මෙරට දේශපාලනයෙන් සුන්බුන් වන බෞද්ධ සදාචාරය නඟා සිටුවන්න බැරි ද?

sadacharaya

වංශ කතා මූලාශ්‍ර වලට අනුව සිරිලක තුළ බුදු සමය ස්ථාපිත වී මේ වන විට වසර දෙදහස් තුන්සිය තිහකට ද ආසන්න ය. ඒ මහින්දාගමනය ක්‍රි. පූ. 308 හෝ 307 වැනි වසරක සිදු වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකි බැවිනි. ඒ අනුව එවක අප රට පාලනය කළ දේවානම්පියතිස්ස නිරිදුන් ප්‍රමුඛ රාජකීයයන් පන්සිල් සමාදන් වීමෙන් බුදුසමය වැළඳ ගත් බව මහාවංශ 14 වන පරිච්ඡේදයෙන් පැවසෙයි. නමුදු එදා මෙදා තුර අප බෞද්ධ සමාජය තුළ හුදු සම්මතයක්ව පවතින පන්සිල් අදටත් නිසි පරිදි රැකේ ද යන්න බරපතල පැනයකි.

පන්සිල් රකින සමාජයක් යනු පන්සිල් සුරැකෙන දේශපාලන, ආර්ථික ප්‍රතිපත්තියක් අනුව සංවර්ධනය වූ සමාජයකි. මෙවැනි සමාජයක් ඇති කරන්නට රාජ්‍ය පාලකයන් ද පන්සිල් පදනම මත කටයුතු කළ යුතුව ඇත. පන්සිල් රකින්නට නම් ඒ සඳහා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ පළමුව ලැබිය යුතු ය. බුද්ධ රත්නයේ සරණ ලැබිය හැක්කේ බුදු ගුණ සිහිපත්කර බුදු ගුණ හදාරා ඒ අනුව ජීවිත හැඩගසා ගන්නට අවස්ථාව සලසා දීම තුළින් බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් බුද්ධ, ධම්ම, සංඝ යන්න පිළිබඳව මීට වඩා පුළුල් සමාජමය අර්ථ කථනයක් තිබේ.

එනම් බුද්ධ යනු බුද්ධිය ලෙසත් ධර්ම යනු ධාර්මික බව ලෙසත් සංඝ යනු සාමූහිකත්වය ලෙසත් අර්ථ ගැන්වීමෙනි. ඒ අනුව එම තෙරුවණෙහි පිහිටීමට සදාචාර සම්පන්න කිසිවෙකුත් පසුබට විය යුතු නැත. පන්සිල් යනු බුද්ධ දේශනාවකැයි බොහෝ දෙනෙක් සිතති. නමුත් එය බුද්ධ කාලයට පෙර සිට ලෝක වජ්ජ යනුවෙන් සම්මත පොදු සදාචාර ධර්ම පද්ධතියකි.

බුදුන් වහන්සේ විසින් කරන ලද්දේ තමන් විසින් දේශනා කරන ලද චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගයේ ප්‍රවේශය ලෙස පංචශීලය බුදු දහම තුළ ස්ථාපිත කිරීම පමණි. නමුත් අද වන විට අප රට සම්බන්ධයෙන් පැහැදිලිවම කිව හැක්කක් තිබේ. එනම්, බුදුදහමින් අනුමත පංචශීල ප්‍රතිපදාව මේ වන විට රාජ්‍ය මට්ටමේ සිට බරපතල ලෙසින් ගරා වැටෙන බවකි.

කිසියම් රටක පංචශීල ප්‍රතිපත්තිය නොතකා සංවර්ධන කටයුතු කෙරෙන්නේ නම් එම සංවර්ධනය හුදෙක් භාණ්ඩ සුලභ කිරීමක් හා අතිපරිභෝජන භාවිතයක් වේ. තිරසාර භෞතික සම්පත් පෝෂණය වීමක් වෙනුවට මායාකාරී ලෙස භෞතික සම්පත් භාවිතයට ගන්නට මිනිසුන් වැඩි වැඩියෙන් පෙළඹවීමක් පමණි.

