මිනී මරන ලේ වගුරන දෙහි කැපීම්

dehikapima

‘දෙහි කැපීම’යන්න ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරුපුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ සාම්ප්‍රදායික දෙහි කැපීම මුල් කර ගත් අලුත් විලාසිතාවක්, නව පන්නයක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක කළමණාකාර සහකාර වරියක ලෙස සේවයේ නියුතු දෙදරු මවක වන දීපිකා සමන්ති මහත්මියයි.

“අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට ඇස්වහ-කටවහ තියෙනවද බලන්න දෙහි කපන තැනකට යනවා. එතැන දෙහි කපන මනුස්සයා තමන්ගෙ අතේ ඇඟිලි දෙකක් ගිරයක් වගේ පාවිච්චි කරලා දෙහි ගෙඩිය දෙපලු කරනවලු.

ඒත්, පුදුමේ කියන්නේ ඒ මනුස්සයා දෙහි ගෙඩියට මතුරලා දරුවෙකුගේ ඔළුවට ගිරේ තියලා දෙහි කපනකොට ඒ දරුවට බරපතළ විදිහට ඇස්වහ-කටවහ තියෙනවා නම් ඒ දෙහි ගෙඩියෙන් ලේ මතුවෙනවලු. මම නම් ඕව ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. ඒත් දෙහි ගෙඩියක් ඇතුළෙන් ලේ මතුවෙන එක නම් මටත් ලොකු ප්‍රශ්නයක් තමයි.”

ඉන්පසුව ඇය ඒ සම්බන්ධයෙන් හෙළිකරන ලද්දේ ඊට වඩා අතිශය බරපතළ කරුණකි.

“(ගම්පහ නගරයේ ජනප්‍රිය පාසලක්) දරුවෙකුගේ අම්මා කෙනෙක් පහුගිය සාමාන්‍ය පෙළ විභාගයට සති දෙකකට විතර කලින් ඔය කියන තැනට ගිහින්. ඒ වෙලාවේ කපපු දෙහි ගෙඩිවලින් පුදුම විදිහට ලේ මතුවෙලා තිබුණා. ඒ එක්කම ඒ දෙහි කපපු මනුස්සයා කිව්වලු;මේ වගේ ඇස්වහ-කටවහ දෝෂ තියෙන දරුවෙක් විභාගෙට යනවට වඩා හොඳයි ගෙදර තියාගන්න එක කියලා. මේ ඇස්වහ-කටවහ දෙහි කපලා දුරු කරගන්න පුළුවන් ඒවා නෙවෙයි කිව්වලු.

කැමති නම් ඒ දෝෂ දූරි භූත කරලා පෙන්නන්නම්, මට මේ වැඩේට සල්ලි එපා හැබැයි පූජා භාණ්ඩවලට නම් රුපියල් තිස්දාහක් විතර යනවා මට ඒ ගාණ විතරක් දෙන්න කිව්වලු. කොහොමහරි මේ සිද්ධියෙන් පස්සේ ඒ දරුවගෙයි අම්මගෙයි මානසිකත්වය බින්දුවටම වැටිලා. ඒ විතරක් නෙවෙයි ගෙදර ගිහින් සිද්ධිය කිව්වට පස්සේ දරුවගෙ අත්තම්මා ප්‍රෙෂර් වැඩිවෙලා ඉස්පිරිතාලෙට අරගෙන ගියාම පහුවෙනිදා මැරිලා. ඒ අය හිතනවලු ඒ මරණයට හේතුවත් දරුවගේ ඇස්වහ-කටවහ කියලා.”

මේ කතාව මෙම දෙහි කැපීමේ අලුත් විලාසිතාව මුල්කොට එදා මෙදා තුර අප රටේ සිදුවූ එකම ඛේදවාචකය යැයි මම නම් කෙසේවත් නොසිතමි.

