කුඩා දරුවන් අපයෝජනය කරන්නේ මානසික රෝගීන් ද?

ගල්කිස්ස ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් වෙතින් සමූහ අපයෝජනයට ලක්වීමේ සිදුවීම් දාමයක් පිළිබඳව මේ දිනවල විවෘත සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකිරීම මඟින් සංවිධානාත්මක ලෙස සිදු කෙරුණු මෙම අපයෝජන දාමය සමාජයීය වශයෙන් ද විශේෂයෙන් සලකා බැලිය යුතු තත්වයක් නිසා මාධ්‍ය මඟින් ඊට සැලකිය යුතු ප්‍රසිද්ධියක් හිමි කොට තිබේ.

එහෙත්, මෙම සමූහ අපයෝජන දාමය පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙක් මේ සඳහා හවුල් වූ පුද්ගලයන් මානසික රෝගීන් විය නොහැකි ද? යන අනුමානය පළ කරති. එසේ සමූහ අපයෝජනයට ලක් වූ දැරිය ගේ වයස ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් වී තිබේ. එමෙන්ම මෙම අනුමානය පළ කරන්නවුන් ගෙන් වැඩි ප්‍රතිශතය කාන්තාවන් බව ද නොරහසකි. ඊට හේතුව පිරිමින්ට වඩා වෙනස් කෝණයකින් ලිංගිකත්වය සම්බන්ධයෙන් විමසුම් කිරීමේ ස්වභාවික නැඹුරුවක් කාන්තාවන් තුළ පවතින බැවිනි.

මිනිසුන් තුළ පවත්නා බහු විධ රුචිකත්ව සාධකය ලිංගිකත්වය කෙරෙහි ද එලෙසින්ම බලපායි. ප්‍රජනනය සඳහා ඉවහල් වන ප්‍රධානතම සාධකය වුවද ලිංගිකත්වය තුළින් විවිධත්වයක් අත්විඳීමෙන් වැඩි සතුටක්, තෘප්තියක් ලද හැකි බව පොදු විශ්වාසයකි. එහෙත්, එම ලිංගිකාශ්වාදය ලබා ගැනීම පිණිස මිනිසා විසින් අනුගමනය කරනු ලබන අනේක විධ ඉරියව්, ක්‍රම සහ උපාය මාර්ගවලින් කොටසක් අනුගමනය නොකළ යුතු බවට ආගමික සහ සංස්කෘතික තහංචි පැන වී තිබේ.

බුදු දහමේ ‘අධර්ම රාග’ යනුවෙන් හැඳින්වෙනුයේ මෙවන් නුසුදුසු ලිංගික භාවිතයන් බව පෙනේ. මීට අමතරව කිතුනු, ඉස්ලාම් ආගම් වලින් ද ලිංගිකත්වය ක්‍රියාවට නැංවීමේ දී ආචාර විචාර සම්ප්‍රදායන් හඳුන්වා දී තිබේ.

නවීන මනෝ විද්‍යාව අනුව ද ලිංගික විෂමාචාරයන් මුල් කොට ගත් වෙනම මානසික අර්බුද කාණ්ඩයක් හඳුන්වා දී තිබේ. පාරලෝලීත්ව ආබාධ (Paraphilic disorders) යනුවෙන් හැඳින්වෙන මෙම මානසික අර්බුද ලිංගික අවවර්තන (Sexual Perversions) සහ ලිංගික අපගමනය (Sexual deviations) යනුවෙන් ද මින් පෙර හඳුන්වා තිබිණ. තමන්ට සහකරුට හෝ සමාජයට අහිතකර කිසියම් උපක්‍රමයක් භාවිතා කොට යම් සහකරුවකු හෝ සහකාරියක සමඟ නැතහොත් යම් යම් සතුන් හෝ, ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ලිංගික තෘප්තියක් ලබාගැනීමට නතුවීම මෙම පාරලෝලිත්ව මානසික අර්බුද ගණයට අයත් වෙයි.

එහෙත් ස්ත්‍රී පුරුෂ ස්වයං වින්දනය සහ සමලිංගිකතාව එවන් මානසික අර්බුද නොවන බව කිව යුතුය. නමුදු යම් පිරිමියකු ජීවත් වන කතුන් හැරපියා කාන්තා මළ සිරුරු සමඟ ලිංගිකව එක්වීමෙන් සතුටක් ලැබීමට පෙළඹීම ශවලෝලීත්වය (Necrophilia) නමින් හැඳින්වෙන එවන් පාරලෝලීත්ව ගණයේ මානසික අර්බුදයකි. දිගු කලක් තිස්සේ සිදු කරනු ලැබූ කරුණු ගොනු කිරීම් වලට අනුව මෙවන් පාරලෝලීත්ව මානසික අර්බුද පන්සියයකටත් වඩා හඳුනාගෙන තිබේ.

