අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?

ahupini-ella

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි.

ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක් නිසා ය.

‘‘ඔය කතාව අපිත් ඕනෑතරම් අහලා තියෙනවා. නමුත් මුලදී විශ්වාස කළේ ම නැහැ. ඒත් පස්සේ මෙන්න මෙහෙම දෙයක් නම් වුණා.’’

මා හා එසේ පවසන ලද්දේ උඩුවැල්ලේ පදිංචි රෝහණ රංජන් අබේරත්න ය. ඔහු අහුපිණිඇල්ල පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ද වෙයි.

‘‘මමයි මගේ නෝනයි මීට ටික කාලෙකට ඉස්සර ඔය දියඇල්ල අයිනෙන් වැටිලා තියෙන නාත්තකන්ද පාරෙන් පහළට යමින් හිටියා. ඔය ඇල්ලේ පහල තියෙනවා මිනීකඳවල කියලා තැනක්. මට තරමක් ඉස්සරහින් යමින් හිටපු නෝනා ඒ හරියෙදි මගෙන් අහනවා, ‘කවුද අනේ අර ඉස්සරහින් යන ගෑනු කෙනා, කොණ්ඩෙත් කඩා දාගෙන’ කියලා. එතකොට මාත් ඉස්සරහ බැලුවා. පේනතෙක් මානෙක මිනිස් පුළුටක්වත් නැහැ. වටේටම මහ කැලේනේ. එතකොට මටත් තේරුණා කාරණේ.

ඒ හින්දා මාත් කිව්වා ‘ඔය උඩහ පැත්තේ ගෙදරක ගෑනු කෙනෙක්නේ’ කියලා. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ එක රේඩියෝ චැනල් එකක ඔය අද්භූත දර්ශන ගැන ප්‍රෝගෑම් එකක් ගියා. මටත් සිද්ධ වුණා ඒකට මගේ අද්දැකීමක් කියන්න. ඉතින් මමත් ඒ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙලා ඔය කතාව කියනවා අහගෙන හිටපු නෝනා අන්දුන්කුන්දුන් වුණා.

පස්සේ මෙයා හොඳටම බය වෙලා මගෙන් අහනවා ‘එතකොට මම ඒ දැකලා තියෙන්නේ ඔය කියන හොල්මනද?’ කියලා. මමත් එතකොට හිනාවෙලා ඇහුවා ‘ඒ කතාව දැන් අහලා ඔයා ඔය තරම් බය වුණ එකේ ඒ වෙලාවෙම කිව්වා නම් කොහොමට බයවේවිද?’ කියලා.’’

අබේරත්න මහතා කීයේ සිනාසෙමිනි.

අද්භූත කාන්තා රූපය පිළිබඳව එබඳු කතාබහක් සමාජය පුරා පැතිර යන අතරේ එම දියඇල්ල සමිපයේදී ගනු ලබන ඡායාරූපවල ද අද්භූත රූප දක්නට ලැබෙන බවට ආරංචි මැඇතක සිට පැතිර  ලද්දේ 2019 වසරේ ජූලි 14 දා කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකු එම දියඇල්ලට බිලිවීමත් සමගිනි.

එම සිදුවීමෙන් කම්පාවට පත් ඔහුගේ මිතුරු මිතුරියන් ඇතුළු ඔහු පිළිබඳව දන්නා පිරිස් එම ඛේදවාචකය සිදුවූ ස්ථානය දැකගැනීමට පැමිණි අතර, ඔවුන් විසින් ගනු ලැබූ ඡායාරූප සමහරක ද අද්භූත රූප සටහන්ව තිබූ බව උඩුවැල්ලේ ගැමියෝ මා හා කීහ. ඒ එම සිද්ධියට මාස කිහිපයකට පසු පරිසරවේදියකු ද වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුගත් විජයවර්ධන ද සමඟ මා අහුපිණිඇල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරේ ය.

1994 වසරේ මා ශ්‍රීපාද අඩවිය සම්බන්ධ ජනශ්‍රැති අධ්‍යයනයක යෙදෙන අතරේ එවකට අවාරයේ ශ්‍රීපාදස්ථානයේ මුරකාර භූමිකාව කළ ශ්‍රී පලාබද්දල පදිංචි තිස්ස කුමාර මහතාගෙන් මෙබඳු තොරතුරක් දැනගන්නට ලැබිණ.

