බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!

ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි.

ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින් ඒ බව තහවුරු කරගත හැකිය.නමුදු මිනිස් සමාජයේ නිරතුරුව පවත්නා අසරණ බව අනුව තමන්ට පාලනය කර ගත නොහැකි දුක් වේදනා ගැටළු අර්බුද වලදී පිහිටට එන උත්තරීතර බලයක් පිළිබඳව මිනිස් සන්තානයේ පවත්නා බලාපොරොත්තු පෙරදැරි කර ගත් මිනිසුන් තුළ පවත්නා දේව විශ්වාස දුරලිය නොහැකි බව ලොව පුරා මානව හා සමාජ විද්‍යඥයෝ කියති.

මිනිසත් බව ලැබ මිය යන සමහරකු දෙවිවරුන් ලෙස ප්‍රතිසන්ධිය ලබන බවත් තවත් පිරිසක් තිරිසනුන් ලෙස ප්‍රතිසන්ධිය ලබන බවත් තහවුරු කෙරෙන කතා ප්‍රවෘත්තීන් බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයෙන් ඕනෑ තරම් සොයාගත හැක. එහෙත්, එක්වරම දේවත්වයට පත් තිරිසන් සතුන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු සඳහන් වනුයේ ඉතා අල්ප වශයෙනි.

එනිසාම තිරිසන් සතුන් හට මරණයෙන් පසු දිව්‍යාත්ම භාවයන් වැනි සුගතිගාමී ප්‍රතිසන්ධියක් ලද නොහැකි බවට ප්‍රබල ජන විශ්වාසයක් ද අප සමාජය පුරා පැතිර පවතී.

සිදුහත් කුමරුන් ගිහිගෙය හැරපියා සිදු කළ මහාභිනිෂ්ක්‍රමණයේ දී එතුමන් පිට හිඳුවාගෙන ගිය කන්ථක අශ්වයා පිළිබඳ නොදත් බෞද්ධයකු නොමැති තරම් ය. තමන්ගේ හාම්පුතු වන සිදුහත් කුමරුන් අනෝමා නදිය තරණය කොට එහිම පැවිදි වනු දුටු කන්ථක අසු එම නදී තීරයේම ළය පැළී මරණයට පත් වූ බව විමාන වත්ථු කෘතියෙහි එන කන්ථක විමාන වත්ථුවෙහි දැක්වෙයි.

පසුව මෙම අශ්වයා අති මහත් සැප සම්පත් සහිත දිව්‍ය විමානයක මහේශාක්‍ය දෙවියකු ලෙස උපන් බවත් එම දිව්‍ය විමානය දිව්‍යමය මාලිගා, පොකුණු ආදියෙන් යුතු වූවක් බවත් විමාන වත්ථුවෙහි දැක්වෙයි. වැඩිදුරටත් එහි විස්තර කෙරෙන අන්දමට එය පංච තූර්ය නාදවලින් හා පංචකාම සම්පත්වලින් පිරීගත් දිව්‍ය විමානයකි.

වරක් බුදු රජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා නම් පොකුණ අද්දර තනන ලද ආසනයක සිට ධර්මය දේශනා කරනු එම පොකුණේ සිටි මැඬියකුට අසන්නට ලැබිණ. එබැවින්, බුදුන් වහන්සේගේ මිහිරි හඬට වශී වූ ඒ මැඬියා පොකුණින් ගොඩට පැමිණ ඒ මිහිරි දහම් හඬ අසාගෙන සිටියේය.