එමෙන්ම මානසික රෝග පිළිබඳ නිර්නායක සහ සංඛ්‍යානමය සංග්‍රහයේ (DSM) සහ ජාත්‍යන්තර රෝග වර්ගීකරණ සංග්‍රහයේ (IDC) විවිධ වෙළුම් වල මෙම පාරලෝලීත්ව මානසික අර්බුද පිළිබඳ නිර්ණායකයන් වෙනස් කොට දක්වා ඇති අවස්ථා ද තිබේ. එමෙන්ම මෙම පාරලෝලීත්ව මානසික අර්බුද බොහෝ විට දැකිය හැක්කේ පුරුෂ පාර්ශ්වය අතුරින් වීම ද විශේෂත්වයකි.

ඉහත සඳහන් ගල්කිස්සේ දැරිය සමූහ අපයෝජනයට ලක්වීම පිළිබඳ සිදුවීම් සම්බන්ධයෙන් පුරුෂ පක්ෂය අබිබවමින් කාන්තාවන් කෙරෙන් ප්‍රබල විරෝධයක් මතු වීමට එම මානසික සාධකය ද ඉවහල් ව ඇති බවක් පෙනේ. එහෙත්, එය පිරිමියා ලිංගිකත්වයෙහි ලා ක්‍රියාකාරී සහකරු වීම සම්බන්ධ ජෛවමය තත්වයක් මිස ඔවුන්ගේ වරදක් නම් නොවේ.

වැඩිහිටි පිරිමින් තුළ පවත්නා පාරලෝලීත්ව මානසික අර්බුද අතුරින් කුඩා දරු දැරියන් සමඟ ලිංගික සබඳතා ඇති කරගැනීම පිළිබඳ ලෝලීත්වය බාලක කාමය (Paedophilia) යනුවෙන් හැඳින්වෙයි. එහි මූලික ම ලක්ෂණය ඔවුන් තමන් ගේ ලිංගික අභිලාෂයන් ඉටුකර ගැනීම පිණිස වැඩිවිය පත්වීමට පෙර වයසේ දැරියන් හෝ දරුවන් තෝරා ගැනීමයි.

මෙහි දී ඒ හා සම්බන්ධ ලිංගික ආවේග ප්‍රවර්ධනය වීම ඒවා ක්‍රියාත්මක කිරීම පිණිස උපාය මාර්ග යෙදීම සහ ඒ ඔස්සේ එම ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනීම යන කරුණු තුනම සලකා බැලෙයි. මීට අමතරව මේ හා සබැඳුණු ඊට වඩා මඳක් මුහුකුරා ගිය දරුවන් සමඟ ලිංගික සේවනයේ යෙදීම සම්බන්ධ පූර්ව යෞවන කාමය සහ (Hebephilia) යෞවන කාමය (Ephcbophilia) යන පාරලෝලීත්ව ලිංගික ලෝලීත්වයන් පිළිබඳව සඳහන් වෙනත් ඒ සියලු දරුවන් වයස අවුරුදු දහසයට අඩු විය යුතුය. නමුදු මෙහි දී පාරලෝලී ලිංගික අර්බුදයන් ලෙස සායනිකවශයෙන් පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්කේ බාලක කාමය බව ද කිව යුතුය.

මනෝ වෛද්‍ය විද්‍යාත්මක පක්ෂය එසේ වුවද 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ අංක 364 වගන්තිය අනුව ව්‍යභිචාරය යන අපරාධමය චෝදනාව යටතේ වයස අවුරුදු දහසයට අඩු දැරියක් අපයෝජනය කළ සියල්ලන් අත්අඩංගුවට ගනු ලැබේ. මෙහිදී එම වයස සීමාවේ දැරියකගේ නම් ‘කැමැත්ත ඇතිව‘ යන සාධකය ද අධිකරණය විසින් නොතකා හරිනු ඇත.

ඒ අනුව එවන් නඩුවක් විභාග වන අවස්ථාවේදී එම ක්‍රියාව විත්තිකරු තුළ පවත්නා මානසික විකෘතියක්, අසාමාන්‍යතාවක් නිසා සිදුවන බවට අධිකරණය වෙත කරුණු ගොනු වුවහොත් විශේෂඥ අධිකරණ මනෝ වෙද්‍යවරයකු හෝ එම විෂය හා සම්බන්ධ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙතින් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් අධිකරණය විසින් ලබා ගනු ඇත.

