dead

කොවිඩ් 19 වෛරසය ශරිර ගතවීම නිසා අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අඹු සැමි යුවලක් දින 18 කාල පරතරයක් තුළදි ජීවිතක්ෂයට පත්වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.පසුගිය 29-30 දෙදින තුළ අනුරාධපුර මෙත්සිරි සෙවන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගින් පස්දෙනෙකුට දිවි අහිමිවි තිබුණි.

අනුරාධපුර ගොඩගේ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික යුවලක් අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇති අතර පසුගිය (12දා) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්වි තිබුණි.කොවිඩ් රෝගය වැලදී ඇතත් ඔවුන් ඒ පිළිබදව එතරම් අවධානයක පසුනොවීම නිසා රෝගය උත්සන්න වීමෙන් අනතුරුව රෝහල් ගතකර තිබුණි.

දින 22කට අධික කාලයක් මෙත්සිරි සෙවන කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයාගේ බිරිදත් (30දා) ජීවිතක්ෂයට පත්වි ඇති අතර ඇය සිය සැමියා මියගිය බවක් දැන නොසිට ඇති බව අනාවරණය විය.කොවිඩ් නිව්මෝනියා තත්වයෙන් මියගිය ව්‍යාපාරික යුවල වයස අවුරුදු 60 ඉක්මවූවන්ය.

ඊට අමතරව අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුත් (30දා) දිනයේම ජීවිතක්ෂයට පත්වි තිබුණි.

මියගිය කාන්තාවන් දෙදෙනා අනුරාධපුර හොරොව්පොතාන හා මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.එක් කාන්තාවක් කොවිඩ් රෝගය වැලදී ප්‍රතිකාර අවසන් කර නැවතත් නිවසට ගොස් සිටියදි රෝගය උත්සන්න වීම නිසා රෝහල් ගතකළ කාන්තාවක් බවත් ඇය මසකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ තැනත්තියක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

(30දා) මියගිය සියළුම රෝගින්ගේ සිරුර අනුරාධපුර නිසළ නිම්නය අදාහනාගාරයේදි ආදාහනය කිරීමට අනුරාධපුර මහ නගරස සභාව පියවර ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts