සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව

ඓතිහාසික සහ මානව විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව සම්බා බත මුලින්ම මෙරට භාවිතයට ගෙන ඇත්තේ කෝට්ටේ යුගයේ රාජකීයයන්ගේ ආහාරයක් ලෙසිනි.

එදා මෙදාතුර ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින් යුතු වී වර්ගයකි.

ඉන්දියාවේ දී මෙම වී වර්ගය සඳහා කෙතරම් සම්භාව්‍ය තත්වයක් ආරෝපණය වී තිබේ ද යන්න බටහිර බෙංගාලයේ දී එය ‘ගෝභින්දෝ භෝග්’  (විෂ්ණු දෙවියන්ගේ බෝගය) නමින් හැඳින්වීමෙන් පැහැදිලි වෙයි.

ප්‍රවාදගත මූලාශ්‍රවලට අනුව මුතු ඇටවන් වටකුරු හැඩයෙන් යුතු මෙම සහල් සහිත වී වර්ගය මුලින්ම වගා කොට ඇත්තේ  වත්මන් ගම්පහ දිසාවේ බටහිරට වන්නට පිහිටි සුවිසල් තෙත් බිමක් වන මුතුරාජවෙල ය. මුතුවන් සහල් ලැබෙන රාජකීය වෙල්යාය යන අරුතින් ඊට “මුතුරාජවෙල” යන නම ලැබී තිබේ.

කෝට්ටේ යුගයේ උඩුගම්පොල උප රාජධානියේ රජකම් කළ සකල කලා වල්ලභ රජු ගේ කෘෂිකාර්මික විප්ලවයේ අග්‍ර ඵලය ද මුතුරාජවෙල ය.

එහෙත්, එම සම්බා වී වගාව මුලින්ම සිදු කොට ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අයත් ගණේමුල්ලේ, දැනට හොරගොල්ල, ශ්‍රී ලංකා විද්‍යාලයට පහලින් ඇති වෙල් යායේ බව සනාථ කළ හැකි මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ.

මෙම හොරගොල්ල ග්‍රාමයේ උතුර  ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් නිවාස එකසිය පනහක් පමණ අයත් වන කොටසක් අදටත් ගෘහ මූලික ලැයිස්තුවල “හම්බාගම” යනුවෙන් සඳහන් ය. ඒ එහි මුල් නම වන සම්බාගම යන්නෙන් බිඳී ඒ මේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මුඛ පරම්පරාගත කතාවලට අනුව අතීතයේ වනයෙන් වැසී තිබූ මෙම ප්‍රදේශය ජනාවාස වීම ඇරඹී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණි ආඬි සහ සන්‍යාසි මිනිස් කණ්ඩායම් දෙකකිනි.

මෙම හොරගොල්ල ගම්වරයේ වෙසෙන ජනතාව සමඟ පාරම්පරික ඥාති සම්බන්ධයක් සහිත ජනතාවකගෙන් යුතු තවත් ගම්වරයක් ඊට යාබදව පිහිටා තිබේ. එය හැඳින්වෙනුයේ තිබ්බටුගොඩ ලෙසිනි. ගණේමුල්ල නගරාසන්නයේ ඇති තිබ්බටුගොඩ සහ හොරගොල්ල යන ගම්මානවල වෙසෙන පාරම්පරික ජනයා අතීතයේ සිංහලයන් විසින් ආඬින් සහ සන්නාසීන් වශයෙන් හඳුන්වා ඇති දකුණු ඉන්දීය සංක්‍රමණිකයන්ගෙන් පැවැත එන්නවුන් බවට ප්‍රබලතම සාක්ෂිය ඔවුන්ගේ පෙළපත් නාමයන්ය.

ඒවා අදටත් ‘ආඬිගේ’ සහ ‘සේනාසිගේ’ යනුවෙන් හැඳින්වෙයි. මෙහි සේනාසිගේ යන්න සන්යාසීගේ යන්නට ඉංග්‍රීසි යටත් විජිත සමයේ ඇති වූ යම් වෙනසක් බවට සැක නැත. පසුව එය සේනාසිංහ යනුවෙන් ද ව්‍යවහාර වීමට පටන් ගෙන ඇත.

