සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා ! කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවතත්

jalaviduli

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය පරිසරය පිළිබඳව සංවේදී වන කිසිවකුටත් රහසක් නොවේ. අප  ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ මැදිහත්වීම මත විශාල වශයෙන් පාලනය කිරීමට පියවර ගැනිණ.

නොයෙක් සාකච්ඡා සහ විරෝධතා ව්‍යාපාර හමුවේ දිය ඇලි වසා කුඩා ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම වැලක්වීමටත්, ඒවා නියාමනයේ අවශ්‍යතාවත්, එසේම ලංකාව කුඩා ජල විදුලි බලාගාරවලින් සංතෘප්ත වී ඇති බවත් පිළිගනු ලැබීය. ඒ අනුව කුඩා ජල විදුලි බලාගාර සඳහා නව අනුමැතියන් ලබාදීම පරිසර අධිකාරිය නවතා දමන ලදී.එමඟින් ඉදි කිරීම් ආරම්භ නොකළ බලාගාර විශාල ප්‍රමාණයක්ද නවතා ගැනීමට හැකිවිය. එසේම අර්ධ ලෙස ඉදිකළ හා කොන්දේසි උල්ලංගනය කරමින් ඉදිකළ බලාගාර කීපයක්ද අදවන තෙක් නවතා ගැනීමට එමගින් හැකිවිය.

ඉන් ප්‍රධානම එකක් නම් ලංකාවේ ගෑස් ව්‍යාපාරයේ නිරත ප්‍රසිද්ධ ව්‍යාපාරයෙකුගේ, කෙහෙල්ගමු ඔයේ සියලු කොන්දේසි කඩමින් ඉදිකරමින් තිබු බලාගාරයයි. එසේම ලංකාවේ ප්‍රකටම ධනපතියෙකුට අයත් තවත් බලාගාරයක් නවතා ගත්තා පමණක් නොව එම ප්‍රදේශය පරිසර සංවේදී ප්‍රදේශයක් ලෙස නම් කරගැනීමට පවා සංවිධාන කිහිපයක් සහ එවක පරිසර අධිකාරිය සමග එකතුව කරගැනීමට හැකිවීම මෙම මාෆියාව පරාජය කිරීමට අපට හැකිවූ තවත් අවස්ථාවකි.

එසේම අප විසින් කුඩා ජල විදුලි බලාගාර කිහිපයකට එරෙහිව නඩු ක්‍රියාමාර්ග ගත් අතර මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පොදුවේ කුඩා ජල විදුලි බලාගාර නියාමනයට සහ එසේ නිසි පරිසර අධ්‍යනයන්ගෙන් සහ සොයා බැලීමකින් තොරව ලබාදෙන අවසරයන්ට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුව සුවිශේෂී වේ. මුලදී එම නඩුව හරහා ඉතා වැදගත් තීරණ සහ එකඟතාවලට පොදුවේ නියාමන ආයතන හා සමග එකතුව පැමිණීමට හැකි වුවත් පසුව එම එකඟතා සම්බන්ධව යම් යම් ගැටළු පැනනැගුණු බවට සැලවිය.

ඒ කෙසේ වුවත් කුඩා ජල විදුලි බලාගාර පරිසර අධිකාරියේ සබරගමුවේ, දකුණේ සහ මධ්‍යම පලාතේ පරිසර අධිකාරියේ එවක සිටි අධ්‍යක්ෂවරුන්ට ඉල්ලමක් විය. විශේෂයෙන් සබරගමුවේ සහ මධ්‍යම පළාතේ දිය ඇලි ගංගා වනසමින් හතු පිපෙන්නාක් මෙන් කුඩා ජලවිදුලි බලාගාර ඉදිවෙද්දී, මෙම නිලධාරීන්ගේ ජීවිතද සුඛිත මුදිත වූ බවත්, ඔවුන්ට ගෘහ භාණ්ඩ වල සිට නොයෙක් වටිනා ත්‍යාග ලබාදීමට කුඩා ජළ විදුලි බලාගාර හිමියන් කටයුතු කළ ආකාරය සැවොම දන්නා ප්‍රසිද්ධ රහසකි.

සෑම ක්ෂේත්‍ර පරීක්ෂාවක් අවසානයේ මෙම නිලධාරීන්ට පිම්බුණු ලියුම් කවරයක්ද, ව්‍යාපෘති යෝජකයා ගානේ කන්ට බොන්ට ඇති පදමටද ලැබුණු බව සමහර අවස්ථාවල අපි ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමු. එම නිසා ඒවා කියන්දnata dha බිය නොවෙමු. අන්ත දුෂිත පරිසර අධිකාරියේ පළාත් පරිසර නිලධාරීන් (ඉහළ පුටුවල ඉන්නා) නිසා ලංකාවට අහිමිව ගිය ජලජ පරිසර පද්ධති ප්‍රමාණය සුළුපටු නොවේ. .

