අලි ඇතුන් බඳු සවි සම්පන්න දරු සම්පත් ලබා දෙවන රාවණාගේ දඬු මොනරය සොයා බොල් තුඹේ ගියෙමි

අප රටේ දුරාතීතයේ රජ කම් කළ බව කියන මහා බලසම්පන්න නරපතියෙකු වන රාවණ රජුගේ දඬු මොනර යන්ත්‍රය තවමත් සබරගමුවේ ඉපැරණි දේවාලයක අගුල් දමා ඇති කාමරයක රහසිගතව තැන්පත්කොට තිබේ.

එපමණක් නොව රාවණා රජුගේ ධනය සහ වෙනත් යුද උපකරණ කිහිපයක් ද එසේ රහසිගත ලෙස තැන්පත් කොට ඇති සෙසු භාණ්ඩ අතර ඇත. මෙසේ තැන්පත්කොට ඇති රාවණා රජුගේ දඬු මොණර යන්ත්‍රය කෙතරම් ආනුභාව සම්පන්නද යත් එය පිටතට ගත් සැනින් මහ වැසි ඇද හැලෙයි. එනිසාම කිසි ලෙසකින්වත් ඉන් පිටතට නොගැනෙන එය බැලීමට කිසිවෙකුටත් ඉඩක් දෙනු නොලැබේ.

ඉහත ප්‍රවෘත්තිය මුල්වරට මට අසන්නට ලැබුණේ 1994 වසරේ ශ්‍රී පාදය හා සම්බන්ධ ජනශ්‍රැති අධ්‍යයනයකට ‘සිරිපා හිමය’ ට යාබද ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදීය. ඒ ශ්‍රී පලාබද්දල ගැමියන් ‘පෑලිස් ආතා’ නමින් හැඳින්වූ ශ්‍රී පලාබද්දල මහවත්තේ එන්.කේ.පෑලිස් සිඤ්ඤෝ නම් වියපත් ගැමියාගෙනි. දිගු කලක් අවාරයේ ශ්‍රී පාදස්ථානයේ මුරකාර භූමිකාව ද ඉටුකොට තිබූ ‘පෑලිස් ආතා’ ශ්‍රී පාද හිමය පිළිබඳ ඇවිදින විශ්වකෝෂයක් මෙනැයි ඔහු සමඟ කතාබස් කළ මට සිතිණි.

සාමාන්‍යයෙන් ගැමියන් අතරේ පාරම්පරිකව පැවත එන මෙවන් ජන විශ්වාස බොහෝ විට ජන විඥානයෙන් පැනනගින සෞන්දර්යාත්මක උපකල්පන බැවින් ‘පෑලිස් ආතා’ කී දඬු මොනර කතාවේ එතරම් සත්‍යයක් නැතැයි මට සිතිණි. එහෙත්, ඊට පසුව එම ජනශ්‍රැති අධ්‍යයනයට අදාළව රත්නපුර මහ සමන් දේවාලය ප්‍රධාන කොටගත් සෙසු ප්‍රධාන සමන් දේවාල හතර සම්බන්ධයෙන් තොරතුරු විමසන අතරේ පෑලිස් ආතා කී දඬු මොනර කතාව නිකම්ම ඉවත දැමිය යුත්තක් නොවන බව මට වැටහෙන්නට විය.

ඒ සමනල කන්ද මුදුනේ පිහිටි සමන් දේවාලය, මහියංගනයේ අලුත් නුවර මහ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය සමඟ කියැවෙන බොල්තුඹේ සමන් දේවාලය තුළ රාවණා රජුගේ දඬු මොනරය වශයෙන් සැලකෙන කිසියම් ආනුභාව සම්පන්න අත්භූත වස්තුවක් තැන්පත්කොට ඇතැයි යන පුවත තවත් මූලාශ්‍ර කිහිපයකින් සනාථ වූ බැවිනි.

