අප රටේ කණපිට හැරුණු බුදු සමය ගැන නාඩගම් කාරයන් ගේ කතා

nadagamkarayo

දැනට මාස කිහිපයක සිට සතියේ දින පහේම විකාශය කෙරෙන ‘නාඩගම් කාරයෝ’ ටෙලි වෘත්තාන්තය අප රටේ මෙන්ම විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ගේ විශේෂ අවධානයට යොමු වී තිබේ. ජනප්‍රිය, ප්‍රවීණ කලාකරුවන් දෙදෙනකු වන සද්ධා මංගල සූරියබණ්ඩාර ගේ සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයකින් යුතු මෙය ඇතැම් විචාරකයන් අපේක්‍ෂා කරන අන්දමේ රූපමය කාව්‍යයක් සේ නොපෙනෙයි.

ඒ එම ටෙලි නාට්‍යය පුරාම සරල කැමරා කෝණ භාවිතයෙන් සිද්ධිමය අවස්ථා කෙරෙහි සහ දෙබස් කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම නිසා ය. එහෙත්, එමගින් සරල ලෙස ඉදිරිපත් කෙරෙන සමකාලීන සමාජ යථාර්ථයක් ගැබ් වූ පණිවිඩයක් මුල් කොට මෙම සටහන ලිවීමට අප හට සිත් විය.

නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ සරා නම් ගැමි තරුණයෙක් (සචිත අනුත්තර) සිටියි. ඔහු අප රටේ සෑම ගමකම පාහේ දක්නට ලැබෙන කිසිදු සමාජමය පිළිගැනීමක් නොමැති මාදිලියක් නියෝජනය කරන්නෙකි. නැතහොත් කසිප්පු ජාවාරමේ යෙදෙන්නෙකි. අසංවිධිත සමාජ, ආර්ථික පදනමකින් යුත් ග්‍රාමීය සමාජ තලයේ සුලබව දක්නට ලැබෙන නොවිධිමත් ආදායම් මාර්ග අතරේ නීති විරෝධී මත් පැන් හෙවත් කසිප්පු ජාවාරමට ද මුල් තැනක් හිමි වෙයි.

ඇතැම් විට විවිධ සමාජයීය වරප්‍රසාද පවා හිමි ඉහළ ආදායම් ලාභීන් විසින් මෙහෙයවනු ලබන මෙම නීති විරෝධී මත් පැන් යාන්ත්‍රණය ගම් මට්ටමින් පවත්වා ගෙන යනු ලබන්නේ සම්මත සමාජය විසින් කොන් කළ වරප්‍රසාද අහිමි ඉහත සඳහන් පැළැන්තියම ය. එම යාන්ත්‍රණය නියාමනය කරන වරප්‍රසාද ලත් සමාජ පැළැන්තියට ගරු බුහුමන් කරන අප සමාජය ඉහත සඳහන් ග්‍රාමීය මට්ටමේ නීති විරෝධී මත් පැන් අලෙවි කරන්නවුන් කසිප්පු කාරයන් ලෙසින් හෙළා දකිති. නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ සරා ද එම මාදිලියට අයත් තරුණයෙකි.

එහෙත්, ‘නාඩගම් කාරයෝ’ තුළින් ඉදිරිපත් කරනු ලබන සෙසු සියළු චරිත හා සාපේක්‍ෂව බලන විට සරා යුක්තිය, සාධාරණය සේම සදාචාරය වෙනුවෙන් පෙනී සිටින සැබැවින්ම ගුණ යහපත් තරුණයෙකි. ඔහුගේ චරිතය සම්බන්ධ එකම සමාජමය අපවිත්‍රකාරකය වනුයේ ඔහු තම සඟයන් හා එක්ව හොර සුරා විකිණීමෙන් තම ජීවනෝපාය සරි කර ගැනීම පමණි.

‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයට පදනම් වනුයේ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවක් වෙසෙන සොඳුරු වටපිටාවකින් යුතු පිටිසර ගම්වරයක් බව පෙනෙයි. වර්තමානයේ අප සමාජයෙන් තුරන් වී ගිය ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ ප්‍රජා උපදේශකත්වය මෙම ටෙලි නාට්‍යයෙන් ද හුවා දැක්වෙයි. චර්තමාන නාගරික සහ අර්ධ නාගරික සමාජයන් හි ගම සහ පන්සල අතර ඇති සබැඳියාව ශීඝ්‍ර වියෝජනයකට ලක් ව ඇති අතර අප ජන සමාජයේ පැවැති සාම්ප්‍රදායික පැවිදි ගිහි සබැඳියාවේ බිඳ වැටීමට එම දෙපාර්ශ්වයම සම සේ වග කිව යුතු බව අපගේ වැටහීම ය.

