Habitat-for-Humanity

මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ.

“මිලියන 6 ක පවුල් වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්‍ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා නැති තරම්” යැයි මනුෂ්‍යත්වයට නිවහනක් (Habitat for Humanity) සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂක යූ හ්වා ලී පවසයි.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මිගමුව ජනාවබෝධ කේන්ද්‍රය සහ සීදුව ශ්‍රමාභිමානි කේන්ද්‍රය සුම් තාක්ෂනය ඔස්සේ පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් යු හ්වා ලී අවධාරණය කළේ මෙම ගැටලුවට විසඳුම සෙවීම ආණ්ඩුවේ කාර්ය භාරයක් වුවද නමුත් පෙර පැවති ආණ්ඩු වලට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට කිසිදු අදහසක් නොතිබූ බවය.

“නිදහස ලබා වසර 72 ක් ගතවී තිබුනත් ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අවම වශයෙන් රටේ නිවාස ගැටළුවට විසඳුමක් ලබා දීමට මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවකට නොහැකි වී තිබෙනවා,” යැයි ඔහු පවසයි.

යු හ්වා ලී මේ බව පවසා සිටියේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස භූමියේම ඉදිකිරීමට යෝජිතව තිබියදීය.

සෑම වසරකම ඔක්තෝම්බර් 04 වැනිදාට යෙදෙන ලෝක ජනාවාස දිනය කේන්ද්‍ර කර ගනිමින් මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානය ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනයා මුහුණ පාන ගැටළුවලට විසදුම් ඉල්ලා නිවාස ඇමැති ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ වෙත ලිපියක් ද බාර දී තිබේ.

“සෑම පවුලකටම සුව පහසු නිවසක් සැපයීම වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිවල විශේෂ අංගයක් වන බැවින් අපගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට ඔබ තුමන්ට පහසු වනු ඇතැයි විශ්වාස කරන බව” සඳහන් කරන එම ලිපිය, “ස්ථිර වාසස්ථානයක් නොමැති අපට සමාජය තුලදී පිළිගැනීමක් නොමැතිව කොන්වෙනු ලබයි. අපේ දරුවන් පාසල්වලට ඇතුලත් කර ගැනීමට යාමේදී ස්ථිර ලිපිනයක් නොමැති හෙයින් අපගේ ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම නිතර සිදුවෙයි. ස්ථිර ලිපිනයක් නොමැති හෙයින් රජයෙන් ලබාදෙන සහනාධාර ද අඩු ආදායම්ලාභී අප හට අහිමි වී ඇත” යනුවෙන් ප්‍රකාශ කරයි.

මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ ක්‍රියාකාරිනි සුභද්‍රා කුමාරි මෙහිදී සිය අදහස් දක්වමින් කියා සිටියේ මෙම නිවාස ප්‍රශ්නය 1979 සිට වසර 40 ක් පුරා පවතින්නක් බවයි.

“අපි හැම කෙනාම අඩු ආදායම් ලාභීන්. ඒ නිසා, ආර්ථික දුෂ්කරතා එමටයි. අපිට ගෙවල් කුලී ගෙවන්න බැරි නිසා දෙමාපියන්ගේ, ඥාතීන්ගේ නිවාසවල පවුල් කිහිපයක් එක්ක ජිවත් වෙද්දී එකිනෙකාගේ පෞද්ගලීකත්වයට හානි සිදුවෙනවා. එකම නිවස ඇතුලේ පවුල් 3,4ක් ,ඒ කියන්නේ 10 – 15 දෙනෙක් ජීවත්වෙනකොට මොනතරම් සිත් වේදනා , රණ්ඩු සරුවල් ඇතිවීම වගේම පුද්ගලික නිදහසත් නැති වෙලා නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා,” යැයි ඇය පැවසුවාය.

මේ අතර, ග්‍රාමීය කම්කරු සමාජය පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පසුව නිවාස අහිමි පුද්ගලයන් රාශියක් උතුරු පළාතේ ජීවත් වෙන බවයි.

“පවුල් 7000 කට වඩා නැවත පදිංචි වීමේ අපේක්ෂාවෙන්,තවමත් අනාථ කඳවුරුවල නැත්නම් තමන්ගේ නෑයන්ගේ ගෙවල්වල නැත්නම් කුලී ගෙවල්වල ජීවත්වනවා. ඔවුන්ගෙන් පවුල් 800ක් පමණ තවමත් ජීවත් වන්නේ අනාථ කඳවුරුවල.

මයිලෙට්ටි සහ කන්කසන්තුරේ වරායවල් සහ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු සඳහා කියා මේ දෙමළ ජනතාවට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් නොකර තවමත් හමුදාව භාරයේ තබාගෙන සිටිනවා” යැයි ග්‍රාමීය කම්කරු සමාජයේ සභාපති ඒ. ඉම්බනායගම් පෙන්වා දෙයි.

Similar Posts