මෙය වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයේ ද මනාව කැපී පෙනෙන තත්වයකි. එමෙන්ම මෙය දේශපාලනික දුබලතාවයක් නිසා හට ගන්නා එකක් බව බුදු දහමින් තහවුරු කෙරේ. මෙය සංවර්ධනය ලෙස අවධාරණය කරනු ලැබුව ද මෙයින් මිනිස් වර්ගයාට අත්වන සුගතියක් නැත. ඒ බව අද සමාජය තුළ ඇතිවෙමින් පවත්නා අනේක විධ ප්‍රශ්න හා ගැටළුවලින් මොනවට පැහැදිලි වේ. මෙම තත්ත්වය නිසා මිනිසුන් ලෝභ, ද්වේශ, මෝහ යන අගතීන්ට පැමිණ අන්ධයින් බවට පත්වෙමින් ඇත. සාහසිකයින් හා තිරිසනුන්ගේ තත්වයට පත් වෙමින් ඇත.

මානසික රෝගීන් බවට පත් වෙමින් ඇත. මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ අන් කිසි හේතුවක් නිසා නොව පංචශීල ප්‍රතිපත්තිය මත පදනම් වූ සැබෑ සතුට, සැනසුම මත පදනම් වන ජීවන දර්ශනය නොතකා හැරීමත් හුදෙක් ද්‍රව්‍යමය වශයෙන් ඇති කරන පංචකාම සම්පත් මත පදනම් වූ සුඛාස්වාදය හුදෙක් ජීවන පරමාදර්ශයක් ලෙස සැලකීම නිසා ය. එක් සුවපහසු මෙට්ටයක් මත නිදා ගැනීමෙන් ලැබෙන සුවය එකපිට තැබූ එවන් මෙට්ට හතක් මත නිදා ගැනීමෙන් හත් ගුණයකින් වැඩිවන බවක් වැනි අන්ධ විශ්වාස නූතන සමාජයේ බහුලව දක්නට ලැබේ. ඒ අනුව  පරිභෝජනයන් හිදී පමණ දැන (මතඤ්ඤු) යන බෞද්ධ ආකල්පය නූතන සමාජය හමුවේ අවලංගු  සාධකයක් බවට පත්ව තිබේ.

අද නිෂ්පාදන බොහොමයක් කෙරෙන්නේ මිනිසුන් හා සතුන් ගේ යහපැවැත්මට බාධාවන් එල්ල වන ලෙස ය. ඔවුන් අර්ථ කථනය කරන්නේ අවි ආයුධ, වස විස යනාදී මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ මනුෂ්‍ය යහපත හා ආරක්ෂාව සඳහා බව ය. මිනිසා විසින් මිනිසා ඇතුළු අප ජීවත් වන ලෝකයේ ආයු කාලය කෙටිකර ගන්නට රුකුල් දෙන දැනුම හා මෙවලම් ලොව පුරා පතුරුවා හරිමින් ඇත.

මේ නිසා ඊනියා ලෙස සංවර්ධනය කරගත් මෙවලම් පරිහරණය කරමින් ලොව පුරා මිනිස් ඝාතන, සත්ත්ව ඝාතන, තුරුලතා වනසා දැමීම, මහ පොළොව සේම සාගරය සූරා කෑම, ජාත්‍යන්තර මට්ටමට වැඩි දියුණු වී ඇත. පසුගිය දා කොළඹ වරාය ආසන්නයේ දී අනතුරට පත් නෞකාවේ තිබූ විස රසායනික තොගය මිනිසා විසින් මිනිසාගේ යහපත පිණිස නිපදවන ලද ඒවා බව සිතට එකඟව අපට පිළිගත හැකි ද?

සොරකම යනු වත්මන් සමාජ පරමාදර්ශයක් බවට පත්ව තිබේ. අද මිනිසා අනුන්ගේ දේ පැහැර ගැනීම සම්බන්ධයෙන් මානව ඉතිහාසයේ අන් කිසිදු කලෙක සිදු නොකළ ක්‍රියාත්මක භාවයක් පළකරයි. රාජ්‍යයක පාලන තන්ත්‍රය වන දේශපාලනය සම්බන්ධයෙන් හොරකම යන වචනය ආදේශ වීමම ඒ රට විනාශ මුඛයට පැමිණවීම හඟවන අනතුරුදායක පෙර නිමිත්තකි. අප රටේ වර්තමානයේ පැනනැඟී ඇති රටකට කෙසේවත් ඔරොත්තු නොදෙන ආර්ථික පරිහානියට හේතුව බාහිර සාධක බවට දේශපාලනඥයන් කොතෙකුත් කරුණු ගෙන හැර දැක්වුව ද මෙහි මූලය සොරකමම බව අතිශයින් පැහැදිලි ය.

