හැරගිය පෙම්වතිය රීරි යකාට බාර කරන ‘රතු නිවිති හූනියම’

red

තමන් හා විවාහ වන බවට පොරොන්දු වී කලක් පෙමින් වෙළී සිටි තරුණියක හිටිහැටියේ වෙනත් තරුණයෙකු හා විවාහ වීම දැරිය නොහැකි වේදනාවක් බවට සැක නැත. ඉන් එම තරුණයා තුළ තදබල දුකක් සංවේගයක් සේම එම තරුණිය කෙරෙහි බලවත් වෛරයක් හටගැනීමට ද පුළුවන.

එවන් විටෙක එම වෛරය පිරි මසාගැනීමට ඇතැම් පෙම්වතුන් විසින් සිදුකරනු ලබන ගුප්ත පලිගැනීමක් පිළිබඳ තොරතුරු තවමත් අපගේ ගැමි සමාජයෙන් උකහාගත හැක. ගැබිනි මව්වරුන් ඇතුළු බාල, තරුණ, මහළු කාටත් එක සේ ගුණදායක බව පැවසෙන කොළ එළවලුවක් වන නිවිති බෝගය මුල්කොට සිදුකරනු ලබන මෙය හැඳින්වෙනුයේ ‘රතු නිවිති හූනියම’ යනුවෙනි.

එම ගුරුකමේ අරමුණ කෙතරම් කෲර හා අමානුෂික වුවත් එය සිදුකරන ආකාරයේනම් කිසියම් රසවත් බවක් තිබේ. ඒ මෙලෙසිනි.

දැනට අප රටේ දක්නට ලැබෙන නිවිති වර්ග දෙක අතුරින් කොළ නිවිති හෙවත් යෝධ නිවිති හැරුණුකොට දක්නට ලැබෙන සෙසු නිවිති වර්ගය රතු නිවිති ය. ඇතැම් ප්‍රදේශවල ‘යක් නිවිති’ ලෙස ද හැඳින්වෙන මෙය, අනෙක් නිවිති වර්ගය මෙන් ජනප්‍රිය නැත. ඒ සඳහා වන විශේෂ හේතුවක් කිසිවෙකු හෙළිකර නැතත් රතු නිවිති යනු ‘හූනියම් බඩුවක්’ ලෙසට පැතිර පවත්නා විශ්වාසය නිසා බව සහතික වන්නට මට පුළුවන. ඒ උතුරුමැද, මධ්‍යම හා සබරගමුව යන පළාත් ආශ්‍රිතව ම`විසින් කරනු ලැබූ විමසුමකදී ‘රතු නිවිති හූනියම’ හා සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගත හැකි වූ බැවිනි.

හුදෙක් වැඩිවියට පත්වීමේ සිට මාස් ශුද්ධියේ අවසානය හෙවත් අර්ථවහරණය (Menopause)තෙක් වන තරුණියන් හා මැදිවියේ කතුන් පමණක් ඉලක්ක කොට සිදු කෙරෙන මෙම ‘රතු නිවිති හූනියම’ කුඩා දැරියන්, ආර්ථවහරණය සිදුවූ වියපත් කතුන් සේම පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් කෙසේවත් බලාත්මක නොවේ. එමෙන්ම එය සිදුකිරීම සඳහා යකැදුරෙකුගේ සහාය ලබාගත යුතුම ය. ඒ එම කාන්තාව ‘රීරි යකාගේ’ බැල්මට නතු කරවීමට ය. රීරියකා යනුවෙන් හැඳින්වෙන යක්ෂයාගේ ‘රීරි’ නාමය රුධිරය යන්න හැඟවෙන ‘රුහිරු’ යන්නෙන් බිඳී ආ එකකි.

මෙම ‘රතු නිවිති හූනියම’ සඳහා අවශ්‍ය වනුයේ රතු නිවිති කොළ අත්තක් සහ රතු, කහ සහ සුදු පැහැයෙන් යුතු නූල් පොටවල් තුනක් පමණි. පළමුව ඒ සඳහා තෝරාගනු ලබන යකැදුරා ලවා ඒ නූල් තුන එකට අඹරවා කිසියම් මන්ත්‍රයකින් එය ජීවම් කරගත යුතු ය. එහෙත්, ඒ මන්ත්‍රය කුමක්දැයි සොයාගැනීමට බලවත් සේ වෙහෙසුණු මට අවසානයේ සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලබාදෙන ලද්දේ හසලක, වරාගොල්ලේ අරඹගේ ජයවර්ධන කපු මහතා විසිනි. රීරියක් දැහැන යනුවෙන් හැඳින්විය හැකි එම ජීවම තමන්ද අසා දැන හිඳින මුත් කිසිවකුටත් අවැඩක්, නපුරක් සිදුකරන දේකට තමන් වචනයකින්වත් සහයෝගයක් නොදෙන බව හෙතෙම කීය.