ඒ අනුව එම විත්තිකරු සැබැවින්ම බාලක කාමය නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නකු ද යන්න පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට එම මනෝ වෛද්‍ය වරයාට සිදුවනු ඇත.  පසුව එම නඩු විභාගය පැවැත්වෙන අතරේ ඒ සම්බන්ධ අධිකරණය හමුවේ විශේෂඥ සාක්ෂි ඉදිරිපත් කිරීමට ද එම විශේෂඥ මනෝ වෛද්‍යවරයාට සිදු වනු ඇත.

මෙවන් අවස්ථාවකදී විත්තිකරු බාලක කාමය නම් මානසික අර්බුදයෙන් පසු වන්නකු ද යන්න නිවැරදිව තීරණය කිරීමේ ද නිර්ණායක උපයෝගී කරගැනීමට මනෝ වෛද්‍යවරයාට සිදුවෙයි. විත්තිකරු ලිංගිකමය වශයෙන් පරිනත වූ වැඩිහිටියෙකු වීම, ඔහු විසින් එම දැරිය අපයෝජනයට ලක් කරන ලද්දේ හුදු අවස්ථානෝචිත තත්වයක් යටතේ නොව බාලක ලෝලීත්වය මත පදනම් වූ හැඟීම් සහ චිත්තාවේග මත පදනම් ව බව තහවුරු කිරීම ඒ අතුරින් ප්‍රධාන ය.

ඊට හේතුව ඇතමුන් ඇතැම් අවස්ථාවන් හිදී ලිංගිකාපේක්ෂාවන් ඉටු කරගැනීම පිණිස වන විකල්ප ක්‍රියාමාර්ග ලෙස මෙවන් කුඩා දරුවන් අපයෝජනය කළ හැකි බැවිනි. එය මිනිස් ආහාරයට සුදුසු ආහාර කිසිත් නොමැතිව කුසගින්නෙන් පෙළෙන අයකු මිනිස් ආහාරයට නොගන්නා සත්ව සහ ශාක කොටස් ආහාරයට ගන්නාක් බඳු තත්වයකි. ‘කන්නට සිතුණු කල කබරගොයා ද තලගොයා කරගැනීම‘ යන පිරුළ ද මේ හා සැසඳෙනු ඇත. සායනික වශයෙන් එය කෙසේවත් බාලක ලෝලීත්වය නම් මානසික අර්බුදය ලෙස නොසැලකෙයි.

විවිධ සමාජ සංස්කෘතික පසුබිම් තුළින් මෙවන් බාලක ලෝලීත්වය නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් හමු වී ඇති අතර ඔවුන් බොහෝ විට  හඳුනා ගැනීමට ලැබෙනුයේ ළමා අපචාර සම්බන්ධ අධිකරණ කටයුතුවලදී වීම ද විශේෂත්වයකි.

එහෙත්, මෙහි මුලින්ම සඳහන් කළ අන්දමට ලිංගික විවිධාංගීකරණය අපේක්‍ෂාවෙන් සෙසු ලිංගික කටයුතුවල යෙදෙන අතරේ කුඩා දැරියන් අපයෝජනය කරන්නවුන් මෙම බාලක ලෝලීත්ය නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් සේ අප වරදවා වටහා ගත යුතු නැත. මෙහිදී ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට ද මනෝ වෛද්‍ය වරයාට සිදුවෙයි. ගත වූ දශක කිහිපයට සාපේක්‍ෂව ලෝකයේ බොහෝ රටවල ළමා ගණිකා ව්‍යාපාරය ශීඝ්‍රයෙන් හිස ඔසවමින් තිබේ.

විශේෂයෙන් ලොව රටවල දිළිඳුකම පිටු දැමීම පිණිස වන නොවිධිමත් උපාය මාර්ගයක් ලෙස ළමා ගණිකා වෘත්තිය ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පිලිපීනය, තායිලන්තය ආදී රටවල සේම ශ්‍රී ලංකාව තුළ ද ප්‍රවර්ධනය වීමේ පැහැදිලි හැකියාවක් තිබේ. විශේෂයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමෝපායක් වශයෙන් නිල නොලත් ලෙස අප රට තුළ ද ළමා ගණිකා ව්‍යාපාර ප්‍රවර්ධනය වීම තුළ ඉහත සඳහන් අන්දමේ ළමා අපචාර සිද්ධීන් අප රට තුළ සාමාන්‍යකරණයට ලක්වීමේ පැහැදිලි අවදානම මනාව වටහා ගෙන එම ඛේදනීය තත්වය වැළැක්වීමේ කාලසීමාව මේ වන විට ද ශීඝ්‍රයෙන් පසුවෙමින් තිබේ.

ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….