රත්නපුර දිස්ත්‍රික්කයේ, ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බොල්තුඹේ සමන් දේවාලය පිහිටියේ බලංගොඩ-පින්නවල හරහා හැටන් තෙක් වැටීගත් මාවතේ කිලෝමීටර් දොළහක පමණ දුරිනි. රත්නපුර මහ සමන් දේවාලයේ ආකෘතියට තනා ඇති මෙම දෙවොල අතීතයේ රාවණා රජුගේ යුද අවි ගබඩාව බවත් රාම-රාවණ යුද්ධයෙන් රාවණා රජු මියගිය පසු එය එතුමන් උදෙසා වන දේවාලයක් වූ බවත් ජනප්‍රවාදයේ එයි.

සබරගමුවේ පාරම්පරික ජනප්‍රවාදවලට අනුව දුරාතීතයේ රාම-රාවණ අවසන් යුද්ධය සිදුව ඇත්තේ බලංගොඩ, පින්නවල හා දෙතනගල කඳුවැටි ආශ්‍රිතවය. උඩුකුරුව වැතිරගත් කාන්තාවකගේ පියයුරු යුගලයකට සමාන මුදුන් දෙකකින් යුතු නිසා දෙතනගල යනුවෙන් හැඳින්වෙන බව පැවසෙන මෙම කඳුවැටියේ එම මුදුන් දෙකට දෙදණ තබා වීරියගත් රාම කුමරු රාවණා රජුට මරු කැඳ වූ හීය හෙවත් ‘රාම ශරය’ විදහළ බවත් එම මාරාන්තික හී පහර කෑ රාවණා රජු ඒ තැනිතලාව මතම මැරී වැටුණු බවත් එක් ජනප්‍රවාදයක සඳහන් ය.

එම ජනප්‍රවාදයට අනුව එම දෙතනගල කන්දේ මුල් නම දෙදනගල වන අතර රාම කුමරුන් හීය විදීමට වීරිය ගැනීමට දෙදණ තබාගැනීම මත පළමුව දෙදනගල වූ එය පසුව උච්චරණ පහසුව තකා දෙතනගල බවට පත්ව තිබේ. එම ජනප්‍රවාද අනුව රාවණා රජුට මරු කැඳවූ තැන්න අද ද හැඳින්වෙනුයේ ‘මාර තැන්න’ යනුවෙනි.

මෙම දෙවොල තුළ ඇති රාවණා රජුගේ දඬු මොනරය පිළිබඳව ඊ.එම්.රත්නපාල සූරීන් ලියූ ‘සමන් දෙවියෝ’ නම් පර්යේෂණාත්මක ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව තිබේ.

“මේ දේවාලයේ ඇති භාණ්ඩ අතුරින් රාවණා රථය නමින් යුතු අද්භූත වස්තුවක් වෙයි. මෙය දේවාලයෙන් පිටතට ගතහොත් වැසි වසින්නට පටන්ගන්නා බවට විශ්වාසයක් තිබේ. රථයක් යැයි කීවද මෙයට රෝද නැත. මෙය ලෝහවලින් තනවා ඇතැයි කියනු ලැබේ. මෙය රාවණා රජුගේ දඬු මොනරය සංකේතවත් කරන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. මේ විශ්වාස නිසා බොල්තුඹේ දේවාලයේ තිබෙන බව පැවසෙන මේ භාණ්ඩ ගැන පරීක්ෂාවක් කිරීමට අපටද ඉඩකඩ නොලැබිණ. දේවාලය තුළට ඇතුළු වීමට ආගන්තුකයන්ට අවසර නොදීම ඊට ප්‍රධාන හේතුවයි.”

ඉහත සඳහන් කෘතියේ සේම ප්‍රදේශයේ පවතින වඩාත් ප්‍රචලිත ජනප්‍රවාදයකට අනුව ඉංග්‍රීසි පාලන සමයේ රත්නපුරය භාරව සිටි ඉංග්‍රීසි ජාතික පරිපාලන නිලධාරියෙක් මෙම දෙවොලට පැමිණ එහි ඇතුළේ තැන්පත්කොට ඇති භාණ්ඩ පිටතට ගන්නා මෙන් දේවාල භාරකාරත්වයට දන්වා තිබේ.

