උඩුගම්පොළ වීරමුණ්ඩ දෙවියෝ වීරප්පුලි පරපුරේ ආදිතමයෙක්ද?

udugmpola

අප රටේ ජනතාව විසින් අදහනු ලබන දෙවි දේවතාවන් ගේ පහළ වීම් දිස්ත්‍රික් වශයෙන් බෙදා වෙන් කිරීමේ යම් නොගැලපීමක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.එහෙත්,ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන ශාස්ත්‍රීය හැදෑරීම් වලදී දේව ඇදහීම් අවශ්‍ය පරිදි දිස්ත්‍රික්ක මට්ටමින් බෙදා වෙන් කර ගැනීමට ද සිදු වීමට පුළුවන.ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය මුල් කොට බිහි වූ පැරණිතම දේව විශ්වාසය කැලණි පුරවරය කේන්ද්‍ර කරගත් විභීෂණ දේව ඇදහීමය.

ඊට අමතරව අප රටේ ජනප්‍රියතම ප්‍රාදේශීය දෙවියා ලෙස නිසැක ලෙසම නම් කළ හැකි රංවල දෙවියන් ද ගම්පහ දිසාව මුල් කොට දේවත්වයට පත් වූවකු බව තහවුරු වී ඇත.

කෝට්ටේ රජ කළ අටවැනි වීර පරාක්‍රමබාහු, හත්වැනි විජයබාහු ආදී රජවරුන්ගේ කාලවල එනම් පහළොස් වැනි සියවසත් දහසය වැනි සියවසත් අතර උඩුගම්පොළ උප රාජධානියේ රජකම් කරන ලද්දේ පසුව අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත් ශ්‍රී ලංකාවේ දක්ෂතම රණකාමී නරපතියකු, විශිෂ්ටතම වාරි ඉංජිනේරුවරයකු සේම විශිෂ්ටතම ගොවියකු වන සකල කලා වල්ලභ රජතුමාය.

ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි නිපුණයකු වූ ඔහු කෝට්ටේ රජ කළ අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසියගේ නැගණියගේ කුසින් උපන් කුමාරවරුන් දෙදෙනාගෙන් අයකු බව පැවසෙයි. ඔහුගේ මළනුවන් වන අනෙක් කුමාරයා වනුයේ සමකාලීනව මාදම්පේ රජ කළ තනියවල්ලභ කුමාරයාය. ඔහු ද දක්ෂතම සටන්කරුවකු, වාරි ඉංජිනේරුවකු සේම ගොවිතැනේ සුවිශිෂ්ටයකු වූ බවට සාධක කොතෙකුත් තිබේ.වර්තමානයේ මාදම්පා ප්‍රදේශයේ තනිවැල්ලේ දෙවියන් නමින් අදහනු ලබනුයේ එම කුමරුවාය.

පිළිගත් සමකාලීන සහ පසුකාලීන මූලාශ්‍රවල උඩුගම්පොළ සකල කලා වල්ලභයන්ගේ විවාහය පිළිබඳ සඳහනක් නැත. නමුදු කළු කුමාර යාදින්න ආදී මූලාශ්‍රවලින් සනාථ වන අන්දමට ඔහු නොසම කුලයක එනම් රජක කුලයේ කාන්තාවක තම අග බිසව වශයෙන් තබාගත් බව දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් 1969 වසරේ ලියන ලද “සකල කලා වල්ලභ උඩුගම්පොළ රජතුමා” කෘතියෙහි සඳහන් වෙයි.

සමකාලීන සමාජ සම්මතයන්ට වඩා තම හෘද සාක්ෂිය වැදගත් කොට සැලකූ සකල කලා වල්ලභ රජතුමා එම කරුණ මත අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසු තමන්ට හිමිවීමට ගිය කෝට්ටේ රාජධානියේ මහ රජකම පවා අතහැර දැමූ බවට අනුමාන කළ හැකි සිද්ධියක් රාජාවලිය ග්‍රන්ථයට පූර්වගාමීව ලියැවුණු අලකේශ්වර යුද්ධය කෘතියේ පවා දැක්වෙයි.

උඩුගම්පොළ කළු කුමාර නමින් දේවත්වයට පත් වන ලද්දේ සකල කලා වල්ලභ රජුගේ දෙටු පුත් මැණික් සාමි කුමරාය. මේ අතර සකල කලා වල්ලභ රජතුමාගේ බාල පුතු කිරි බොන ඈපා කුමරු ද පසුව දේවත්වයට පත් වූ මුත් ඒ වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දුනුමාලේ ගම්වරය කේන්ද්‍ර කර ගනිමිනි.නමුදු අද වන විට කිරි බොන ඈපා ඇදහීමක් දක්නට නොමැති තරම්ය.

