poor

දිළිදුකම පිටු දැකීමේ කාර්යය සාධක බලකාය යටතේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ග්‍රාමීය කමිටුවල අදහස් ලබා ගැනීම මේ වන විට සැලසුම් කොට තිබේ.

මුදල් අමාත්‍යංශයේ දැනුවත් කිරීමක් මත  ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබඳව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය අදාල නිලධාරීන් දැනුවත් කිරීම  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් (17) පැවැති මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දි  අදාල නිලධාරීන් දැනුවත් කිරීම සිදුවිය.

මෙහිදී ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කරන බවත් ඒ යටතේ මහජන නියෝජිතයන්, ග්‍රාමීය ප්‍රජා නියෝජිතයන්, ගම නියෝජනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා වඩාත්ම උචිත යෝජනා තීරණය කළ යුතු යැයි ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ මහතා පෙන්වා දුන්නේය.

එක් ග්‍රාමයක් සඳහා රුපියල් මිලියන තුනක මුදල් ප්‍රතිපාදනයක් හිමිවන බව ද ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සැලසුම් අධ්‍යක්ෂ සිසිර අබේරත්න මහතා අදහස් දක්වමින්, මෙම ව්‍යාපෘතිය ආර්ථක සංවර්ධන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදුවන බවත් එහිදී  ඒ ඒ ග්‍රාමීය කමිටු පිහිටුවීම හා යෝජනා ලබා ගැනීම සඳහා මේ වන විට දින වෙන් කර ගෙන ඇතැයි ද සදහන් කළේය.

මහනුවර මහ නගර සභාව, කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්වූහ.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts