කුම්භකර්ණ කියන්නේ දේව කුමන්ත්‍රණයකට හසු වූ රණ විරුවෙක්!

kumbakarana

අප රටේ ව්‍යාප්තව පවතින ඉන්දු ආර්යවාදයට අනුව රාවණා රජු නපුරු, දුෂ්ඨ, පාපී රාක්ෂයකු වුව ද මෑතක සිට රට පුරා පැතිර යන ‘හෙළ’ මතවාදය තුළින් රාවණා රජුට අප ජාතියේ අසමසම පරමාදර්ශී තත්ත්වයක් සේම දේවත්වයක් ද හිමි කර දී තිබේ රාවණා රජු දේවත්වයට පත් වන ලද්දේ මෑතක වුව ද රාම-රාවණා යුද්ධයේ දී රාම රජුගේ පක්ෂය ගෙන ක්‍රියා කළ විභීෂණට අතීතයේ සිටම අප ජන සමාජය විසින් දේවත්වයක් ප්‍රදානය කොට තිබීම ද විශේෂත්වයකි.

විභීෂණ දෙවිඳුන් රාවණා රජුගේ දෙටු සොයුරු වන අතර එතුමන්ට එක් සොයුරකු සහ කනිටු සොයුරෙක් ද සිටියි. සොයුරිය අප ජන සමාජයේ එතරම් ප්‍රචලිත චරිතයක් නොවන සූර්පනඛා වන අතර කනිටු සොයුරා අප රටේ ජ්‍යෙෂ්ඨතම වයෝවෘද්ධයා ගේ සිට හය හතර දත් කුඩා දරුවන් පවා ඉතා හොඳින් දන්නා කුම්භකර්ණයා ය. දෙවියකු තබා කිසියම් ගෞරවාන්විත ප්‍රතිරූපයක් ඇත්තෙකුවත් නොවන කුම්භකර්ණයා අප සමාජයේ අතිශය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අසීමාන්තික ලෙස නින්දට ලොල් වූවකු ලෙසිනි.

ඒ සම්බන්ධයෙන් ඔහුට හිමිව ඇති ප්‍රසිද්ධිය කෙතරම් ද යත් ‘කුම්භකර්ණයා වගේ’ යනුවෙන් යමකු හැඳින්වීමෙන් පමණක් ඒ් තැනැත්තා තුළ පවත්නා නින්ද්‍රා ලෝලීත්වය සෙස්සන් හට පහසුවෙන් සන්නිවේදනය කළ හැක. ඒ අනුව අප සමාජයේ කුම්භකර්ණ නාමය හුදෙක් උපහාස භාෂණයක් පමණක් බව පෙනෙයි.

වත්මන් සමාජයේ අපහාස උපහාසවලට ලක් වුව ද මෙම කුම්භකර්ණ රාම-රාවණා යුද්ධයේ දී රාවණාගේ පක්ෂය ගෙන ක්‍රියා කළ සුවිශේෂ රණවිරුවෙකි. රාම කුමරුන්ගේ ආර්ය පක්ෂයට එරෙහි රාවණා රජු ගේ අනාර්ය පක්ෂයේ ප්‍රමුඛතම සෙන්පතියකු වන ඔහු රාම කුමරුන්ගේ වානර සේනාවේ නායක ‘සුග්‍රීව’ හා සටන් කොට ඔහු පරදවා අත්අඩංගුවට ගෙන ලංකා පුරයට රැගෙන ආ බවත් කියැවේ.

එම සටනේ දී සුශ්‍රීවගේ පාර්ශ්වය ගෙන තමන් හා සටන් වැදුණු වානර සෙනෙවියන් විශාල පිරිසක් මරා ආහාරයට ගැනීමට පවා කුම්භකර්ණ සමත් වූ බව රාමායනයේ සඳහන්ය. දැවැන්ත සිරුරකින් සේම දැඩි ආහාර රුචියකින් සේම විශාල උදරයකින් යුතු කුම්භකර්ණ රාම කුමරුන් සමග යුද්ධයට යාමේ දී රා කළ දෙදහසක් පානය කළ බව ද පැවසෙයි. පසුව තමන්ගේ මෙම රණකාමිත්වය මුල්කොට ආර්ය සමාජයේ ප්‍රමුඛතම දෙවියා වන ඉන්ද්‍ර පවා පරාජය කළ ඔහු ඉන්ද්‍රගේ අසුනට ඇති තමන් සතු හිමිකම ගැන පැවසීම පිණිස මහා බ්‍රහ්මයා හමුවීමට ගොස් තිබේ.

දෙවිවරුන් අතර පවත්නා යුක්ති ධර්මය අනුව වුව ඉන්ද්‍රගේ තැනට නැතහොත් අසුනට ඒ් වන විට සුදුසුකම් ලබා හිඳිනුයේ කුම්භකර්ණ බව ඒ් වන විට මහා බ්‍රහ්මයාට ද රහසක් නොවිණි. නමුදු හින්දු ආර්යයන්ට එරෙහි අසුරයන් රාක්ෂ ගණයේ වීරයන් සුරයන් හෙවත් දෙවිවරුන් අබිබවන තැනකට පත්වීම පිළිබඳ තියුණු නොකැමැත්තක් මහා බ්‍රහ්මයාගේ සිත තුළ ද තිබිණ.

කුම්භකර්ණ දෙවියන්ගේ නායක අසුන හෙවත් ඉන්ද්‍රාසනය තමන් වෙතින් ඉල්ලා සිටීම වළක්වන සියුම් උපායක් යෙදීමට මහා බ්‍රහ්මයා අදහස් කළේය. එහි දී ඔහු උදව්වට ගන්නා ලද්දේ වාග් සම්ප්‍රදායත්, භාෂා ශාස්ත්‍ර ඇතුළු සකල විධ කලාවන්ට අධිපති සරස්වතී දේවියය

යමකු තුළ භාෂා ශාස්ත්‍ර සම්බන්ධ නිපුණත්වයක් ලබා දීමට සේම එම හැකියාවන් මොට කරවීමට ද සරස්වතියට පුළුවන. එබැවින් මහා බ්‍රහ්මයා හමුවට පැමිණි කුම්භකර්ණ තමන්ට අවශ්‍ය වරයන් ඉල්ලීමේ දී ඔහුට වචන පටලැවීමට සරස්වතිය සියුම් ලෙස ක්‍රියා කළාය. ඒ තමන්ට ඉන්ද්‍රගේ අසු අවශ්‍ය බව පැවසෙන ‘ඉන්ද්‍රාසනා’ යන වචන ‘නිද්‍රාසනා’ ලෙස කියැවීමට සැලැස්වීමෙනි. ‘ඉන්ද්‍රාසනා’ යනුවෙන් ඉල්ලීමක් කිරීමේ දී තමන්ට ඉන්ද්‍රගේ අසුන අවශ්‍ය බව පැවසෙතත් ‘නිද්‍රාසනා’ යනුවෙන් එම ඉල්ලීම කිරීමේ දී ඉන් අදහස් වනුයේ තමන්ට නිදා ගැනීමට වරමක් බලාපොරොත්තු වන බවකි.

සමගම ඉන්ද්‍රගේ අසුන හිමි කර ගැනීමෙන් පසු ඔහුට යළි හිස එසවීමට නොහැකි සේ දෙවිවරුන් නොවන අසුරයන්ගේ හෙවත් රාක්ෂයන්ගේ බලය ඉස්මතු කර දීමේ වරය වන ‘නිර්දේවවට්ටම්’ යන වදන සරස්වතිය විසින් කරන ලද වචන පටලැවීම මත කුම්භකර්ණට පැවසෙන ලද්දේ ‘නිද්‍රාවට්ටම්’ යනුවෙනි. එහි අරුත ද නිදා ගැනීමට අවස්ථාවක් යන්න ය.

