදට වසර 38ක් වෙනවා. යුද්ධය ඉවර වෙලාත් වසර 11ක් පමණ ගතවෙලා. 83 කළු ජූලිය හෝ යුද්ධය ගැන නැවත මේ සමාජයට මතක් කළ යුතුයි කියලා ඇයි ඔබ හිතන්නේ?

අමිහිරි වුණත් අපි නැවත මතක් කරගත යුතු දේවල් අපට අපේ ජීවිත කාලය තුළ මුණගැහිලා තියෙනවා. 83 කළු ජූලිය හා යුද්ධය අපේ අපේ ජීවිතයෙන් අයින් කරන්න බැරි එවැනි සංස්කෘතික මතකයක්. අනාගතය වෙනුවෙන් ඒ විනාශය මතක් කරගැනීම ඉතාම වැදගත්. මගේ චිත්‍රවලින් මම ලේ පෙන්නන්න, ත්‍රාසය දනවන්න උත්සාහ කරන්නේ නෑ. ඒත් සමාජයට ආමන්ත්‍රණය කළ යුතු තැන් තාමත් තියෙනවා. මිනිස් ජීවිත අහිමි කරවීම්, අතුරුදන් වූ මිනිසුන් පිළිබඳ ගැටලු, මිනිස් අයිතිවාසිකම් අහිමිවීම, සංහිඳියාවේ ගැටලු වගේ මේ සියල්ලම යුද්ධයත් එක්ක බැඳෙමින් හා යුද්ධයේ අතුරු ඵල ලෙස වර්ධනය වූ දේවල්.

මේ සමාජය එක වෙලාවක යුද්ධය ආයුධය කරගෙන බලය පවත්වාගන්නවා. තවත් විටක යුද්ධය විසඳීම සඳහා සාමය වෙනුවෙන් බලය පැතිරෙව්වා. දැන් යුද්ධය ගැන අනාගත බියක් ඇති කරලා බලය පවත්වාගෙන යනවා. අතීතය යළි සිදු නොවිය යුතුයි. එසේ නොවිය යුතු නම් යුද්ධයේ කුරිරුකම අපේ මතකයේ තියෙන්න ඕනෑ. අපේ මැදිහත්වීමකින් තොරව, අපිත් ගොදුරු බවට පත් වූ කාලයක් ඒක. මුළු සමාජයම යුද්ධයේ ගොදුරක් බවට පත් වීම ආණ්ඩුවකට පමණක් විසඳිය හැකි ප්‍රශ්නයකුත් නෙමෙයි.

මෙතෙක් කල් හැම ආණ්ඩුවක්ම කළේ තමාගේ පැවැත්ම වෙනුවෙන් මේ ඛේදය පාවිච්චි කිරීමණයි. සංහිඳියාව ඇති කරන්න කට්ටියක් උත්සාහ කරනකොට විපක්ෂය කළේ ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා බිඳලා දාලා තමන්ගේ බලය තහවුරු කර ගැනීම.

ජාතිවාදය කියන්නේ ඉතා සංවේදී කලාපයක්. 1983 වගේම 2014 ජුනි මාසේ ආයෙත් ගිනි තිබ්බා. වෙනසකට තිබුණේ කලින් දෙමළ, පස්සේ මුස්ලිම් වීම විතරයි. ආයේ වෙන සතුරෙක් නිර්මාණය කරනවා. මුතාලිෆ්ලා ගැන මහා ආදරයෙන් කතා කළ සිංහලයාම මුතාලිෆ්ගේ ජාතියට අයත් මිනිසුන්ගේ දේපල ගිනි තිබ්බා. මිනිස් ජීවිතයේ වටිනාකම අපි මුලින්ම තේරුම් ගන්න ඕනෑ. ජීවිතය ඉතාම දුර්ලභයි. අමාරුවෙන් ලබාගන්නේ. මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නේ.

ඒ ජීවිතය වෙන කාට හරි බලෙන් යටත් කරලා නැතිකරලා දාන්න අයිතියක් නෑ. මිනිස් ජීවිතය රැකගැනීම හා එය රැකගැනීම වෙනුවෙන් පෙනීසිටීම ඉතාම වැදගත්. මිනිසුන්ට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු වුණොත් තමයි අනික් අයිතීන් සියල්ල තහවුරු වෙන්නේ. පසුගිය කාලේ කොවිඩ් වෛරසය මෙරට ව්‍යප්ත වෙන්න ගත්තාමත් ආයෙත් ජාතිවාදය අවුස්සන්න පටන්ගත්තා. තවමත් අළු යට ගිනි වගේ ඒ ජාතිවාදය තියෙනවා. ඕනෑ වෙලාවක එය ඇවිළෙන්න පුළුවන්.