“ඕං නමෝ රුදුරු ලේ විලෙන් උපන්, ලේ කැටියෙන් උපන් වලාහක රීරි යක්ෂයා… අවමංගල්ලේ යාළුවා…” ආදී වශයෙන් එම රීරි යක්ෂයා කැඳවීමේ මන්ත්‍රය ඇරඹෙන බව ඔහු කියා සිටියේ මාගේ බලවත් පෙරැත්තය නිසාම ය. එමෙන්ම මෙම හූනියම සඳහා වෙනත් ප්‍රදේශවල මීට වෙනස් මන්ත්‍ර ද ජීවම් කෙරෙන බව මට දැනගත හැකි විය.

මෙසේ රීරියක් දැහැනින් ජීවම් කෙරෙන එකට ඇඹරූ රතු, කහ, සුදු යන පාටවලින් යුතු නූල් තුන පළමුව එම හූනියමට ලක්කෙරෙන තරුණියට හෝ කාන්තාවට පෑගෙන්නට හෝ එයට උඩින් පැනයාමට ඉඩ සැලැස්විය යුතුය. ගුප්ත ශාස්ත්‍රවල මෙය හැඳින්වෙනුයේ ‘යටි පහු කිරීම’ යනුවෙනි.

පසුව එම තරුණියට හෝ කාන්තාවට මාස් ශුද්ධිය සිදුවන වකවානුවක් බලා මරු ගේ හෝරාවකින් එම නූල්පට රතු නිවිති අත්තක ඔතා වක්කඩක් වැනි ගලායන දිය පහරක් යට සැඟවිය යුතුය. ඉන්පසු එම වක්කඩෙන් වතුර ගලායන තුරාවටම එම තරුණිය හෝ කාන්තාව වෙතින් නිරන්තර යෝනිමය රුධිර වහනයක් සිදුවේ. මෙලෙස මාස් ශුද්ධියේදී අධික ලෙස රුධිරය පිටවීම (Menorrhagia) ලේ මාලය යනුවෙන් ද අක්‍රමවත් මාස් ශුද්ධිය (Metrorrhagia) හෙවත් යෝනි මාර්ගයෙන් නිරන්තරව රුධිරය පිටවීම කිලිමාලය යනුවෙන් ද ගුප්ත ශාස්ත්‍රයන්හි සඳහන් වෙයි. මෙම තත්ත්වයන් දෙකේදීම පළමුව එම කාන්තාවගේ ලිංගික ජීවිතය අඩාල වන අතර, පසුව දිගු කාලයක් මෙම තත්ත්වයන් අඛණ්ඩව හා නිරතුරුවම පැවතීම මගින් ඇගේ මරණය පවා සිදුවිය හැක. එමෙන්ම තම පුතු ගෙනා ලේලිය පිළිබඳව විවිධ හේතූන් මත තදබල වෛරයෙන්, ද්වේශයෙන් පසුවන නපුරු නැන්දම්මලා ද මෙම ‘රතු නිවිති හූනියම’ කරවන බව මෙම විමසුමේදී මට දැනගත හැකි විය.කෙසේ හෝ මෙය කාන්තාවකගේ මාස් ශුද්ධිය ඉලක්ක කොට සිදු කෙරෙන්නක් නම් මෙය ඔවුන්ගේ සමීපතමයන්ට පමණක් කළ හැකි හූනියමක් බව නිසැක ය.

එමෙන්ම මෙම රතු නිවිති හූනියම ගුප්ත ශාස්ත්‍රීය පදනම වනුයේ රීරි යක්ෂයාට කැප කළ තුන් පැහැයේ නූල් කැබැල්ල යටි පහු කරන තරුණිය හෝ කාන්තාව කෙරෙහි රීරි යක්ෂයාගේ ඇල්ම, බැල්ම යොමුවීම ය. අප රටේ සෙසු යකුන්ට සාපේක්ෂව රීරි යකා රුධිරය කෙරෙහි අසීමාන්තික ලොල් බවක් දනවන අමනුෂ්‍යයෙකි. මෙලෙස මිනිස් ලෙයට ලොල් යකුන් පිළිබඳ විශ්වාස ලොව පුරා පවත්නා අතර පොදුවේ එම යක්ෂයා හැඳින්වෙනුයේ Blood demon යනුවෙනි.