එහෙත්, එසේ පිටතට ගතහොත් මහ වැසි ඇදහැලෙන බවට දේවාල භාරකාරත්වය කළ ප්‍රකාශයට සරදම් වශයෙන් සිනාසුණු එම පරිපාලන නිලධාරියා, “එහෙනම් ඉතින් උඹලගෙ ඕක ගනිල්ලකො බලන්න මට ඔය කතාවේ හැබෑ බොරු බලන්නත් එක්ක” යනුවෙන් සිනාසී පැවසූ බව සඳහන් ය. ඔහුගේ එම ප්‍රකාශය රාජකීයත්වය මත පදනම් වූ නියෝගයක් බැවින් දේවාල භාරකාරත්වය එම රාවණ රථය නම් අද්භූත වස්තුව පිටතට ගනිත්ම එක්වරම මහා වැස්සක් ඇද වැටී තිබේ.

අකුණු, කුණාටු මැද නොකඩවා දින තුනක් දිවා රෑ ඇදහැලුණු එම වැස්සෙන් බේරීම පිණිස එම පරිපාලන නිලධාරියාට දින තුනක්ම එම දේවාලය තුළට කොටුවී හිඳින්නට සිදුවූ බවත් පැවසෙයි. පසුව එම බොල්තුඹේ දේවාලයට හම්බන්තොට ලුණු ලේවාය මගින් අඛණ්ඩව ලුණු සපයන බවට බාරයක් වූ පසු එම වර්ෂාව පෑයූ මුත් ඉන් ඇතිවූ ගංවතුර පහව නොගිය බැවින් එම පරිපාලන නිලධාරියාට දේවාලයෙන් පිටව යාමට ඇතෙකු ගෙන්වීමට පවා සිදුවූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ ගංවතුර කොතෙක්ද යත් එය ඇතාගේ කරවටක් තෙක් ඉහළ නැංවී තිබූ බවක්ද පැවසෙයි.

අතීතයේ දරුවන් නොමැති කාන්තාවන් එම දේවාලයට විත් බාර හාර වූ පසු ඔවුනට අලි ඇතුන්ගේ ශක්තිය සහිත පුතුන් ලැබෙන බවත්, මෙය තමන්ගේ රාජ්‍ය බලයට අභියෝගයක් විය හැකි බවට සැක පළ කළ සීතාවක රාජසිංහයන් ශ්‍රී පාදස්ථානය භාරව සිටි ශිව පූජකයන්ගේ උපදෙස් මත මෙය සමන් සුරිඳුන් උදෙසා කැපකොට රත්නපුර මහ සමන් දේවාලය යටතේ පාලනය විය යුතු බවට නියෝගයක් පැනවූ බව ජනප්‍රවාදයේ සඳහන්ය.

එහෙත්, මෙම ජනප්‍රවාද ඓතිහාසික වශයෙන් තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් මට මෙතෙක් හමුවී නැත.

මේ සියලු තත්ත්වයන් යටතේ කිනම් ක්‍රමයකින් හෝ මෙම දෙවොල තුළට පිවිස රාවණා රජුගේ දඬු මොනර යන්ත්‍රය හෙවත් මෙම රාවණා රථය දැකගැනීමේ සිහිනය පෙරදැරි කරගත් මම 2003 වසරේ මුල් භාගයේ දිනයෙක එහි ගියෙමි.

එහෙත්, ඒ වනවිට පැවැත්වෙමින් තිබූ අට වන ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලිය වෙත සිත් යොමුකොට තිබූ නිසාදෝ අවට වැසියන් පවා මා පැමිණි කරුණ සම්බන්ධයෙන් උනන්දු නොවන බවක් හැගිණි. එමෙන්ම ඔවුන් කියා සිටියේ එම දේවාලයේ බස්නායක නිලමේවරයා හෝ කපු මහතුන් ඒ අවට පදිංචිකරුවන් නොවන බවත් ඒ කවරෙකු මුණගැසුණ ද රාවණා රථය බැලීමට අවස්ථාවක් ලබාගත හැකි යැයි සිතීම පවා විහිළුවක් බව ය.ඒ අනුව එම දේවාලය බාහිරින් නිරීක්ෂණය කළ මම හිස් අතින් ආපසු හැරුණෙමි.