ලෝකයේ විශාල ඛේදවාචක ස්මරණය කරන්න විවිධ ස්මාරක ඇතිකරලා තියෙනවා. මූර්ති නිර්මාණය කරලා තියෙනවා. කලාකෘති නිර්මාණය වෙලා තියෙනවා. ලංකාව වගේ රටක එවැනි දෙයකින් ඇතිවන ප්‍රයෝජනය මොකක්ද?

ස්මාරක මගින් බලහත්කාරය පතුරවන්නත් පුළුවන්. විදේශීය ආක්‍රමණයකින් තමන්ගේ රට බේරාගැනීමට කරන යුද්ධයක් හෝ අරගලයක් නෙමේ අපේ රටේ ඇතිවුණේ. ජනවර්ගය වෙනස් වුවත්, ඇදහිලි, විශ්වාස වෙනස් වුවත් ශ්‍රී ලංකිය ජාතිය තුළමයි මේ ගැටුම ඇතිවුණේ. ස්මාරකවලට හොඳම උදාහරණය තමයි එළාර සොහොන.

දුටුගැමුණු-එළාර යුද්ධය ගැන අපේ මතකයට තියපු ලොකුම සටහන ඒක. අපි ඒ සටහන අමතක කරලා දුටුගැමුණුගේ යුද්ධය ගැන විතරක් කතාකරනවා. තමාගේ ප්‍රතිවාදියාට, සතුරාට වුණත් ගෞරව කරන්න ඕනෑ. රාජ්‍ය බලය වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිවිරුද්ධවාදියා හැටියටයි එළාර මිය ගියේ. ජාතිවාදී පදනමෙන් බලන්න පුළුවන් කාරණාවක් නෙමෙයි ඒක. මොකද එළාර රජතුමාත් සෑහෙන කලක් ලංකාව පාලනය කළා. මාර්ටින් වික්‍රමසිංහ ‘රෝහිණී‘ නවකතාව ලිව්වා. ඒවා යුද්ධය පිළිබඳ සාහිත්‍යමය ස්මාරක. ඒ මතකයන් තිබීම සමාජයකට ඉතාම වැදගත්.

දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා අඩ සියවසක් ඉක්මවලා තියෙනවා. තවමත් හිට්ලර්ගේ උන්මාදයෙන් පෙළන ඇතැම් දක්ෂිණාංශික ජාතිවාදීන් ගිනි තැබීම්වලට ලෑස්ති වෙනවා. සුදු බලය සම්බන්ධයෙන් ඇමරිකාව තුළ ට්‍රම්ප් කරන්න හැදුවේත් ඒකම තමයි. මිනිසුන් විසඳා ගත්ත ප්‍රශ්නය නැවත ඇති වීමට පසුබිම සැකසෙමින් තියෙනවා. ඒ නිසාම තමයි මේ මතකයන් ස්මරණය කරන්න ඕනෑ. තමන් ආදරය කළ අය, තමන්ගේ පරම්පරාවේ අය, හිතවතුන්, ජීවිතයේ කොටස් නැතිවෙලා තියෙනවා. ඔවුන්ට ලැබුණ එකම අස්වැසීම තමයි ඒ නැතිවෙච්ච දේවල්, නැතිවෙච්ච පුද්ගලයින් සැමරුම.

ඒ සැමරීම තුළ තමයි ඔවුන් ජීවත්වෙන්නේ. මවකට තමන්ගේ දරුවාව අහිමි වුණාම අවසානය දක්වා ඒ මව ජීවත් වෙන්නේ ඒ ස්මරණයන්, මතකයන් එකක. සමහර විට ඒක පින්තූරයක්, ඒ දරුවා ඇන්ද ඇඳුමක් වෙන්න පුළුවන්. එක ස්මරණ සටහනක් හරි මිනිස්සු තියාගන්නවා. එය මුම්ටාස් මහල් වගේ විශාල ගොඩනැගිලිම වෙන්නේ නෑ. විය යුතුත් නෑ.

සමහර විට එය කුඩා සිහිවටන කුලුනක් වෙන්න පුළුවන්. පොදු සිහිවටනයක් තුළින් පෞද්ගලිකත්වය පොදු බවට පත්වීම සිදුවෙනවා. පොදු සහභාගිත්වය තුළ මිය ගිය අයට, අසාධාරණයට ලක් වූ අයට, අතුරුදන් වූ අයට කිසියම් යුක්තියක් ඉෂ්ට වෙනවා. ඒ ගැන සිහි කිරීමට ඉඩකඩක් ලැබීමම වැදගත් වන්නේ ඒ නිසායි. ඒ හරහා තමයි ලෝකයේ ක්‍රෝධය සමනය වෙන්නෙ. නැත්නම් අපි අතර කවදාවත් අන්‍යොන්‍ය අවබෝධයක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා තමයි මිනිස්සු මැරුණාම සොහොන් ඉදි කරන්නේ.