“ඔය විශ්වාසය හින්දා සමහරු රතු නිවිති තමන්ගේ ගෙවත්තේ තියාගන්නත් බයයි. ඒවට රීරි යකාගේ බැල්ම වැටෙයි කියලා. නමුත් මම නම් මීට අවුරුදු ගාණකට කලින් අනුරාධපුරේ තිරප්පනෙන් ගෙනාව රතු නිවිති පැළයක් අපේ ගෙවත්තේ හිටවා ගත්තා. ඒ වගේම ඒක බොහොම සාරෙටත් හැදුණා. ඒ විතරක් නෙවෙයි ඒක අවුරුදු කීපයක් තිස්සෙම අපේ පවුලේ කෑම බීමවලට එකතු කරගත්තා. ඒත්, අපේ පවුලට නම් ඔය කියන කිසිම දෙයක් වුණේ නැහැ. අනික ඒ ගුරුකමේ හැටියට රීරි යක්ෂයා බැල්ම හෙලනවාය කියන්නේ ඔය ජීවම් කරන පාට තුනේ නූල්වලට මිසක් රතු නිවිතිවලට නෙවෙයිනේ. ඒ හින්දා රතු නිවිතිවලට බයවෙන එක පතොරොම නැති තුවක්කුවකට බය වෙනවා වගේ වැඩක්.”

මෙම විමසුමේදී අප හා අදහස් පළකළ සීතාවක ජනශ්‍රැති පිළිබඳ විශාරද වරයෙකු වන අවිස්සාවේල්ල, මානියංගම බණ්ඩාරවත්තේ හිටපු උප්පැන්න, මරණ සහ විවාහ ලේකම් අයි.ඩී.ඒ.ජී. ධනපාල මහතා කීය.

“හැබැයි ඒ කාලේ බේත් බඩුවලට කියලා ඔය රතු නිවිති අතු ගෙනියන්න පිට පළාත්වලින් හිටන් මිනිස්සු ආවා. ඒත් මම ඇහුවෙ නෑ මොකටද කියලා. අනික මම දන්නවනේ මම එහෙම ඇහුවත් ඒ මිනිස්සු බොරු වුණත් කියන්න පුළුවන් කියලා. ඉතින් මම මොකටද විහින් බොරුවලට රැවටෙන්නේ?” ධනපාල මහතා කීය.

“හැබැයි ඉතින් රතුපාට දේවල්වලට රීරි යකාගේ බැල්ම තියෙනවා කියන ජන විශ්වාසය අනුව ඔය රතු නිවිතිවලටත් ඒ රීරි යක්ෂ බැල්ම තියෙනවා කියලා සමහරු හිතනවා ඇති නේද?” අවසානයේදී මම ඇසීමි.

“එහෙනම් ඊට කලින් රීරි යකා බීට්රූට්වලට බැල්ම හෙලන්න එපායෑ.” ධනපාල මහතා කීයේ සිනාසෙමිනි.

ඒ කෙසේ හෝ තමන්ට පිටුපා වෙනතක ගිය පෙම්වතියන් සහ ඔවුන් විවාහ කරගත් සැමියන් මරාදැමීම පිණිස අවි අමෝරන යුගයක තමන්ගේ පලිගැනීමේ චේතනාව මෙවන් ගුප්ත, මිථ්‍යා විශ්වාසයක් තුළින් හෝ දියකර හැරීමේ එතරම් දොසක් නැතැයි මට සිතෙයි. මක්නිසාද වෛරී චේතනාව දරා සිටින පුද්ගලයාට මිස වෛරයට ලක්වන කාන්තාවට අවැඩක් කිරීමට කිසිඳු පදනමක් නැති ගුරුකමකට කළ හැකි දෙයක් නොමැති නිසා සහ ඒ මඟින් පළිගැනීමේ චේතනාව සහිත පුද්ගලයාගේ ද්වේශය තාවකාලිකව හෝ යටපත් වුවද. ඉන් කිසිවෙකුටත් ශාරීරික හානියක් නොමැති නිසා එවැනි ක්‍රියාවන් මඟින් සමාජයේ සාපරාධී ක්‍රියා අවම වනු ඇත. නමුත් වෛරය පෙරදැරිව සිදුකරන මේ ගුරුකම් හදි හූනියම්වලින් වෛරී චේතනාව සහිත පුද්ගලයාට එම චේතනාව නිසා සිදුවන මානසික දූෂණයත් ඉන් ඇතිවන මානසික පීඩනයත් හැරුණුකොට ලබාගත හැකි වෙනයම් ප්‍රතිලාභයක් නම් නැත.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….