රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි..

baddegama-samitha-himi

බද්දේගම සමිත හිමි ලංකා සම සමාජ පක්ෂයේ අවසාන ජනප්‍රිය නායකයා ලෙස හැදින්වුව හොත් එය නිවැරදිය. මහින්ද රාජපක්ෂගේ පාලනයෙන් මුසපත්ව ඔහුට සියළුම අවස්ථාවන්හිදී පක්ෂපාතීත්වයක් දැක් වූ ල.ස.ස.ප යේ තිස්ස විතාරණ කණ්ඩායමේ සිටියද උන් වහන්සේ ජාතිවාදියෙක් නොවීය.

ජාතිවාදයට එරෙහිව සමිත හිමි කවදත් වැඩ කලේය. උන්වහන්සේ වැඩ විසූවේ හැඩිදෙමළ කන්ද දුටුගැමුණු රජමහා විහාරයේ වුවත් ඒ හැඩි දෙමළ කන්දට හැඩි දෙමළ කන්ද යැයි ප්‍රකාශ කිරීමද වරදක් බව උන්වහන්සේ සිය ගම්වැසියන්ට නිතරම ප්‍රකාශ කරන්නකි.

උන්වහන්සේ වැඩ විසූ විහාරස්ථානයේ වෙනත් අධිපති බෞද්ධ භික්ෂුවක් සිටියේ නම් ඔවුන් ජාතිවාදය මත බඩපිනුම් ගසනු ඇත. ජාතිවාදයෙන් දේශප්‍රේමයෙන් ජනප්‍රිය වීමේ නෛසර්ගික හැකියාවක් මේ හැඩිදෙමළ කන්ද දුටුගැමුණු විහාරයේ වැඩ විසූ සමිත හිමියන්ට තිබුණද උන්වහන්සේ කිසි දිනක ජාතිවාදය දේශප්‍රේමය භාවිතා නොකරන ලදී. නූතන අධිරාජ්‍යවාදය හරිහැටි හදුනා ගැනීමේ නොහැකියාවෙන් පෙළුනද ජාතිවාදයට යට නොවීම උන්වහන්සේගේ උතුම් ගුණයකි. ඒ නිසාම අප්පචිගෙ ගාලු පුතාලා පාර්ලිමේන්තු එද්දී උන්වහන්සේට පාර්ලිමේන්තු අසුන අහිමි විය. ඒ ලංකාවේ හැටිය. ජාතිවාදය වැළද නොගත් ඇන්.ඇම්. කොල්වින් ලාට අත් වුනු ඉරණම සමසමාජයේ සමිත හිමියන්ටද අයිති විය.

නමුත් බද්දේගම සමිත හිමියන් රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් විය. ගොඩනැගෙමින් පැවති රාජපක්ෂ මතවාදයේ ජනප්‍රියත්වය සමග හැප්පීමට සමිත හිමියන්ටත් සමිත හිමියන්ගේ පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයටත් නොහැකි විය. එය අනෙක් වාමාංශික සුළු පක්ෂයන්ටත් නොහැකි විය. එසේ හැප්පුනි නම් ඇතැම් විට සමිත හිමියන්ට පළාත් සභාවත් අහිමි වනු ඇත.

සම සමාජයේ ඒ ආකාරයෙන් හැප්පුනු ජයම්පති වික්‍රමරත්න ප්‍රමුඛ කණ්ඩායමට සිදු වුනේ එයයි. බස්නාහිර පළාත් සභාවේ සිටි කීර්ති කාරියවසම්ට යනඑන මන් නැති කලේ රාජපක්ෂට එරෙහි වීම මගිනි. නමුත් කීර්ති, ජයම්පති සහ ලාල් විජේනායක සමග සිය පක්ෂයේ දේශපාලන මතවාදය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගනු ලැබීය. සමිත හිමි ඇතුළු කන්ඩායම එවන් තීරණයක් ගැනීමට නිර්භීත නොවුනි. ඒ නිසා ජාතිවාදී දේශපාලන කදවුරකට අන්‍යාකාරයෙන් සහය දැක්වීමට උන්වහන්සේ ඇතුළු පිරිසට සිදු විය. උන්වහන්සේ පළාත් සභාව දිනුවද දේශපාලනිකව පරාජය වුනේ රාජපක්ෂලාටය.