මෙසේ සිටියදී 2009 ජූනි මස අග භාගයේ දිනයෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමු පළාත් කාර්යාලයේ ගවේෂණ අංශයේ සේවය කොට මේ වන විට විශ්‍රාම ලබා හිඳින ජයන්ත විජේරත්න මහතාගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු සබරගමුවේ මා විසින් කරන ලද ජනශ්‍රැති අධ්‍යනයන්හිදී මා හට නොයෙක් ඇප උපකාර කළ සුහද මිතුරෙකි.

“අන්න මම අර ඔයා හොයන බොල්තුඹේ දේවාලේ තියෙන දඬු මොනරේ පින්තූර ගත්තා. ඕනේ නම් ඊමේල් කරන්න පුළුවන්.”

ජයන්ත කළ එම දැනුම්දීමෙන් මම අන්දුන්කුන්දුන් වීමි.

“ඒ කොහොමද ඒකේ පින්තූර ගත්තේ?”

මා ඔහුගෙන් විමසන ලද්දේ ඔහුගේ එම ප්‍රකාශය සරදමකැයි යන අනුමානයෙනි.

“පහුගිය දවසක ඒ දේවාලේ හොරු බිඳලා ඇතුළේ තියෙන දේවල්වලින් කොටසක් අරන් ගිහින්. ඒත් හොඳ වෙලාවට ඔය කියන රාවණ රථය නම් බේරිලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ කරන්න යන පොලිස් කණ්ඩායමත් එක්ක මම ගිහින් ඒකේ තිබුණු පුරාවස්තුවල පින්තූර අරගෙන ඒවා ලේඛනගත කළා.”

ජයන්ත කීයේ මා විස්මයෙන් කුළුගන්වමිනි. ඒ සමඟම ඔහු විසින් එවන ලද එම දඬු මොනරය හෙවත් රාවණා රථයේ ඡායාරූප සහ විස්තර දුටු මට මගේ සිත තුළ පැවැති තොරතුරු පිපාසය උස්මුරුත්තාවටම සංසිඳී ගිය බවක් හැඟිණි. ඒ තුළ තිබූ රාවණා රථය ලෙස හඳුන්වනු ලැබූ එම ලෝහමය භාණ්ඩය යම් ගොඩනැගිල්ලක ආකෘතියක් වූ අතර එය ‘තුන්මල් කූඩුව’ ලෙස හඳුන්වන බවද ජයන්තගේ සටහනේ විය.

සෙන්ටිමීටර් හතළිහකින් හෙවත් අඟල් පහළොවහමාරක උසකින් සහ සෙන්ටිමීටර් විසි දෙකක හා දහඅටක හෙවත් අඟල් අටහමාරක සහ අඟල් හතක දිග පළලකින් යුතු එය නැවතත් සුරක්ෂිතව එම දෙවොල තුළ තැන්පත් කරන බව ජයන්ත තම සටහනේ සඳහන්කොට ඇත.

ඒ කෙසේ හෝ වර්තමානයේ රට පුරා පැතිර යන රාවණ උද්යෝගය හමුවේ රාවණා රජුගේ දඬු මොනරය ලෙස “විශේෂ අලෙවි වටිනාකමක්” ලබාදිය හැකි මෙම භාණ්ඩය සම්බන්ධයෙන් එදා මෙදා තුර කිසිවක් නොපවසා බොල්තුඹේ දේවාලය සමන් දේවාලයක් ලෙසම පවත්වාගෙන යන එහි පාලාකාධිකාරියට අප ස්තූතිවන්ත විය යුතුම ය.

තිලක් සේනාසිංහ

Related posts