ඒ කෙසේ හෝ කුම්භකර්ණ වචන පටලවා ඉල්ලා සිටි මෙම වරම මහ බඹු විසින් ඒ මොහොතේම ප්‍රදානය කරන ලද අතර ඔහු ක්ෂණිකව එතැනම ගැඹුරු නින්දට වැටුණි. පසුව තම බාල සොයුරු කුම්භකර්ණ ආගිය අතක් නොමැති බව දැනගත් රාවණා රජතුමා මහා බ්‍රහ්මයාට හමුවට යන විට එතුමන්ට දැකගත හැකි වූයේ පසෙක වැතිරී ගැඹුරු නින්දක පසුවන තම කනිටු සොයුරු කුම්භකර්ණ ය. ඉන් පසු එම සිද්ධිය පිිළිබඳ විමසුමක් කළ රාවණා රජුට මෙය තම පාර්ශ්වය වන අසුරයන්ට හෙවත් රාක්ෂයන්ට එරෙහිව දෙවිවරුන් දියත් කළ කුමන්ත්‍රණයක් හෙවත් උප්පරවැට්ටියක් බව සැණින් වැටහිණ.

ඒ අනුව රාවණා රජු මහා බ්‍රහ්මයාගෙන් ඉල්ලා සිටිනුයේ තම කනිටු සොයුරු කුම්භකර්ණ පත්ව ඇති මෙම අවාසනාවන්ත තත්ත්වය පිටු දකිනු පිණිස කුමක් හෝ ආශිර්වාදයක් කරන ලෙසය. ඒ් අනුව මහා බ්‍රහ්මයා සය මාසයක් නින්දත් සය මාසයක් අවදියත් වශයෙන් අමුතුම ජීවන රටාවක් හිමි කරනුයේ එලෙසින් හෝ ඔහු මෙල්ල කර නොගතහොත් ඔහු වෙතින් සුරයන් හෙවත් දෙවියන්ගේ පාර්ශ්වයට මහත් විනාශයක් වන බව දැන සිටි බැවිනි.

ඉන් පසු රාම රාවණා යුද්ධයේ දී තම සුපුරුදු සහාය දැක්වීමකට කුම්භකර්ණයාට නොහැකි වන අතර යුද්ධයේ එක් අවස්ථාවක දී රාවණා රජුට කුම්භකර්ණ පුබුදුවා ගත හැකි වනුයේ රාම කුමරුගේ බල සේනාවේ ඇතුන් සියයක් කුම්භකර්ණ සිටි තැන පසු කිරීමෙන් පසුව යැයි රාමායනයේ සඳහන් වෙයි.

ඔහු තුළ පවත්නා මේ පසුගාමී තත්වය යටතේ පසුව රාම කුමරුන්ගේ හී පහරක් හෙවත් රාම ශරයක් ඇඟ මත පතිත වීමෙන් කුම්භකර්ණ එම රණබිම තුළම මරණයට පත් වූ බවත් රාමායනයේ දැක්වෙයි.

රාමායනයේ සඳහන් වන අන්දමට වජ්රවාලා යනු කුම්භකර්ණගේ බිරිඳයි. අධික ආහාර රුචියකින් හා විශාල උදරයකින් ඔහු මාස හයක් ගත වීමෙන් පසු නින්දෙන් පිබිදුණු සැණින් කුසගින්නෙන් බෙරිහන් දෙන බව ද කියනු ලැබේ. ඒ අනුව මෙම කුම්භකර්ණ පිළිබඳ අවසන් වරට කිව හැක්කේ ඔහු අසුරයන්ගේ හෙවත් දෙවිවරුන් ගේ පාර්ශ්වයේ කුමන්ත්‍රණයකට හසු වූ රණවිරුවෙකු බවය.

තිලක් සේනාසිංහ

Related posts