අප බොහෝ දෙනකු නමින් අසා පුරුදු කළු කුමාර යක්ෂ හා දේව පුරාවෘත්ත කිහිපයක් ඇත. මෙම සකල කලා වල්ලභ රජ සමයට සමගාමීව උඩුගම්පොළ රාජධානියෙන් මතු වනුයේ එන් එක් පුරාවෘත්තයක් පමණි.එම පුරාවෘත්තය මෙලෙසිනි..

තම මව හා පියා අතර පවතින කුල විෂමතාව අනුව තමන් එවක පැවැති ජන සම්මතයට අනුව ‘භින්න මාතෘක’ නම් කුල අපවාදයට ලක්ව රජකමට නුසුදුස්සකු වන බව දැන ගන්නා රජුගේ වැඩිමහල් පුතු වන මැණික් සාමි සකල කල වල්ලභ රජු මරා රජකම පැහැර ගැනීමට මාන බැලීමේ පුවත කළුකුමාර දේව යාදිනිවල සවිස්තරාත්මකව දැක්වෙයි.

එහි දී ඔහු විසින් කරනු ලබනුයේ පිය රජු ජල ක්‍රීඩා කරන මඟුල් පොකුණේ දිය යට යවුල් සිටුවා තැබීමය. එහෙත් විචක්ෂණශීලි මනසකින් යුතු රජතුමා දියට පැනීමට පෙර දිය මත සිට පරීක්ෂා කරන විට අහඹු ලෙස දිය මතුපිට වසා සිටින මීමැස්සකු දැක රාජ පුරුෂයන් ලවා එම මඟුල් පොකුණ පරීක්ෂා කරවයි. තමන් ඝාතනය කිරීම පිණිස දිය යට අටවා ඇති මර උගුල පිළිබඳව රජතුමන්ට වැටහෙනුයේ ඉන් අනතුරුවය.

ඒ සමගම වහා එම කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ ඇරඹීමට රජතුමන් ගන්නා උත්සාහයත් සමග බියට පත් වන රජුගේ වැඩිමහල් පුතු මැණික් සාමි ඔහුගේ සමීපතම වීරා ද ඇමතියා ද සමග පණ බේරා ගැනීම පිණිස සිරිපා හිමයට පලා ගිය බවත් පසුව එහි දී අත්විඳින ලද අධික දුක් දරාගත නොහැකිව ඔවුන් දෙදෙනාම ශ්‍රී පාද අඩවියේ ඇති කුණුදිය පර්වතයෙන් පැන දිවි නසාගත් බවත් පසුව කුමරු කළු කුමාර ලෙසින් හා වීරා වීරමුණ්ඩ නමින් දේවත්වයට පත් වූ බවත් ජන සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකින්ම සනාථ වෙයි. ඒ අනුව අපට එම දේවත්වය හැඳින්විය හැක්කේ උඩුගම්පොළ වීරමුණ්ඩ පුරාවෘත්තය ලෙසිනි.

බොහෝ දෙවි දේවතාවන් සම්බන්ධ උප්පත්ති කතා කිහිපය බැගින් පවතින බව දැකිය හැකිය. විශේෂයෙන් මුළුමනින්ම දේශීය සම්භවයක් සහිත මොරටු දෙවියන් හට පවා පසුව නිර්මාණය වූ කවි පනස් තුනකින් යුත් යාදිනි කවි මාලාවෙන් භාරතීය ජන්මයක් සහ සම්භවයක් ආරෝපණය කර තිබේ. ඒ එම දේවත්වය ජන සමාජය තුළ වඩාත් ප්‍රචලිත වීම පිණිස අවශ්‍ය ජවයක්, පන්නරයක් වශයෙනි.

එහෙත් මේ අතර ද්විත්වාරෝපණයක් සහිත එනම් එකි`නෙකට වෙනස් අයුරින් ගොඩ නැගුණු දේව සංකල්ප ද අප සමාජයේ දක්නට ලැබේ. කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන වීරමුණ්ඩ උපත නම් ජන කාව්‍යය සහිත පුස්කොළ පොතකින් පැවසෙන අන්දමට අප ජන සමාජයේ බොහෝ දෙනකු දැන හිඳින හා පුද පිළිවෙත්වලට බඳුන් වන වීරමුණ්ඩ දෙවියන් මලල රටේ උපත ලැබ ගල් පහුරකින් යාපනයට පැමිණි අයෙකි. එමෙන්ම එතුමන් රකුසන්ගේ නායකයකු ලෙස ද ඒවායේ දක්වා තිබේ.