එවා පවත්වාගෙන යන්නේ. අතුරුදන්වූවන් ගැන සටහනක් අවශ්‍ය වෙන්නේ. අතුරුදන් වෙලා සිටින තාක් කල් ඔවුන්ට සොහොනක්වත් නෑ. අතුරුදන් වූ මිනිසුන් ඉන්න සමාජයකට කවදාකවත් නිදහසක් ලැබෙන්නේ නෑ. ඒක නිසා තමයි කෙනෙක් අතුරුදන් වුණාට පස්සේ ඔහු ගැන හොයා බලලා ඔහුට මොකද වුණේ කියලා හෙළිදරව් කරන්නේ.

දකුණු අප්‍රිකාව වගේ රටවල සමහර ප්‍රශ්න විසඳා ගත්තේ තමාගේ දරුවන් විනාශ කළ ඝාතකයන් එක්ක දෙමාපියන්ට කතාකරන්න ඉඩ සලසලා දීලා. තවමත් ඒ ගිනිපුපුරු ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ඒවා යළි ඇවිළීම සිදු නොවන්න නම් යම් ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලියේදී සැමරුමකට, කලාවට විශාල දෙයක් කරන්න පුළුවන්.

රටේ ජනකොටසක් සමූහ ඝාතනයක් වෙලා, ඔවුන්ගේ ශිෂ්ටාචාරයම විනාශ වෙලා තියෙද්දී යුද්ධයේ ජයග්‍රහණය සමරන්න කිරිබත් කාපු සමාජයකටයි වසරක් වසරක් පාසා ඔබ මේ ප්‍රදර්ශන ඉදිරිපත් කරන්නේ. එහි ප්‍රතිවිරුද්ධ අදහස ප්‍රක්ෂේපණය කරන්නේ. එදා සිට අද දක්වා පැවැත් වූ ප්‍රදර්ශන සඳහා ඔබට ලැබුණු ප්‍රතිචාරය කොයි වගේද?

බහුතරයක් මගේ ප්‍රකාශනයේ ගැඹුර වටහාගෙන තියෙනවා. ජාතිවාදී දෘෂ්ටියක ඉන්න අය තමයි මාව හතුරෙක් හැටියට දැක්කේ. සිවුරුධාරීන් පවා කෑගහලා යුද්ධය කරන්නේ මෙහෙමයි කියලා කියනකොට මම යුද්ධයට එරෙහිව ධම්ම පදය යොදාගෙන ප්‍රදර්ශනයක් කළා. යුද්ධයක් අතරට බුදුන්වහන්සේ වැඩපු ආකාරය ගැන අපට සංස්කෘතික මතකයක් තියෙනවා. බුදුන් යුද්ධය ඇති කරන්න කොයි වෙලාවකවත් කටයුතු කළේ නෑ.

මම හිටියේ වෛරය පතුරුවන පැත්තේ නෙමෙයි. මම ඉදිරිපත් කළේ හා කරන්නේ බුදුන් කියූ අදහස්වලට කිට්ටු අදහසක්. සියල්ලටම වැඩියෙන් මිනිස් ජීවිතය වටිනවා. මිනිස්සු ජීවිතයට ආදරෙයි. මරණයට බයයි. තමාව උපමා කරගෙන හිතන්න. කවුරුවත් මරන්න එපා. මරවන්න එපා කියලා, වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියලායි බුදුන් දේශනා කළේ. ධර්මද්වීපය කියන මේ රටේ ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම්. ධර්මය අනුගමනය කරනවාය කියපු කණ්ඩායම් අවුළවපු එකයි කළේ. මම බැරල්වාදය හඳුන්වා දෙනකොට මිනිස්සු යුද්ධයෙන් හෙම්බත් වෙලා හිටියේ. ඒ කාල වකවානුවේ මිනිසුන්ට සාමය පිළිබඳ යම් අපේක්ෂාවන් තිබුණා.

ජනරාල් කොබ්බෑකඩුව කිව්වේ යුද්ධය පවත්වාගෙන යන්නත්, ඉවර කරන්නත් පුළුවන්. නමුත් මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා. මාගේ කලාවට කෙනෙක් එරෙහි වෙන්න පුළුවන්, ඒත් ඔවුන්ටත් ඇවිල්ලා මේ ප්‍රදර්ශනය බලන්න පුළුවන්. මාගේ මතය සමග එකඟ වෙන්නම ඕනෑ නෑ. සංවාදය වාගේම විසංවාදයත් වැදගත්. මගේ චිත්‍රවලින් මිනිස්සු අවුලවන්නේ නෑ. ඔවුන්ගේ බුද්ධියයි අවුළුවන්නේ.■

-ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර-

උපුටා ගැනීම – අනිද්දා

aithiya

Related posts