ජනතාවගෙන් යට ගසා ඇති බෞද්ධ දේශපාලනයේ තොරතුරු බිඳක්

wesak

මෙවර වෙසක් පුන් පොහොය මුල්කොට ගත් ධර්ම සන්නිවේදන කටයුතු මුළුමනින්ම මාධ්‍ය වෙත පැවරී තිබේ. ඒ අනුව ගුවන් විදුලි, රූපවාහිනී යන විද්යුත් මාධ්‍ය වලින් සේම පුවත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය වලින් ද අනේක විධ ධර්ම කරුණු මහජනතාව වෙත සන්නිවේදනය වන බවක් පෙනෙන්නට ඇත.

එහෙත්, මේවායින් බොහොමයක් පශ්චාත් බුද්ධකාලීන හෝ වෛදික, බ්‍රාහ්මණ, හින්දු, ජෛන ආදී ආගම් තුළින් සේම ජන ආගම් ඔස්සේ පසුව බුදු සමයට සම්ප්‍රේෂණය වූ ඒවා බව පෙනේ. එමෙන්ම මෙහි ඇති විශේෂත්වයක් වනුයේ කිසියම් දේශයක, ජන සමාජයක සමෘද්ධිය, සාදාචාරය ගොඩනංවන බෞද්ධ සමාජ දර්ශනය ඒ කිසිදු ධර්ම දේශනාවකට ඇතුලත් නොවීම ය.

එය බුදු දහම ජනතාවට සන්නිවේදනය කරනු ලබන සියලු පාර්ශ්වයන්ගේ බරපතල අඩුපාඩුවක් බව කිවමනා ය. විශේෂයෙන් මෙවැනි අයහපත් සමාජ, ආර්ථික, දේශපාලන පසුබිමක් පවතින සමයක එම ධර්ම කරුණු රටේ පොදු ජනතාව වෙත සන්නිවේදනය කිරීම ඉතා වැදගත් කටයුත්තක් බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරට පුරවැසියන් ගේ හා සමාජයේ ද සුඛ විහරණය සඳහා බාධාවන්නේ නම් එය, අධාර්මික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකැයි බුදුදහමින් අවධාරණය කෙරේ. රටක ජනවර්ග අතර සම්බන්ධය ද මේ අනුවම තීරණය කළ යුතුව ඇත. විවිධ ජන වර්ගයන් වාසය කරන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එක් ජනවර්ගයකට අහිතකර සේම වෙනත් ජනවර්ගයකට පමණක් හිතකර නොවිය යුතු ය. එසේ වුවහොත් එම ව්‍යවස්ථාව අධාර්මික වෙයි.

එම නිසා සියලුම ජනවර්ගයන් සමානත්වයෙන් සලකා සියලු ජනවර්ගයනට සාධාරණ ලෙස ව්‍යවස්ථාව සකස් කළ යුතු ය. එය දේශයේ භෞමික අඛණ්ඩතාව සේම ජනතා පරමාධිපත්‍යය සුරැකෙන්නක් විය යුතු ය. බුදුදහමෙහි මේ නිසා පරමාදර්ශී පාලකයා තම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහි දී සැමට සම මෙත සම සෙත සලසන ධර්මයම මූලිකත්වයෙහි තබා ක්‍රියා කළ යුතු ය. මෙය “ධම්මාධිපතෙය්‍ය” නමින් හැඳින්වෙයි. බෞද්ධ දේශපාලන දර්ශනයට සම්බන්ධ වන මේ ධර්මය “චක්කවතති වත්ත” හෙවත් සක්විතිවත්, යැයි නම් කොට ඇත. ඒවා දසවැදෑරුම් ය. ඒ සියල්ලෙන්ම අපේක්‍ෂිත කාර්යය චතුෂ්කයක්; එනම් හතරක් ඇත.