මීට දශක කිහිපයක් තෙක් ග්‍රාමීය සමාජය තුළ කේන්ද්‍රගතව තිබූ මෙම ඇස්වහ-කටවහ පිළිබඳ ගුප්ත විශ්වාස අද වනවිට ශ්‍රී ලංකාවේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ මුල්කොටගෙන ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මෙම විපරීතය කොතෙක්ද යත් මෙම විෂය මුල්කොට 2018 වසරේදී “ඇස්වහ-කටවහ-වහදොස් පිළිබඳ සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක්” යනුවෙන් වෙනම කෘතියක් සම්පාදනය කිරීමට පවා මට සිදුවිය.

අප ජන සමාජයේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව අණ-වින, හදි-හූනියම් මෙන් ඇස්වහ-කටවහ කිසිසේත් මරණීය ප්‍රතිඵල උදාකරන ගුප්ත දෝෂයක් නොවේ. එමගින් සිදුවනුයේ යම් පුද්ගලයෙකුගේ සුබ සිද්ධිය, දියුණුව අඩාල වීම, අලස භාවය, නිදිමත ආදිය මුල්කොටගත් නිරන්තරව පවත්නා සුළු මනෝ කායික ආබාධ කිහිපයකි.

තරුණියන්ගේ නම් රූමත් බව අඩුවීම, කුඩා දරුවන්ගේ නම් ඇස්වහ බිබිලි යනුවෙන් හැඳින්වෙන කුඩා බිබිලි ඇතිවීම ආදිය සිදු වන බව සාම්ප්‍රදායික ජන විශ්වාසයයි. පුද්ගලයන්ට අමතරව නවීන ගේ දොර, ගොඩනැගිලි, යානවාහන ආදියද ඇස්වහ-කටවහ දෝෂවලට ලක්වන බවට ගුප්ත විශ්වාසයක් අප සමාජයේ පැතිර තිබේ.

නවීන සමාජය තුළ නිසි දැනුමක් නොමැති වුවද වතුර මැතිරීම (දකුණු පළාතේ නම් අත්තගහ මැතිරීම) සහ දෙහි කැපීම් ආදී වශයෙන් සිදුකෙරෙන මූලික ශාන්තිකර්ම ගෘහස්ථ ශාන්තිකර්ම ගණයට අයත් වේ. මෙවන් ගෘහස්ථ ශාන්තිකර්ම පිළිබඳ සාම්ප්‍රදායික දැනුම් සම්භාරකින් යුතු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ පදිංචිව සිට නැසී ගිය පියදාස විද්‍යාරත්න (විපුලසේන) මහතා කී අන්දමට වතුර මැතිරීම්, දෙහි කැපීම් ආදිය බුදු ගුණ ශාන්තිය නමින් හැඳින්වෙන ශාන්තිකර්ම වන අතර, එය සිදුකරන තැනැත්තාගේ සිල්වත්, ගුණවත් බව අනුව එම ශාන්තිකර්මවල ප්‍රතිඵල ද විශිෂ්ඨත්වයට පත්වෙයි.

හත් අඩියේ දෙහි කැපීම නම් වන ශාන්තිකර්මය සිදුහත් කුමරුන්ගේ පියුම් පිට වැඩීම සංකේතනය කරන්නකි. සාමාන්‍ය දේවාල කපුවන් හෝ යක් ඇදුරන් නොවන ගිහි පිරිත් ආදියට සම්බන්ධ වන නිර්මාංශාහාරික පුද්ගලයන් මෙම වතුර මැතිරීම්, දෙහි කැපීම් සඳහා වඩාත් සුදුසු බව අප සමාජයේ සාම්ප්‍රදායික ජන විඥානයේ පවතින බවට විද්‍යාරත්න මහතා කළ එම ප්‍රකාශය ද මගේ ඇස්වහ-කටවහ කෘතියට ඇතුළත්ව තිබේ.

එවන් පසුබිමක් යටතේ ඉහත සඳහන් සාම්ප්‍රදායික විශ්වාස උඩු යටිකුරු කරමින් විවිධ කපටි කෛරාටිකයන් විසින් අටවාගනු ලබන දේවාලවල සිදුකරනු ලබන මෙම ලේ වගුරන දෙහි කැපීම් යනු හුදෙක් එම සාම්ප්‍රදායික ශාන්තිකර්මය ගණිකා වෘත්තියේ යෙදවීමකි. මෙහිදී ඔවුන් සිදුකරනුයේ එලෙස තමන් වෙත පැමිණෙන්නවුන් තුළ ඇස්වහ-කටවහ ඇති බව සනාථ කෙරෙන ප්‍රෝඩාකාරී මවාපෑමකි. එමගින් එසේ පැමිණෙන්නවුන් බයට පත්කරන මනෝවිද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවකි.