‘‘මම සතියකට හමාරකට සැරයක් පහළට ඇවිත් කෑම උයාගන්න උවමනා හාල්, පොල්, පරිප්පු, තුනපහ වගේ කළමනා පොදියක් අරගෙන හිමේට යනකොට හිමේ මැද්දේදි පාරේ ඈතින් සුදුම සුදුපාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඉන්නවා පේනවා.

මේ දර්ශනය මට වගේම අපේ අප්පුච්චිලාටත් ඉස්සර ඉඳලම පෙනිලා තියෙනවා. ඒ අය තමයි කිව්වේ එහෙම පේන්නේ හූනියම් දේවතාවන්වහන්සේ, උන්වහන්සේ එහෙම පෙනී ඉන්නේ අපිට ආරක්ෂාව සලසන්න.

ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒ හින්දා මමත් බය නැතුව ඉස්සරහට යනවා. හූනියම් දේවතාවන්වහන්සේ මාව ඒ විදිහට ඇරලවන්නේ හැරමිටිපාන ළඟට විතරයි.එතන ඉඳන් මාව සමන් දෙවි හාමුදුරුවන්ට බාර වෙනවා.

උන් වහන්සේ අර වගේ පෙනී නොහිටියට උන් වහන්සේගේ පිහිට මට හොඳට දැනෙනවා ඒ එක්කම මගේ ඇඟටත් අමුතුම සනීපයක් දැනිලා මහන්සිය නැතුව යනවා. ඒ හින්දා මම උඩමළුවට ගියාට පස්සේ සේරටම කලින් කරන්නේ පැයක් දෙකක් හොඳට නිදාගන්න එක.’’

තිස්ස කුමාර මහතා කීය.

මෙහිදී අබේරත්න මහතාගේ බිරිඳ සහ තිස්ස කුමාර මහතා දුටු දර්ශන අතර යම් සමානත්වයක් තිබේ. ඔවුන් දෙදෙනාම ඒ අද්භූත රූප දැක ඇත්තේ නිහඬ, නිසංසල වනගත පරිසර පද්ධතීන් තුළදීය. එමෙන්ම අනුරාධපුර, කුට්ටම්පොකුණ අද්දරින් හැරී යන ගල්පාලම පාර ආසන්නයේ පිහිටි පෙරිමියන්කුලමේ විජයාරාමය නමින් හඳුන්වන පැරණි ආරාමික වනපෙත තුළ ද දිවා කාලයේ අද්භූත අයුරින් භික්ෂූන් වහන්සේලාගේ රූ ප්‍රදර්ශනය වන බව මීට වසර පහකට පමණ පෙර ජනමාධ්‍යයන්හි පළ විය.

මේ සියලු සිදුවීම්වලට පදනම් වී ඇත්තේ ඒ අත්දැකීම්වලට මුහුණදුන් පුද්ගලයන්ගේ හුදෙකලා බව සහ හාත්පස පරිසරයේ වූ නිහඬ, නිසංසල බව පදනම් කරගත් කිසියම් මනෝමය සාධකයක් බව පෙනේ.

එදිනෙදා ජිවිතයේදී කලබලකාරී, නාගරික පරිසරයන් තුළ අප අත්දකින මනැසට වෙහෙසක් ගෙනදෙන තත්ත්වයන් නිහඬ, නිසංසල පරිසරයන් තුළදී අත්විඳීමට නොලැබේ.

බාහිර අරමුණුවලින් තොර එවැනි තත්ත්වයන් තුළදී සිතටත්, ගතටත් අමුතුම සුවයක්, සහනදායී බවක් ලැබුණු බව එවන් ස්ථානවලට ගියවුන් පවසන්නේ එබැවිනි. එමෙන්ම යම් යම් පාළු අවකාශයන් තුළ වෙනයම් අරමුණකින් තොර කිසියම් නිශ්චිත දුරක් එක එල්ලේ බලාගෙන සිටීමේ දී හෝ ඉදිරියට යාමේදී ස්වභාවිකව හටගන්නා අර්ධ නිද්‍රාමය තත්ත්වයන් තුළ යටි සිත තුළින් මතුවන විවිධ පරිකල්පන, ව්‍යාජ භ්‍රාන්තීන් සේ දිස්වීමේ යම් හැකියාවක් පවතී.