ඒ  අතර එම දහම් අසන පිරිස කෙළවරට වී ධර්මය ශ්‍රවණය කරමින් සිටි ගොපල්ලකුගේ අතේ තිබූ කෙවිටක් ඔහු විසින් පොළවට තෙරපනු ලදුව එය එම ස්ථානයේ බණ අසමින් සිටි මැඬියාගේ සිරුර මතට පතිත වූයෙන් ඉන් තෙරපීමට පත් මැඬියා එතැනම මිය පරලොව ගියේය. නමුදු මිය යන මොහොතේ දහම් අසමින් මහත් චිත්ත ප්‍රීතියෙන්සි යුතුව සිටීම නිසා ඔහු තව්තිසා දෙව්ලොව උපත ලත් බවත් එහි දී ඔහුගේ පූර්ව ජන්මය අනුව මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නමින් හැඳින්වුණු බවත් විමාන වත්ථු අට්ඨ කතාවෙහි දැක්වෙයි.

මීට අමතරව බුදු රජාණන් වහන්සේ හුදකලාවේ පාරිලෙයිය වනයට වැඩ සිටි සමයේ උන්වහන්සේට උවටැන් කළ පාරිලෙයිය නම් ඇත් රජු ද දේවත්වයක් ලත් බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය.

යමකුට දේවාත්මයක් ලැබිය හැක්කේ චේතනාත්මකව රැස් කරගත් පින් බලයෙන් පමණක් නිසා තිරිසන් සතුන්ට දිව්‍යාත්මයන් ලද නොහැකි බව සමාන්‍ය පිළිගැනීමකි. එහෙත්,ත්‍රිපිටකයට අයත් ඛුද්දක නිකායේ ධම්මපදට්ඨ කතාවේ එන ඝෝෂක සිටුගේ අතීත කතා පුවතට අනුව පසේ බුදුන් කෙනෙකුන් හට බිරීමෙන් මග පෙන්වූ සුනඛයකු ද දිව්‍යාත්මයක් ලබා තිබේ.ඉතා රසවත් කතා පුවතක් වූ එය කෙටියෙන් මෙසේය.

එක්තරා අකුසලකර්මයක් නිසා මියගිය කෝතුහලික නමැත්තෙක් ගොපල්ලකුගේ නිවසේ ජීවත් වූ සුනඛ ධේනුවක ගේ කුස පිළිසිඳ ගෙන සුනඛ පැටවකු ලෙසින් මෙලොව එළිය දුටුවේය. ගොපල්ලා විසින් දෙනු ලැබූ එළකිරි ද පානය කළ මෙම සුනඛ පැටවා සුව සේ හැදී වැඩුණු අතර  ඔහු ගොපල්ලාට අතිශය හිතවත් විය.

මෙම ගොපල්ලා එම ප්‍රදේශයේ වැඩ සිටින පසේ බුදු නමකගේ දායකයෙකි. එම පසේ බුදු හිමියන් දිනපතා තම නිවසට වැඩම කොට දානය පිළිගන්වන හෙතෙම දිනකට තුන් වරක් මහ වනය මැදින් එම පසේ බුදු හිමියන් වැඩ සිටින ආරාමයට යයි. මෙසේ ගොපල්ලාගේ නිවසට වැඩම කරන පසේ බුදු හිමියන් තමන් වහන්සේට පිරිනැමෙන දානයෙන් එක් බත් පිඬක් මෙම සුනඛයාට ලබා දුන් අතර ඒ සඳහා දක්වන කෘතවේදීත්වයක් ලෙස සුනඛයා ද පසේ බුදු හිමියන්ට අතිශයින් කුළුපග විය.

මෙම ගොපල්ලා පසේ බුදු හිමියන් බැහැ දැකීම පිණිස උන්වහන්සේගේ ආරාමය වෙත යන අතරේ මහ වන මැද වන සතුන් හිඳිනා ස්ථානවල නතර වී මුගුරකින් ගස්වලට හෝ බිමට තෙවරක් පහර දී සූ සූ හඬ නගා වන සතුන් පලවා හැරීම පුරුද්ක් කර ගත්තේය. ඔහු හා එම ගමනට එක් වූ සුනඛයාට ද මෙය ඉතා හුරු පුරුදු දසුනක් විය.

