Immigrants UK

එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සිය ගණනක් සංක්‍රමණිකයන් දිගින් දිගටම උත්සාහ දරති. ස්වදේශ කටයුතු කාර්යාලය පවසන පරිදි බදාදා බෝට්ටු 11 කින් 219 දෙනෙකු සහ බ්‍රහස්පතින්දා බෝට්ටු 06කින් 175 ක් එක්සත් රාජධානියට පැමිණ තිබේ.

ජූලි 19 වන සඳුදා අවම වශයෙන් සංක්‍රමණිකයන් 430 ක් දරුවන් ද සමඟ එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇත. එය එක් දිනක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම සංක්‍රමණික අගයයි.

මීට පෙර 2020 හිදී මුළු සංක්‍රමණිකයන්  8,461 ක් සහ 2019 වසරේ දී 45,000 ක් පමණ ජනතාව එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලා ඇත.

මෙසේ එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමණිකයන් බොහෝ  දෙනෙක් තම මව් රටෙහි පවතින යුද්ධයෙන් හෝ හිංසනයෙන් පලා යන සරණාගතයින් වේ. එහෙත් තවත් පිරිසක් නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට පිවිසීමේ බලාපොරොත්තුව සහිතව පැමිණෙන්නන් ය. ඔවුන් අතරින් වැඩි දෙනෙක් සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය වැනි රටවලින් පැමිණ තිබේ.

බොහෝ සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට පැමිණිය හැකි වූ වහාම සරණාගතභාවය ඉල්ලා සිටිති. මෙම ‌සංක්‍රමණිකයන් වෙත සරණාගතභාවය ලබා දීමට නම්, තම ජාතිය, ආගම හෝ දේශපාලන මතය වැනි කරුණු නිසා ඇති වන පීඩාවන් හේතුවෙන් තම මව් රටට ආපසු යා නොහැකි බව ඔවුන් ඔප්පු කළ යුතුය.

අනාරක්‍ෂිත කුඩා බෝට්ටු හෝ ඩිංගි යාත්‍රා වලින් එංගලන්තය සහ ප්‍රංශය අතර ජල මාර්ග තරණය කිරීමට සංක්‍රමණිකයන් උත්සාහ දරති. මෙම ජල මාර්ග ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ග වේ. සංක්‍රමණිකයින් භාවිතා කරන ලොරි, බහාලුම් හෝ දුම්රිය වල සැඟවී සිටීම වැනි වෙනත් විකල්පයන්ට වඩා අඩු අවදානමක් ලෙස  බෝට්ටුවෙන් ගමන් කිරීම දැක්විය හැකිය. නමුත් ඩිංගි හෝ කුඩා බෝට්ටු වැනි ක්‍රම භාවිතා කර මුහුද තරණය කිරීම ඉතා භයානක ය.  එසේම, බොහෝ සංක්‍රමණිකයින්ට මෙසේ ගමන් කිරීම සඳහා අපරාධ කල්ලිවලට විශාල මුදලක් ගෙවීමට සිදුවේ.

නමුත්, එරට රජය කියා සිටින්නේ සරණාගතයින් ලෙස පැමිණෙන ජනතාව තමන් පළමුවෙන්ම ළඟා වූ ආරක්ෂිත රට තුළ සරණාගතභාවය ඉල්ලා සිටිය යුතු අතර තම ජීවිත පරදුවට තබා මෙසේ අනතුරුදායක ලෙස යාත්‍රා නොකළ යුතු බවයි.  එසේම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් මේ වන විට සංක්‍රමණ සහ සරණාගතයින් පිළිබඳ නීති වෙනස් කිරීමට අපේක්ෂා කරන අතර දේශසීමා පනත් කෙටුම්පත හරහා නීතිවිරෝධී සංක්‍රමණිකයන් මැඩපැවැත්වීම සඳහා එක්සත් රාජධානි රජය දිගින් දිගටම පියවර ගනිමින් සිටී. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ බොහෝ බ්‍රිතාන්‍යයන් නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුළු වන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සහාය දක්වන බවයි.

ප්‍රංශය පවසා ඇත්තේ නීති විරෝධී සංක්‍රමණිකයන් රට තුළට ඇතුළු වීම නැවැත්වීම සඳහා  තම වෙරළ තීරයේ පොලිස් මුර සංචාර වැඩි කරන බවයි. කුඩා බෝට්ටුවලින් එක්සත් රාජධානියට යන සංක්‍රමණිකයින් නැවැත්වීම සඳහා එක්සත් රාජධානි රජය ප්‍රංශය සමඟ ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රංශය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම නිසා 7,500 කට අධික සංක්‍රමණිකයින් එක්සත් රාජධානියට ඇතුළුවීම දැනටමත් වළක්වා ඇති බව ද හෙළිවේ.

කෙසේ වෙතත්, රට තුළට ඇතුළු වීම නැවැත්වීමේ එක්සත් රාජධානියේ සැලසුම් සමාජ සේවා ආයතන විසින් විවේචනයට ලක් කර ඇත. මේ නිසා රටේ සරණාගත ප්‍රතිපත්තිය සහ නීති ඉතා දැඩි වුවහොත් එක්සත් රාජධානියේ උදව් අවශ්‍ය පුද්ගලයින්ට එය ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ඔවුන් සැලකිලිමත් වේ.

Similar Posts