එමෙන්ම මෙතුමා කෙතරම් රෞද්‍ර ගති ලක්ෂණවලින් යුක්ත වූයේද යත් කළු කුමාර යක්ෂයාට තරුණියන් මැරීමට බලය දෙනුයේ ද මෙම වීරමුණ්ඩ දෙවියන් විසින් බවට ජන විශ්වාසයක් තිබූ බව දහනව වැනි සියවසේ මෙරට රාජ්‍ය සේවයේ නියුතුව සිටි බ්‍රිතාන්‍ය ජාතික හියු නෙවිල් වාර්තා කොට තිබේ. එහෙත් ඒ උඩරට ජන විශ්වාසයකට අනුව බව පෙනෙයි.නමුදු උඩුගම්පොළ වීර මුණ්ඩ යනු වෙනම සම්භවයකින් යුතු දෙවි කෙනෙකු බැවින් අප ඒ සම්බන්ධයෙන් වෙනම විමසිය යුතුය.

‘‘ඔබ වහන්සේ සකල කලා වල්ලක බාහු රජ්ජුරුවන්ගේ කුමාරයා සැබෑ සන්ත වී නම් සිය රජ්ජුරුවන්ට හදිකං කරවා පතනේ උල් සිටෝලා සලු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත් ගව්ව බලා වදාරලා කුණු දිය පර්වතය පල්ලේ පැන මිය යක් වී වදාරලා…’’යනුවෙන් පැවසෙන කළු කුමාර යාදින්නේ එන සළු අපුල්ලන ඇමැත්තා හෙවත් වීරා මැණික් සාමි කුමරුගේ විශ්වසනීයම මිතුරකු සේම සකල කලා වල්ලභ රජුගේ බිසවගේ ඥාති පරපුර නියෝජනය කළ අයකු බව පෙනෙයි.

උඩුගම්පොළ සකල කලා වල්ලභ රජතුමාගේ වාරි තාක්ෂණික කටයුතුවල කේන්ද්‍රීය ජල ප්‍රභවයක් වී ඇත්තේ සියනෑ කෝරලයේ ඌරුවල් පේරුවෙන් ඇරඹී ජාඇල ලෙසින් මීගමු කලපුවට වැටෙන ඌරුවල් ඔයය.

ඒ අනුව රජතුමා තමන්ගේ කෘෂිකාර්මික කටයුතු නිරීක්ෂණය උදෙසා පාරු මගින් මෙම ඌරුවල් ඔය හරහා නිතර ගමන් කරන්නට ඇත. එමෙන්ම අදටත් පැරණි උඩුගම්පොළ රාජධානය සේම එම ඌරුවල් ඔය ආශ්‍රිත ගම්මානවල ජීවත් වන වීරප්පුලි පරපුර එම බිසවගේ සේම වීරාගේ පරපුර නියෝජනය කරන්නවුන් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකිය.

එහෙත් ගත වූ සියවස් කිහිපය තුළ ගම්පහ දිසාවේ පැරණි වීරමුණ්ඩ දේවාලයන්හි පිදුම් ලැබූ මෙම උඩුගම්පොළ වීරමුණ්ඩ දෙවියන් පිළිබඳ යාදිනි කන්නලව් බොහොමයක් අද වන විට විනාශ මුඛයට යමින් තිබේ.

මීට වසර ගණනකට ඉහත ගම්පහ දිසාවේ එවන් පැරණි වීරමුණ්ඩ දේවාලයක කපු මහතකු වෙතින් උඩුගම්පොළ වීරමුණ්ඩ දෙවියන් සම්බන්ධ පැරණි කන්නලව් යාදිනි සහිත එක්සයිස් පොතක් ලබා ගැනීමට මට හැකි විය.

එහෙත් වසර ගණනක් තිස්සේ දේවාලය තුළ දී වැස්සෙන් දියබත් වීම මත එම පොතේ ලියා තිබූ සියලු කන්නලව් යාදිනිවල තීන්ත සේදී බොඳවී තිබිණ.නමුදු අද වන විට ශීඝ්‍රයෙන් යටපත් වෙමින් පවතින උඩුගම්පොළ වීරමුණ්ඩ දෙවියන් ගේ අනන්‍යතාව ශාස්ත්‍රීය විධි ක්‍රමයන් මඟින් තහවුරු කිරීම නූතන පරපුරේ වගකීමකි.

තිලක් සේනාසිංහ

Related posts