කාලයක් තිස්සේ විශ්වාස කල ජාතිවාදී නොවීමේ, ඒකාධිපතිවාදයට එරෙහි වීමේ සිය දේශපාලන ස්ථාවරයට හාත් පසින්ම වෙනස් වූ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට සහය දැක්වීමට උන්වහන්සේට සිදු විය. දේශපාලන පදනමක් නැති යූ.ඇන්.පී විරෝධයෙන් හා එක්සත් ජනපද විරෝධයෙන් ගැලවීමට උන්වහන්සේටද නොහැකි වූයේ උන්වහන්සේ රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ නිසාය.

රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බොහෝ වාමාංශිකයන්ට තිබුනේ පුළුල් ආකාරයේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමකට වඩා එක්සත් ජනපද විරෝධයක් පමණී. ඔවුන්ට තිබුණේ ධනේෂ්වර ආර්ථික ප්‍රතිපත්තීන්ට විරුද්ධ වීමට වඩා යූ.ඇන්.පී විරෝධයක් පමණී. සමිත හිමිටද එය උරුම විය.

විධායක ජනාධිපති ධූරයට එරෙහිව වසර ගණනාවක් අරගල කල ලංකා සම සමාජ පක්ෂයේ සමිත හිමි, තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායමට විධායක ජනාධිපති ධූරය ශක්තිමත් කල 18 සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන දෙකටම පක්ෂ වීමට සිදු විය. සමිත හිමි දේශපාලනිකව පරාජය වන්නේ එහිදීය. උන්වහන්සේගේ ජාතිවාදයට එරෙහි ප්‍රතිපත්ති වලට ඉදුරාම වෙනස් වූ ජාතිවාදී සිංහල ස්වෝත්තමවාදී දේශපාලන කදවුරක් පෝෂණය කිරීමට දායක වීමට උන්වහන්සේට සිදු වීම උන්වහන්සේගේ අනෙක් දේශපාලනික පරාජයයි.

රාජපක්ෂලාට දේශපාලනිකව පරාජය වූ සමිත හිමියන් කිසි දිනක ජාතිවාදී නොවීමේ ගුණයෙන් පිරිපුන් විය. උන්වහන්සේ සිය දේශපාලනය සදහා ජාතිවාදය ඈදා නොගත්තේය. හැඩිදෙමළකන්දේ පන්සලේ විසූවද උන්වහන්සේ දෙමළාට මෛත්‍රී කලේය. හැඩිදෙමළ කන්දේ ඉදිමින් එම නමට විරුද්ධ විය. උන්වහන්සේගෙ පන්සල මහාවංශවේ වීරයා වූ දුටුගැමුණුටත් සිංහල ජාතිය ආරක්ෂා කරගත් මහා යුද්ධය වූ දුටුගැමුණු එළාර යුද්ධයටත් සම්බන්ධකම් තිබුණද උන්වහන්සේ කිසිදු දිනක එම තත්වයන් පාවිච්චි කරමින් ජාතිවාදී ලෙස දේශපාලනය කරන්නට ගියේ නැත.

උන්වහන්සේගේ අපවත් වීම හදකම්පා කරවුවද, කොවිඩ් වෛරසයෙන් උන්වහන්සේ අපවත් වීම නිසා උන්වහන්සේගේ නිසල දේහය චිතකය වෙත රැගෙන යනු ඇත්තේ උන්වහන්සේ සැමදා ආදරය කල පීඩිත මිනිසුන් විසිනි. එසේ නොවුනේ නම් උන්වහන්සේගේ දේහය රැගෙන යනු ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ අමු ජාතිවාදීන් පිරිසකගේ කරමතිනි.

දුලාන් දසනායක

Related posts