ඒ අනුව වර්තමානයේ සිදුවන මහා පරිමාණ සොරකම්, අල්ලස්, දූෂණ පිටුදැකීම පිණිස එම පුද්ගලයන් බලයෙන් පහකිරීමට වඩා ඒ සඳහා වන සියලු දේශපාලනික හැකියාවන් ව්‍යවස්ථාදායකයෙන් ඉවත් කළ යුතු ය. අතීතයේ සොරකම, දිළිඳු බව නැති බැරිකම ආශ්‍රිතව බැඳී තිබූ බව දීඝනිකායේ කූටදන්ත ආදී සූත්‍ර වලින් තහවුරු කෙරේ. නමුදු අද වන විට රාජ්‍ය පාලකයන් සේම මහා පරිමාණ සමාගම් කරුවන් ද තමන්ගේ පාරිභෝගිකයන් අයුතු ලෙස ගසා කන බව පෙනේ. නිදසුනක් ලෙස ඇතැම් දුරකථන ජාල මගින් ඒවා පරිහරණය කරන්නවුන්ගේ මුදල් ගසා කන බවට තම ප්‍රායෝගික අත්දැකීම් මගින් ජනතාව කරනු ලබන ප්‍රකාශ මුළුමනින් නොසලකා හැරීමට නොපුළුවන.

කාමමිච්චාඡාරය ද නූතන සමාජයේ මූලික පරමාදර්ශයකි. ලිංගිකත්වය සඳහා වර්තමානයේ ඇත්තේ පුළුල් සමාජමය ඉල්ලුමකි. ඒ ඔස්සේ විවිධ පරාසයන් දක්වා විස්තාරණය වන මෙහි තත්ත්වය ආචාර විචාර සම්ප්‍රදායයන් සුණු විසුණු කොට සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනු දක්නට පුළුවන. අනාචාරය යනු සම්මත සමාජය විසින් පිළිකුලින් හෙලා දැකිය යුත්තක් වන අතර අද වන විට ප්‍රකට ස්ත්‍රී පුරුෂයන්ගේ අනාචාරය පොදු සමාජය රස විඳින මාතෘකාවක් බවට පත්ව තිබේ.

මීට අමතරව සමාජයේ ජනකාන්ත තත්වයට පත් ගණිකාවන් සහ ඔවුන් අලෙවි කරන පුද්ගලයන් වටා විශාල ධනස්කන්දයන් ඒකරාශී වීම මත ඔවුනට ද පෙර නොවූ විරූ සමාජමය ඇගයුමක් හිමි වන බව පෙනේ. මේ සම්බන්ධයෙන් විවෘතවම කතා කළොත් රූප සුන්දරී තරඟ, ටෙලි නාට්‍ය ආදී ක්‍ෂේත්‍ර තුළින් ද මෙම කාමමිච්චාඡාර සංකල්ප ප්‍රවර්ධනය වෙමින් තිබේ. මෙය අනාගතයේ අප සමාජය කිසිදු සාදාචාරාත්මක පදනමකින් තොරව තිරිසන් සමාජමය තත්වයක් කරා යොමු කරවන්නක් බව දීඝනිකායේ චක්කවත්තී සීහනාද ආදී සූත්‍ර වලින් පැහැදිලි කර ගත හැක.