(1) ආරක්‍ෂාව, (2) නීති විරෝධී – සමාජ විරෝධී ක්‍රියාවන්ට අවස්ථාවක් නොතැබීම, (3) නිර්ධනීනට ධනය ලැබෙන්නට සලස්වා රටේ ආර්ථික විෂමතා නැති කිරීම (4) උපශාන්ත භාවයට පත් බුද්ධිමතුන්ගේ උපදේශ පරිදි රට පාලනය කිරීම යනු ඒ හතර ය.
දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන අන්දමට එම “දස සක්විතිවත්” (රජ්‍ය ප්‍රතිපත්තිය) මෙසේය:
රාජ්‍ය පාලකයා විසින් පහත සඳහන් අයට නීත්‍යානුකූල ආරක්‍ෂාව සැපයිය යුතු අතර ක්‍රියාපිළිවෙත් ද අනුගමනය කළ යුතුය.
(1). අනෙතා ජනයා හෙවත් රජ පවුල හා වෙනත් අභ්‍යන්තරික අය හා බලකායට
(2). ක්‍ෂත්‍රියයන්ට
(3). අනුයුක්ත-රාජකුමාර ආදීන්ට
(4). බ්‍රාහ්මණ-ගෘහපතියනට
(5). නගර හා රට වැසියනට
(6). ශ්‍රමණ-බ්‍රාහ්මණයිනට
(මෙම ජන සමූහයනට සපයන ආරක්‍ෂාව විවිධ විය හැකිය. ගෘහපතියනට ආරක්‍ෂාව සලසනුයේ බිත්තර වී, නගුල්, ගවයන් ආදිය දීමෙන් යැයි අටුවාවේ (ක්‍රි.ව. 5) කියා ඇත).
(7). සිවුපාවුනට හා පක්‍ෂීනට
(8). රටෙහි අධාර්මික ක්‍රියා වැලැක්වීම පිණිස
(නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියා වලක්වා යුක්තිය හා සාමය රැකීම.)
(9). නිර්ධනීන්ට ධනය ලැබීමට ක්‍රම සැලැස්වීම
(රටෙහි ආර්ථික විෂමතා නැති කොට ආර්ථික සුරක්‍ෂිත භාවය සැලැස්වීම.)

(10). රාජ්‍ය පාලකයා විසින් උපශාන්ත භාවයට පත් බුද්ධිමතුන් ගේ උපදෙස් ලබා ගැනීම
(චක්කවත්ති සීහනාද සූත්‍ර අටුවාවෙහි මෙම බුද්ධිමතුන් ගේ සුදුසුකම් ද විශේෂයෙන් දක්වා ඇත. ඒ අනුව, ඔවුන් මදය හා ප්‍රමාදය බැහැර කළ අය විය යුතු ය. නව විධ මාන, මද, පස්කම් සුව ගැන පමණක් සිත යොමුකර සිටින අය, උපදෙස් ලබා ගැනීමට නුසුදුස්සෝ වෙති. ඔවුන් අධිවාසන හෙවත් අනුන්ගේ මත පිළිගන්නා ඉවසන සුළු, කැපවීමකින් ක්‍රියාකරන අය විය යුතු ය.

නමුදු තම තමන්ගේ පෞද්ගලික සහ පවුල් ප්‍රජා ආදී වශයෙන් වන න්‍යාය පත්‍ර සහිතව ඉදිරිපත් වන පිරිස් රාජ්‍ය පාලන උපදේශකයන් ලෙස යොදා නොගත යුතු ය.)
මෙසේ පරමාදර්ශී රාජ්‍යය පිහිට වූ චක්‍රවර්ති රජු මුළු ලෝකයේ ම එවැනි රාජ්‍යයන් පිහිටුවීමට ක්‍රියාකරයි. ඒ අනුව, ඔහු චතුරංගනී සේනාව හා අනුගාමික ක්‍ෂත්‍රියන් ද පිරිවරා සිවු දිග සියලුම රාජ්‍යයන් තම ධාර්මික ප්‍රතිපත්තියට අවනත කරගනී.