එසේම, අප සංවිධානවල ක්‍රියාකාරීත්වය හමුවේ මෙන්ම ස්වේච්චාවෙන් මේවාට එරෙහිව කටයුතු කළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ක්‍රියාකාරීත්වයද හමුවේ යම් යම් ප්‍රදේශවල කුඩා ජලවිදුලි මාෆියාව දැඩි ලෙස පරාජය කිරීමට අපට හැකිවිය. ඒ අතර සුවිශේෂී අයෙක් වන්නේ කුරුවිට, එවක ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ, වර්තමාන රජය යටතේ වන සංරක්ෂණ සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වූ බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ය.

නමුත් කුඩා ජලවිදුලි බලාගාර “බාර් පර්මිට්” මෙන් දේශපාලුවන්ගේ නෑයන් හිතමිත්‍රාදීන් හා ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයින් විසින් අල්ලස් දී ලබාගෙන ඇති බැවින් යම් අවස්තාවලදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට මාරුවීම් පවා ලබාදී තිබුණි. රත්නපුරේ එක් හිටපු විදුලිබල ඇමති වරයෙකුගේ ඥාති පුත්‍රයෙකුට බලාගාර 10 කට වැඩි ප්‍රමාණයක් තිබීමෙන්ම මෙය කොතරම් මාෆියාවක්දැයි ඔබට වැටහෙනු ඇත.

කෙසේ නමුත් කොස්කුලන වැනි සිංහරාජයේ මායිමේ ඉදිකළ බලාගාරවලට අප ඉදිරිපත්කළ විරෝධතා සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වැදගත් කරුණු දැක්වීම් හමුවේ සිංහරාජය අවට කිසිඳු කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට නැවත අවසර නොදීමට පසුගිය රජය සමයේ ප්‍රතිපත්ති තීන්දුක් ගනු ලැබීය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමතව එම යෝජනාව අද වනතෙක් ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ නමුත් 2021.08.02 දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී, සිංහරාජයේ ජලයෙන් පෝෂණය වන සිංහරාජය මායිමෙන් ගලන දෙල්ගොඩ ගඟේ රනුක්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත රනුක්කන්ද කුඩා ජාල විදුලි බලාගාරයට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඉල්ලා ඇත.

මෙහිදී මෙවැනි ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන තිබේනම් එය ලබානොදීම සුදුසු බවට වාසුදේව නානායක්කාර මහතා කරුණු දක්වා ඇති බවට වාර්තා වෙයි නමුත්, පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් දිගින් දිගටම මෙම අවසරය ලබාදිය යුතුය යන මතයේ දැඩිවම සිටිමින් මෙම අවසරය ලබා දී ඇත.

කෙසේ නමුත් දිස්ත්‍රික් ලේකම්වරියට මේ සම්බන්ධව විරෝධතා දැක්විය හැකිව තිබු නමුත් ඇය විසින් මෑත කාලය පුරාම දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය වෙනුවට, පරිසර සංරක්ෂණය කළ ප්‍රාදේශීය ලේකම් වරුන් රකිනවා වෙනුවට ප්‍රදේශයේ ඉහල අධිකරණවලින් පවා වැරදි කැරුවන් කර ඇති දේශපාලකයෙකුගේ බලපෑම මත එම ප්‍රාදේශීය ලේකම් වරුන්ට මාරුවීම් ඉල්ලන්නට කියා ඇති බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇත.

රනුක්කන්ද බලාගාරය ඉදිකිරීමට යෝජනාකර ඇත්තේ මෙම ප්‍රදේශයේ පස්වන බලාගාරය සහ කිලෝමීටර කිහිපයක් තුල ඉදිකරන තුන්වන බලාගාරය ලෙසය. මෙහි ආසන්නම බලාගාරය කිලෝමීටරයක් දෙකක් තුල පවතින අතර හපුගොඩ ඉදිකර ඇති එම බලාගාරය 2003 ඉදිකිරීම සහ ඊට බෝර යෙදීම නිසා ඉලුක්පොතකන්ද නාය ගොස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි විය. මෙම කලාපය පාංශු සංවේදී සහ දැඩි බෑවුම් සහිත පාංශු සංරක්ෂණ කලාපයකි.

කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමේදී ගංගා හරහා වේලි බැඳ ජලය අන්තිම බින්දුවටත් එකතු කර කානු හෝ බට දිගේ ගෙන යාම මගින් සිදුවන පාරිසරික හානිය ඇති විශාල වේ. ගංගා වල වේලි බැඳීම මගින් ස්ථානීය ආවේනික, ආවේනික සහ දේශීය මත්ස්‍යයින්, කකුළුවන්, මැඩියන් ඇතුළු ජලජ ජීවීන්ට සිදුවන හානිය සුළුපටු නොවේ. එසේම වේලි, බලාගාර, චැනල් පාත් සෑදීමට ගඟේ කළුගල් කඩා ඉවුරු වනසා ගංගාවල් වනසා දමා ඇති ආකාරය දුක උපදවන සුළුය.

පොදු සම්පතක් වන ජලය ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතාවට තනි භුක්තිය ලබාදී ඔවුන්ට අවශ්‍ය පරිදි ගංගා කිලෝමීටර ගණන් වියලා දැමීම අපරාධයකි. එසේම එලෙස ජලය එක් රැස් කිරීමට වේලි බැඳීම මගින් මත්ස්‍ය පර්යටනය සම්පුර්ණයෙන් අහුරා දමයි. පමණක් නොව එමගින් මොන තරම් ජීවීන් ප්‍රමාණයකට සහ ශාක, පැලෑටි ප්‍රමාණයකට අවශ්‍ය ජලය නොමැතිකමින් වනසා දමනවාද. තවද, ගඟක් ගැලීම යනු හුදු ජලය ගලායාමක් පමණක් නොවේ.

එමගින් භූගත ජලයත්, ඉවුරු පෝෂණයත්, කෘෂිකාර්මික සහ ස්නානය ඇතුළු ජනතා ජල අවශ්‍යතා සපුරන්නකි. ඒවා ද වැළකෙන අතර අවසානයේ මහවැසි වලදී පෙර දැනුම්දීමකින් තොරව වේලි විවෘත කිරීමන් මෙතෙක් ගංගාවල පහල ස්නානය ඇතුළු අවශ්‍යතා සපුරාගමිනින් සිටි මිනිසුන් බිලිගැනීම් සිදුවූ ප්‍රමාණය එකක් දෙකක් නොවේ.

මේ සම්බන්ධයෙන් ඇතැමුන් දරන තර්කය වනුයේ මෙමඟින් ජාතික ජල විදුලි පද්ධතියට යම් දායකත්වයක් ලැබෙන බවකි. නමුත්ලංකාවේ කුඩා ජලවිදුලි බලාගාර 200 කට වඩා ඇතත් එම සියල්ලෙහිම එකතුව විදුලිය අත්‍යාවශම විට ජාතික පද්ධතියට 1% කවත් දායකත්වයක් නොසපයයි. ඉහත රනුක්කන්ද කුඩා ජලවිදුලි ව්‍යාපෘතිය ඉල්ලුම්කරතිබුනේ Naturub ආයතනය වන අතර මෙම සමාගම මහා ලොකුවට තිරසාරත්වය ගැන නන් දොඩවන ආයතනයක් බව ඔවුන්ගේ වෙබ් පිටුව බැලීමෙන් පෙනී යයි.

එසේම ලංකාවේ සමාගම්වල Greenwashing වල තරම මින් මනාව පැහැදිලිවේ. දිස්ත්‍රික් සම්බන්ධීකරණය කුමන අවසරයක් දුන්නද මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් මෙන්ම වාරිමාර්ගය ද මීට අවසර නොදෙනු ඇතැයි යන්න අපගේ දැඩි විශ්වාසයයි. එසේම ජාතික ගොඩනැගිලි සහ ඉදිකිරීම් පර්යේෂණායතනයට මේවාට කිසිසේත්ම අනුමැතිය ලබාදිය නොහැකිය.

දේශපාලන අධිකාරිය සහ ධනවත් ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා මත ලංකාවේ පරිසර පද්ධති වැනසීම වහාම නතර කළ යුතු අතර රට තුළ ඇති ගංගා, දිය ඇලි, ඇලදොළ රැකගැනීමටත්, ජලජ ජෛව පද්ධති රැකගැනීමටත් පෙරමුණ ගන්නා මෙන් සමස්ත මෙරට ජනතාවගෙන්  වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය ලෙස අපි ඉල්ලා සිටිමු !

ජයන්ත විජේසිංහ

කැඳවුම්කරු – වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය.

Related posts