මිනිස් වාසයෙන් තොර පැරණි, පාළු මහා මන්දිරවල දිගු කොරිඩෝවන්හි ගමන්කිරීමේදී ද වරින් වර මෙවැනි අද්භූත රූප දර්ශනය වන බවට තොරතුරු තිබේ. නමුදු ඒ ආකාරයේ අද්භූත රූප අප රටේ දුලබ ය.

ඒ එතරම් සුවිසල් පාළුවට ගිය පැරණි මන්දිර අප රටේ දක්නට නොලැබෙන බැවිනි.මෙහි දී තිස්ස කුමාර මහතා කී අන්දමට ශ්‍රී පාද මාර්ගයේ හැරමිටිපානෙන් ඔබ්බේ දී ඔහුට එම අද්භූත දර්ශනය නොපෙනෙනුයේ ඉන්පසු හාත්පස පරිසරය මුළුමනින්ම පාහේ විවෘත අවකාශයක් සේ පෙනෙන බැවිනි.

2019 ජූලි 14 වනදා සිදුවූ ඛේදවාචකයෙන් පසු සරසවි සිසුන් විසින් ගනු ලැබූ අහුපිණිඇල්ල ආශ්‍රිත ඡායාරූපවල දක්නට තිබූ බව පැවසෙන අද්භූත රූප එම ප්‍රදේශයේ තරුණයෙකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇතැයි දැනගන්නට ලැබුණු බැවින් වෛද්‍ය සුගත් සමග මම ඒ සම්බන්ධයෙන් ද විමසුමක් කළෙමි.

දැනට අප සමාජයේ බහුලව භාවිත කෙරෙන ජංගම දුරකතනවල ඇති කැමරා ද සහිත ක්ෂණික ස්වයංක්‍රීය (Inasamatic) කැමරා, තාක්ෂණික වශයෙන් ඉතා ප්‍රාථමික ය. ඒවායේ ලෙන්සය සහ ක්ෂණික ආලෝක ධාරා විහිදුවන ෆ්ලෑෂරය ඇත්තේ එකම ස්ථානයක ය.

එබැවින්, එවන් කැමරාවකින් ෆ්ලෑෂරය දල්වා ඡායාරූපයක් ගැනීමේදී ලෙන්ස් එක ඉදිරියේ ඇති ඉතා සියුම් ධූලි හෝ ජලවාෂ්ප අංශුවක් වෙත එම ෆ්ලෑෂර් ආලෝකය පතිත වීමෙන් විවිධ පැහැයන්ගෙන් යුතු ගෝල ඡායාරූපයේ දක්නට පුළුවන. මේවා හැඳින්වෙනුයේ මණ්ඩල (Orbs) යනුවෙනි.

වරක් රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක එළිමහන් සාදයකදී ගනු ලැබූ ඡායාරූප රැසක අහසින් පොළොවට පාත්වන උල්කාපාත බඳු එවැනි රූ සටහන් කීපයක් දක්නට ලැබිණි.

ඒ රූ සටහන් හඳුනාගත නොහැකි සමහරුන් කියා සිටියේ එම එළිමහන් සාදය සඳහා පිළියෙළ කර තිබූ මස් මාංශ හා පුළුටු කෙරෙහි ලොබ බැඳගත් ප්‍රේතාදී අමනුෂ්‍යයන් අහසේ සිට එම අවළුපත් වෙත පතිතවනු ඒ ඡායාරූපවල සටහන්ව ඇති බවය. එහෙත්, එම එළිමහන් පරිසරය පරීක්ෂා කළ මට දක්නට ලැබුණේ එම ගෙමිදුලේ සාදය පැවැත් වූ තැනට ඉහළින් මල්වලින් පිරීගත් අතු පතර විහිදුණු වෙරළු ගසක් ඇති බව ය.

සුළඟට ගස සෙලවීමේදී බිමට පතිත වන ලදුව එම කැමරාවල ෆ්ලෑෂ් එළියට හසුවී ඡායාරූපවලට නැංවුණු වෙරළු මල්වලට සමහරෙකු විසින් අමනුෂ්‍ය නාමයන් ආරෝපණය කර තිබුණි. එහෙත්, මෙම අද්භූත රූප එම සංයුක්ත කැමරාවලට වඩා දියුණු තාක්ෂණයකින් යුතු තත්කාච ප්‍රතීක කැමරා (Single lence reflex camara) වලින් ගනු ලබන ඡායාරුපවල දක්නට නොමැති බව ද කිව යුතු ය.

තිලක් සේනාසිංහ

Related posts