කවුරුන් කෙසේ කීවද බොරුව යන්න ද නූතන සමාජයීය පරමාදර්ශයකි. අතීතයේ යම් යම් පුද්ගලයන්ගේ ප්‍රකාශ පිළිබඳව සඳහන් කරද්දී ‘තාරබර ඇරලා තමයි ගන්න ඕන’ යනුවෙන් සඳහන් කෙරිණ. එහෙත්, වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදුකෙරෙන කතාබහ වල ‘තාරබර හැර වෙන කිසියම් බරක් තිබේදැයි’ යන්න අප විමසා බැලිය යුතු ය.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට විවිධ අත්භවයන්හි මිනී මැරුම්, සොරකම්, මංපැහැරීම් ආදියට පවා සම්බන්ධව සිටි බෝසතාණන් වහන්සේ කිසිදු දිනයක සිදුනොකළ එකම පාපය බොරු කීම පමණක් බව ද බෞද්ධ පොත පතෙහි දැක්වෙයි. ඒ අනුව සත්‍යය සහ බුද්ධත්වය අතර සෘජු සබැඳියාවක් දක්වා තිබේ. එහෙත්, අද බහතෝරන වියේ සිට දරුවන්ට බොරු කීමට මාපියන් විසින් ම පොළඹවනු ලැබීම බරපතල සමාජ ඛේදවාචකයකි.

කුඩා දරුවකු පාසලට ඇතුලත් කිරීමේදී සිදුකරන සම්මුඛ පරීක්‍ෂණවලදී බොරු කියන ලෙස දරුවන්ට ඔවදන් දෙන්නෝ ද මාපියෝම ය. එහෙත්, ඔවුන් තම දරුවන් එවන් සදාචාර විරෝධී ක්‍රියාවන් සඳහා යොමු කරනුයේ පවත්නා සමාජ, දේශපාලන ක්‍රමයෙහි ඇති අබල දුබල තාවයන් පිණිස නොවේ ද යන්න අප වෙසෙසින් සිතා බැලිය යුතු ය.

පසුගිය කොරෝනා වසංගතය වෙනුවෙන් රජය මගින් දෙනු ලැබූ රුපියල් පන්දහසේ දීමනාව මගින් මෙරට බොහෝ දෙනෙකු තම මත්පැන් අවශ්‍යතා සපුරා ගත් බව මේ වන විට අනාවරණය වී තිබේ. එසේ එම මුදලින් මත්පැන් බී තම සොයුරා ඝාතනය කළ පුද්ගලයෙකු පිළිබඳව ද ජා ඇල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

මෙරට මත් පැන් පරිභෝජනය පුද්ගල කේන්ද්‍රීය වරදක් හෝ දුබල කමක් බව නිසැක ය. එහෙත්, එලෙස මිනිසුන් තම සිහිය විකල් කරගැනීමට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන පෞරුෂ, පවුල්, ප්‍රජා සහ සමාජමය සාධක ද ඉවහල් නොවන්නේ යැයි කීමට නොපුළුවන. මෙය වෙනම විග්‍රහ කළ යුතු තත්වයකි.

මෙවන් තත්වයක් යටතේ උදා වන පොසොන් උත්සවයේ දී රාජ්‍ය නායකයන් විසින් බෞද්ධ සදාචාර ධර්ම කසල ගොඩට හෙළා සිදුකරනු ලබන ‘නර නාටක’ වලට ජාතික මට්ටමෙන් ප්‍රසිද්ධියක් ලැබෙමින් තිබේ. මීට අමතරව මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් මෙහෙයවනු ලබන ජනමාධ්‍ය භාවිතයේදී මෙම කටුක යථාර්ථය යට පත් කොට මිහිරි හඬින් කවි ගී ගයමින් ජනතාව හමුවේ අනේක විධ රංගනයන් ඉදිරිපත් කරන භික්‍ෂු වෙස් ගත් ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගේ හැසිරීම් අතිශය ජුගුප්සා ජනකය.

මෙරට ජීවත් වන සෑම පුරවැසියෙකුගේම නිරවුල්, සංතීක්‍ෂණ අවධානය මෙම සමාජ අර්බුදය කෙරෙහි යොමු නොවන්නේ නම් පොසොන් උත්සවය ද ශ්‍රී ලංකා රාජ්‍යය නමැති පස් පවින් කිලිටි වූ මෙම අපායගාමී සැණකෙළි භූමියේ තවත් එක් වෙළඳ කුටියක් පමණක් වනු ඇත.

දිවුල්වැවේ ජිනරතන හිමි

Related posts