එවන් පසුබිමක් යටතේ මෙම ටෙලි නාට්‍යයෙන් නිරූපණය කෙරෙන සමාජය තුළ ගමේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් ගේ භූමිකාව සේම එම ආගමික සංස්ථා ව්‍යුහය හා බැඳී ක්‍රියා කරන ග්‍රාමසේවක මහත්තයා, ලේකම් මහත්තයා ආදී ගිහි ප්‍රභූන් ගේ භූමිකාවන් ද මනාව චිත්‍රණය කොට තිබේ. එහෙත්, ඉන් පැවසෙන අන්දමට එම ගම්මානයේ වෙසෙන ප්‍රභූන් කසිප්පුකාර සරා මෙන් සැබෑ සුදන ගුණ ඇත්තවුන් නොවේ. ඔවුන් සෑම විටම උත්සාහ කරනුයේ අදටත් අප සමාජය තුළ ඉහළ පිළිගැනීමක් ඇති බෞද්ධ සංස්කෘතික පදනම සන්නාමයක් කර ගනිමින් අනේක විධ ආත්මාර්ථයක් සපුරා ගැනීමට පමණි. මෙය ඉතා වැදගත් සමකාලීන සමාජමය දර්ශකයකි.

මෙම තත්වය ප්‍රාදේශීය, පළාත් සේම ජාතික මට්ටමින් පවා කෙතරම් ව්‍යාප්තව පවතින්නේ ද යන්න ඒ පිළිබඳව විචක්ෂණශීලීව විමසුම් කරන්නකු හට පෙනී යනු ඇත. කිසියම් රටක රාජ්‍ය නායකයන් තමන්ගේ ආගමික කටයුතු සිදුකර ගැනීම හුදෙක් ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා සම්බන්ධ කටයුත්තකි.

එහෙත්, අප රටේ රාජ්‍ය නායකයකු කිසියම් සිද්ධස්ථානයක් වැඳ පුදා ගෙන එහි නාහිමි වරුන් බැහැ දැකීම දවසේ ප්‍රධානතම ප්‍රවෘත්තීන් ගෙන් එකක් සේ හුවා දැක්වෙයි. එහෙත්, එවැනි සිදුවීමක ඇති ප්‍රවෘත්තිමය අගය, වටිනාකම කුමක්ද? එදා මෙදා තුර රට පාලනය කළ බොහෝ රාජ්‍ය නායකයන් මෙලෙස තමන් ගේ ආගමික කටයුතු වලට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් අපේක්‍ෂා කරනුයේ “ඔන්න අපි හරිම ධාර්මිකයි හොඳේ” යන අතිශය ලද බොළඳ පණිවිඩය සමාජය තුළ ප්‍රචලිත කිරීමට නොවේද? එමෙන්ම එදා මෙදා තුර අපගේ බෞද්ධ ජන සමාජයේ භාවිතයට ගැනුණු පිරිත් නූල ’පිරිත් කඹ’ ලෙසින් අත්වල බැඳ ගෙන ජනතාව හමුවට පැමිණීම තුළින් ද “මේ මොන තරම් සද්ධාවන්ත බෞද්ධයෙක් ද?” යන හැඟීම සමාජය තුළ පිබිදෙනු ඇතැයි ඔවුන් සිතනු ඇත. නමුදු ඔවුන් විසින් කරනු ලබන සෙසු ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් අනුව අප සමාජයේ යම් පිරිසකට හෝ වැටහී යන එක්තරා සුවිශේෂ දෙයක් තිබේ.

පිරිත් කඹ

එනම් ඒ ‘පිරිත් කඹ’ බැඳීම ද ඔවුන් ගේ තවත් එක් කපටි කයිරාටික කමක් බව ය. නමුදු අපගේ බොහෝ රාජ්‍ය පාලකයන් ගේ මෙම ආධ්‍යාත්මික කටයුතු සම්බන්ධ ප්‍රකට සේම රහසිගත කොටසක් ද තිබේ. ඒ ඔවුන් විසින් තමන් ගේ ආධ්‍යාත්මික බෙලහීනතාවය අනුව සිදු කරන ගුප්ත මිථ්‍යා විශ්වාස පසුපස ලුහුබැඳ යාම් සහ ඒ සම්බන්ධ උපදෙස් දෙන කට්ටඩියන් සහ මෑණිවරුන් ගේ උපදෙස් මත යම් යම් පූජා චාරිත්‍ර, බාර හාර, පුද පිළිවෙත් වශයෙන් පැවසෙන බහු බූත ක්‍රියා වෙනුවෙන් රහසිගතව අහිංසක ජනතා මුදල් රුපියල් කෝටි ගණන් කාබාසිනියා කිරීම ය.

මීට දශක කිහිපයකට පෙර අප ජන සමාජයේ දක්නට නොලැබුණු මහා පරිමාණයේ අමුතු අමුතු පුද පූජා චාරිත්‍ර මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. විවිධ පූජනීය ස්ථාන මුල් කොට ලක්ෂ ගණන් වන වැඩි සංඛ්‍යාත්මක අගයකින් යුතු යම් යම් දේ පූජා කිරීමෙන් තම ලෞකික ලාභාපේක්‍ෂාවන් මස්තකප්‍රාප්ත වනු ඇතැයි යන මිථ්‍යා විශ්වාසය මේ වන විට අප සමාජය පුරා ශීඝ්‍රයෙන් ඔඩු දුවමින් තිබේ. මෙය ඓහලෞකීයකරණය නම් වන සමාජ ප්‍රපංචය අසීමාන්තිකව ඉහළ නැංවීම මුල් කොට ගත් සමාජමය සංසිද්ධියක් මිස අදටත් අප සමාජයේ බොහෝ දෙනකු සිතන අන්දමට ‘බුදු සසුන බැබලීමක්’ නම් නොවේ. හුදෙක් ලෞකිකත්වය පදනම් කරගත් මෙබඳු යාතු කර්ම, ශාන්ති කර්ම සමාජ විද්‍යාත්මකව හැඳින්වෙනුයේ සුදු අභිචාර යනුවෙනි.

නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ එන එය පසුබිම් වූ ගම්මානයේ කසිප්පු විකුණන සරාගේ චරිතය එහි බෞද්ධ ක්‍රියාකාරීන් ගේ චරිත වලට වඩා උත්තුංග ලක්ෂණ පළ කිරීම මගින් බෞද්ධ විරෝධී අදහසක් පළ වෙතැයි යන හැඟීමක් යමකු තුළ ඇති වීමට පුළුවන. එහෙත්, තමන් ගේ ජීවන වෘත්තිය කුමක් වුවත් චින්තන, චර්යා, සංනිවේදන යන නවීන භාෂණයෙහි එන සිත, කය, වචනය යන තුන් දෙර හික්මවා ගන්නා තැනැත්තා කෙමෙන් බෞද්ධ සාදාචාර මාර්ගයට අවතීර්ණ වන්නකු බව මූලික බුදු සමයේ පැහැදිලිවම දක්වා තිබේ.

මූලික බෞද්ධ දර්ශනයේ ස්නිග්ධ සුගන්ධය විදහා දැක්වෙන ධම්මපදට්ඨ කතා, ජාතකට්ඨ කතා ආදී පොදු ජනතාව වෙනුවෙන් සැකසුණු ජනප්‍රිය සාහිත්‍යංග වලින් වුව තහවුරු වනුයේ ද එම දැහැමි පණිවිඩයයි. එනම් අනේක විධ ඇදහිලි, පිදවිලි ආදී අභිචාරාත්මක අංග ලුහුබඳින්නවුන්ට වඩා චිත්ත දමනය මුල්කොට ගත් සාදාචාරාත්මක චින්තනයකින් යුක්ත වුවත් සැම විටම ශ්‍රේෂ්ඨ වන බව ය. මෙය ‘නාඩගම්කාරයෝ’ මගින් ද එලෙසින්ම ප්‍රකාශ වීම සතුටට කරුණකි.

මීට දින කිහිපයකට ඉහත ඇඹිලිපිටිය ප්‍රදේශයේ එක් මාර්ගයක් මැද තම පැරණි මෝටර් සයිකලය නතර කරගෙන සිටි එක් පුද්ගලයෙක් ඉදිරියෙන් හා පිටු පසින් එන වාහන වලට නතර කරන සේ අතින් සංඥා කරන්නට විය. ඔහු ගේ එම තරමක් අමුතු හැසිරීම දුරදීම දුටු ඉදිරියෙන් හා පසුපසින් වාහන පදවාගෙන එන්නවුන් ද තම වාහනවල වේගය බාල කරන ලද්දේ යම් කුතුහලයකිනි. එවිට ඒ තැනැත්තා එසේ පැමිණි සියල්ලන්ටම පෙන්වන ලද්දේ පාර හරහා යන්නට පැමිණි කිනම් හෝ ආබාධයට පත් වූ තලගොයි පැටවෙකි.

’‘මොනවා වුණත් මේත් ඉතින් ජීවිතයක් නේ” යනුවෙන් පාරේ ඉදිරිපසින් හා පසු පසින් පැමිණි රියැදුරන් හට ආයාචනාත්මකව කී ඔහු එම තලගොයි පැටවාට පාර හරහා මාරුවීමට අවකාශ ලබා දුන් බව ද එම ප්‍රදේශවාසියෙක් මා හා කීය. එහෙත්, එහි විශේෂත්වය වූයේ ඔහු ද ඊට යාබද ගමක කසිප්පු විකිණීමෙන් ජීවිකාව ගත කරන්නකු වීම ය.

රස පූර්ණ, භාව පූර්ණ කලා කෘතියක් වශයෙන් කෙසේ වෙතත් මූලික බුදු සමය හා වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය හා සම්බන්ධ වැදගත් සමාජ කතිකාවක් සන්නිවේදනාත්මක අගයකින් යුතුව ඉදිරිපත් කරන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය කෙසේවත් ලඝු කොට දැක්විය හැකි නිර්මාණයක් නොවේ යැයි අපට සිතෙන්නේ එබැවිනි.

ප්‍රණීත් අභයසුන්දර

Related posts