ඔහු සේනාව රැගෙන ගොස් ඒ ඒ රාජ්‍යයන්හි පාලකයනට තම සන්නාහ සන්නද්ධ බලමහිමය ප්‍රදර්ශනය කොට, කිසිදු ලේ වැගිරීමකින් තොරව එම රටවල පාලකයන් කැඳවා තම දැහැමි රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කොට ඒවා ඒ ඒ රාජ්‍යයන්හි ද ක්‍රියාත්මක කරන ලෙස කියා සිටී. එම ප්‍රතිපත්ති පංච විධ ය. ඒවා මෙසේය :
(1). ප්‍රාණීන් විනාශ නොකළ යුතුය. (පාණො නහන්තබ්බා)
(2). නුදුන් දේ නොගත යුත-ුයි. (අදින්නා නාදාතබ්බං)
(3). කාමාස්වාදයෙහි වැරදි ලෙස නොහැසිරිය යුතුය. (කාමේසු න මිච්ඡා චරිතබ්බා)
(4). බොරු නොකිය යුතුයි. (මුසා න භණිතබ්බා)
(5). මධ්‍යසාරය භාවිත නොකළ යුතුයි. (මජ්ජං න පාතබ්බං)

මෙම ප්‍රතිපත්ති ඒ ඒ රටවල රජවරු පිළිගනිති. අනතුරුවම සක්විති රජු, ඒ ඒ රාජ්‍යයන් ඒ ඒ රජවරුනටම පවරා දී පෙර පරිදි රට පාලනය කිරීම අනුමත කරයි. (යථා භූත්තං චභූඤජත). මෙයින් පෙනී යනුයේ සක්විති රජු තමාගේ දේශපාලන අධිකාරය නොව, සදාචාර අධිකාරය  පමණක් එම රාජ්‍යයනට පවරා දුන් බව ය. මෙහිදී ධර්මාශෝක අධිරාජයාගේ “ධර්මවිජය” සංකල්පය සිහිපත් කළ යුතුව ඇත. මේ අනුව බෞද්ධ ග්‍රන්ථවල එන සක්විති රාජ්‍යය රඳා පවතිනුයේ පංචශීල ප්‍රතිපත්තිය මත බව පෙනී යන අතර, ආකෘතියට අනුව එය රාජ්‍යයන්ගේ සමාජයක්  බවත් පෙනී යනු ඇත.

බුදුදහමේ එන චක්‍රවර්ති සංකල්පයට අනුව සමස්ත ලෝකයේ ම ක්‍රියාත්මක විය යුත්තේ පංචශීල ප්‍රතිපත්තියයි. ඒ අනුව, දණ්ඩනය හා අවි ආයුධ භාවිතයක් (අදණෙඩන අසfත්‍ථන) එහි නැත. මාක්ස්වාදී පරමාදර්ශ පාලනයෙහි මෙන් රාජ්‍යය වියළී නොයන නමුදු, දේශපාලන අධිකාරය වෙනුවට සදාචාරයේ අධිකාරය එහි ක්‍රියාත්මක වෙයි. මාක්ස් ගේ කොමියුනිස්ට් සමාජය ක්‍රියාත්මක වනුයේ නිෂ්පාදන මාර්ග පුද්ගල අයිතියෙන් බැහැර කොට පොදු දේපොළ බවට පත් කොට ජනයා ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙනි. එහි සමාජ සම්බන්ධතා පද්ධතිය ගොඩනැගෙනුයේ මෙම ජන සන්තක ආර්ථිකය හා මිත්‍රත්වය පදනම් කොට ගෙන ය.

බෞද්ධ පරමාරදර්ශ රාජ්‍යය පවතිනුයේ ආර්ථික විෂමතා හා අධාර්මික ක්‍රියා රහිත පඤචශීල ප්‍රතිපත්තිය මතය. පඤචශීලය යනු මිත්‍රත්වය හෙවත් මෛත්‍රිය, අවංකභාවය, කාමචර්යා, පද්ධතියේ සංවරණය, සත්‍ය ගරුත්ත්වය හා මානසික සමබර බව පදනම් කොට ගත් ආචාර විද්‍යාත්මක ශික්‍ෂා මාර්ගයකි. ඒ හැරුණු කොට එය බොහෝ ආගම් වල දක්නට ලැබෙන ආගමික මූලධර්ම මාලාවක් නොවේ. පංචශීලය ස්ථාපිත වන සමාජයකට අකමැති සදාචාර සම්පන්න කිසිවෙකුත් මේ මිහිපිට සිටිය නොහැක. එනිසා බුදුදහමෙන් එන පරිදි සමාජ සම්බන්ධතාවන් ගොඩනැංවිය යුත්තේ ද මෙම පඤචවිධ මූලධර්ම මත ය.

මානව හා භෞතික සම්පත් වලින් හිඟයක් නොවූව ද තුන්වැනි ලෝකයේ නව රාජ්‍යයන් දේශපාලන, ආර්ථික හා සාමාජයීය යන දෙඅංශයන්ගෙන්ම සෙසු රටවලට වඩා පසුගාමී තත්ත්වයක පවතින්නේ මන්ද යන්න පිළිබඳව 1980 දශකයේදී ලෝක ප්‍රජාව තුළ පැනනැඟුණු ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඉදිරිපත් වූ සංකල්පයක් ලෙස, යහපාලනය, යන්න හැඳින්විය හැක.

මේ රටවල් සතුව කොපමණ ධනෝපායන සාධක පැවතුණ ද ආර්ථික වර්ධනය මන්දගාමී වී ඒ හේතුවෙන් සමාජ සාධාරණත්වය බිඳවැටී ඇති බවත් හඳුනා ගැනුණු අතර ඊට බලපා ඇති කරුණු ලෙස අනවශ්‍ය ලෙස බලය මධ්‍යගතවීම, පාලනයේ අකාර්යක්ෂම භාවය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ජනතා සහභාගීත්වයක් නොවීම, පාලකයන් වගකීමෙන් තොරවීම, අල්ලස හා දූෂණය ඉහළ යාම වැනි සාධක ඉස්මතුව පෙනිණ.

එබැවින් යහපාලනය යන සංකල්පය ගොඩනැංවීම පිණිස අන්තර්ජාතික සංවිධාන රාශියක් සිය දායකත්වය ලබා දී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන :ඹභෘඡ* ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අතර මූලික වේ. යහපාලනය යන සංකල්පය තුළ ගැබ්වී ඇති මූලික කරුණු කීපයකි.

ඒවා නම්,
1. සහභාගීත්වය 2. නීතියේ ආධිපත්‍යය 3. වගකීම 4. විනිවිද භාවය 5. ප්‍රතිචාරාත්මක භාවය 6. කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී බව 7. සාධාරණත්වය.

සමස්තයක් ලෙස ගත් කළ යහපාලනය යන්න තුළින් අදහස් වන්නේ, ආර්ථික, දේශපාලන හා සමාජ සාධාරණත්වය සුරක්ෂිත කරමින් ජනතා පරමාධිපත්‍යය කුළුගන්වන වඩා පුළුල් ජනතා සහභාගීත්වයකින් යුක්තව ආර්ථීක හා සමාජ සංවර්ධනය ඉහළ නැවීමේ සමාජමය වගකීම් සහිත ක්‍රියාදාමයකි. එහි වර්තමාන සංකල්පයේ සිට ක්‍රියාත්මක භාවය දක්වා කොතෙක් දුරට සද්අභිලාෂයන් තිබුණි ද? තිබේ ද? යන්න පිළිබඳ පෞද්ගලික වගකීම් සහිත ප්‍රකාශයක් කිරීමට අපට නොපුළුවන.

නමුදු බුදුදහමෙහි දැක්වෙන දේශපාලන දර්ශනය නිවැරදිව ක්‍රියාවට නැංවීම තුළින් ජනතා පරමාධිපත්‍යය මුල්කොට ගත් ආර්ථික සහ සදාචාරාත්මක අනභිබවනීය සමාජයක් කෙරෙහි ඉදිරි පියවර රැසක් තැබිය හැකි බව අපගේ විශ්වාසයයි. නමුත් අප රටේ වර්තමානයේ දක්නට ලැබෙන සමාජ, සංස්කෘතික, දේශපාලන අවනතිය අනුව පෙනී යන්නේ බෞද්ධ දේශපාලනය පිළිබඳ අංශු මාත්‍රයක්වත් අප රටේ පාලක කාරකාදීන් තුළවත් පොදු රට වැසියන් තුළවත් නොමැති බවකි.

එමෙන්ම මෙම උතුම් බෞද්ධ දේශපාලන දර්ශනය ජනතාව කෙරේ සඟවා තැබීම පිළිබඳව ද ඊට වඩා විද්වත් අවධානයක් යොමු විය යුතුව තිබේ.

දිවුල්වැවේ ජිනරතන හිමි

Related posts