පසුව දහවල් දානය සඳහා පසේ බුදු හිමියන් වැඩම කරවා ගෙන ඒ්මට නොහැකි දිනවල ඒ සඳහා මෙම සුනඛයා යොදා ගැනීමට ගොපල්ලා පුරුදු විය. ඉන් පසු ගොපල්ලාගේ අණින් එම ගමන පිටත් වූ සුනඛයා වන සතුන් බහුල තැන්වල දී තෙවරක් බුරා උන් පලවා හැර පසේ බුදු හිමියන්ගේ ආරාමය ඉදිරිපිට ගොස් තෙවරක් බුරා තම පැමිණීම සනිටුහන් කොට බිම වැතිර නිදා ගැනීම පුරුදද්දක් කර ගත්තේය.

පසුව පසේ බුදු හිමියන් ද ගොපල්ලාගේ නිවසේ දානය සඳහා පිටත් වූ පසු සුනඛයා උන්වහන්සේට ඉදිරියෙන් බුරමින් ගමන් කරන්නට වූ අතර සුනඛයා පරීක්ෂා කිරීමට අදහස් කළ පසේ බුදු හිමියන් වරෙක තමන් වහන්සේගේ ගමන් මග හිතා මතාම වෙනස් කළ සේක.

එවිට සුනඛයා වහා ඉදිරියට පැන උන්වහන්සේගේ ගමන අවහිර වන සේ පෙරමග රැක සිටි අතර ඒ පිළිබඳ තැකීමක් නොකරන බවක් ඇඟවූ උන් වහන්සේ තම ශ්‍රී පාදයෙන් සුනඛයා පසෙකට කර වැඩම කරන විට සුනඛයා උන්වහන්සේගේ සිවුරු කොනින් ඇද ඒ ගමන වළකාලීමට වෙර දරන්නට විය.

මෙසේ කලක් ගත වූ පසු උන්වහන්සේගේ සිවුරු දිරා ගිය බව දැනගත් ගොපල්ලා පසේ බුදු හිමියන්ට සිවුරු සඳහා රෙදි පූජා කළ අතර එම සිවුර මැසීම සඳහා අනෙකකුගේ සහායක් අවශ්‍ය බව ගොපල්ලාට කී පසේ බුදු හිමියන් යළි ඉක්මනින් ආපසු වැඩම කරන පොරොන්දුව මත ගන්ධමාන පර්වතය බලා වැඩම කරනු පිණිස ඍද්ධි බලයෙන් ගොපලු නිවසින් අහසට නික්මුණු සේක.

එහෙත්, තමන් විසින් අතිශයින් ආදරය කළ පසේ බුදු හිමියන්ගේ මෙම වෙන්වීම දරාගත නොහැකි එම සුනඛයා ළය පැළී එතැනම මියගොස් උන්වහන්සේට බිරීමෙන් දැක්වූ උපකාරය මුල්කොට තව්තිසා දෙව්ලොව ඝෝෂක නම් දිව්‍ය පුත්‍රයකුව ඉපදුණු බව සඳහන්ය.එමෙන්ම මෙම ඝෝෂක දිව්‍ය පුත්‍රයා ඒ නමින් දෙව් ලොව ප්‍රකට වන ලද්දේ ඔහුගේ ස්වරයේ ඇති විශේෂත්වය නිසාය.

එහි බල සම්පන්න බව කොතෙක් ද යත් ඔහු යමකුගේ කණට කෙඳිරීමක දී එය යොදුන් දහසයක් දුරටත්,සාමාන්‍ය කතා බහකදී එය යොදුන් දස දහසක් දුරට හෙවත් එම දිව්‍ය විමානය පුරාමත් පැතිරුණු බව සඳහන් ය.ඒ අනුව සුනඛයකුගේ වුව “යහපත් බිරීම” සුළු පටු ආනිශංස ගෙන දෙන්නක් නොවන බව පෙනෙයි.

තිලක් සේනාසිංහ

Related posts