මෙසේ දෙහි කැපීමේදී දෙහි ගෙඩි තුළින් ලේ මතු කරගැනීමේ ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එසේ දෙහි කැපීමට යොදාගනු ලබන ගිරයේ වදමල් ඉස්ම හෝ එවැනි රත් පැහැති යමක් ගල්වා ගිරය වියැළෙන්නට තැබීම ය. පසුව එම ගිරය යොදාගෙන කරනු ලබන දෙහි කැපීමකදී එහි අභ්‍යන්තරය රතු පැහයෙන් දිස්වීම අරුමයක් නොවේ.

මීට අමතරව ඖෂධ එන්නත් සඳහා යොදාගනු ලබන සිලින්ජරයක් මගින් දෙහි ගෙඩියක් තුළට රත් පැහැති දියරයක් විදීමෙන්ද කපන දෙහි ගෙඩිය තුළින් ලේ මතුකොට දැක්විය හැක. ඊටත්අමතරව දෙහි ගෙඩියක් ගෙන එය වටා එකිනෙකට ගෑවෙන දුරින් කවාකාරව අල්පෙනිත්තියකින් සිහින් සිදුරු විද දෙහි ගෙඩිය අතින් පොඩිකළ විට සිදුරු වැසී යයි. පසුව එම දෙහි ගෙඩියක් ඇඟිලි දෙකක් අතරට සිර කරගෙන එම සිදුරු අනෙක් අතේ ඇඟිලිවලින් තෙරපීමට ලක්කළ විට ලෙල්ල ඉවත්වී දෙහි ගෙඩිය දෙපළු වෙයි. මෙය හරියට බිල් පොතකින් බිලක් වෙන්කරගැනීමක් වැනි සරල වැඩකි.

රූපවාහිනී නිළියක සහ නිරූපිකාවක වන නදී දර්ශනී ද ගුප්ත විද්‍යාවේ නමින් සිදුකෙරෙන මෙබඳු ඇස්බැන්දුම් පිළිබඳව පාරම්පරික ඥානය තුළින් දැන හිඳින්නියකි. නමුදු ඇය තුළ පවත්නා විශිෂ්ඨත්වය වනුයේ ඒවා හුදෙක් ඇස්බැන්දුම් මිස හාස්කම් නොවන බව ප්‍රසිද්ධියේ කියාපෑමට ඇය ඉත සිතින් කැමැත්ත පළකිරීම ය.

ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජානක කඳනආරච්චි විසින් මා හට හඳුන්වා දෙනු ලැබූ නදී දර්ශනී විසින් අනාවරණය කරන ලද හාස්කම් මුවාවෙන් සිදුකරනු ලබන එවන් ඇස්බැන්දුම් ප්‍රසංගයක්ද සහිත දේශනයක් මීට වසර කිහිපයකට පෙර කොළඹ 8, කොටා රෝඩ්හි ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීමට මට අවකාශ ලැබිණි.

ඒ ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ඇරයුමකට අනුව ය. එහෙත්, ඉන් වසර කිහිපයකට පසුවද මෙලෙස මිනිස් ජීවිත අකාලයේ වනසා දැමීමට ඉවහල් වන, විශේෂයෙන්ම අපේ කාන්තා පරපුර නොමඟ යවන නීච නින්දිත ප්‍රෝඩාවන් ගණයට අයත් ලේ වගුරන දෙහි කැපීම් තවදුරටත් ප්‍රවර්ධනය වෙමින් තිබීම සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ කම්පාවකි.

මෙවන් මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අප රට තුළ නීති ප්‍රතිපාදන සැකසීමේ ක්‍රියාවලියක් පේනතෙක් මානයකවත් නොතිබීම මගේ ඒ කම්පාව තවත් තීව්‍ර කිරීමට සමත්ව තිබේ.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….