දැනට අභාවයට යමින් පවතින ජන ප්‍රවාදවලට අනුව මුලින්ම එහි මෙම සම්බා වී වගාව සිදු කොට ඇත්තේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ ප්‍රතාපවත් අයකුගෙනි. ඔහු  සන්‍යාසි මිනිසෙකු බව අනුමාන කළ හැක. සිද්ධි ගුරු හෙවත් මහගම මුත්තා යනුවෙන් ප්‍රකට වූ ඔහු ජීවත් වූ ගම්වරය අද දක්වාම “මහ ගම” නමින් හැඳින්වීමට ඔහු ගේ එම පෞරුෂය, ප්‍රතාපය හේතු වන්නට ඇත. අදටත් ඒ අවට හොරගොල්ල සහ තිබ්බටුගොඩ වැසියෝ මෙම ප්‍රදේශය හැඳින්වීම පිණිස “ගම දිහා” යන්න යොදති.

මහගම මුත්තා පිළිබඳව කෙරෙන ඓතිහාසික විමසුම්වල දී ඔහු පහලොස් වන සියවසත් දහසය වන සියවසත් අතර කෝට්ටේ යුගයේ ජීවත් වූවකු බව පෙනී යයි. එමෙන්ම මහගම මුත්තා ඒ සමයේ උඩුගම්පල රජ කළ සකල කලා වල්ලභ රජුගේ සමීපතමයකු වූ බවට ද තොරතුරු තිබේ.

තම ජන්ම බිම වන ඉන්දියාවෙන් මෙම අනගි වී වර්ගය ගෙනවුත් තමන් පදිංචි ප්‍රදේශයේ වගා කොට ඇත්තේ ඔහු විසිනි. පසුව එතෙක් කිසිවකු දැක නොතිබූ මුතු වැනි වූ මෙම අපූරු සහල් වර්ගය දුටු සකල කලා වල්ලභ රජ තුමා වහාම මහ ගම මුත්තා රජ වාසලට කැඳවා ඒ වී වර්ගය ගැන විමසා දැන එම වී වගාව ව්‍යාප්ත කරන ලෙස දන්වා ඇත.

පසුව ඊට දියවර සපයා ගැනීම පිණිස එම කුඹුරු යාය ඉහත්තේ හොරගොල්ල, තිබ්බටුගොඩ යන ගම්මාන මැදින් ගලා යන ඌරුවල් ඔය සම්බන්ධ කොට වැවක් ද තනා දුන් බව පැරණි මුඛ පරම්පරාගත කතාවල සඳහන් ය. අද වන විට එම වැව මුළුමනින්ම ගොඩ වී ඇතත් ශ්‍රී ලංකා විද්‍යාලයට පහලින් වැටී ඇති මාර්ගය අද ද හඳුන්වනුයේ ‘වැව් වේල්ල’ යනුවෙනි.එවක මුත්තා විසූ නිවස තිබූ ප්‍රදේශය වැව ගෙදර නමින් හඳුන්වා ඇති අතර එම ව්‍යවහාරය අද ද එලෙසම පවතී.

පසුව සකල කලා වල්ලභ රජ තුමා විසින් රාජකීය කුඹුරු යායක් බවට පත් කරන ලද මෙය සම්බා කෙත යනුවෙන් හැඳින්වුණු බව කියනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් පදවිය හෙබ වූ එච්. සී. පී. බෙල් සූරීන්ගේ කෑගලු වාර්තාව මඟින් ද ”කෙත” යනු රාජකීය කුඹුර බව තහවුරු වෙයි.

එමෙන්ම, එකල මෙම සම්බා කෙතින් ලබා ගන්නා වී අස්වැන්න සකල කලා වල්ලභයන්ගේ සේම අටවන වීර පරාක්‍රමබාහු නමවන ධර්ම පරාක්‍රමබාහු ආදී සමකාලීන කෝට්ටේ රාජධානියේ රජවරුන් ප්‍රමුඛ ප්‍රභූන්ගේ ආහාරය සඳහා යොදා ගැනුණු රජ බොජුනක් වූ බව පෙනෙයි.

නමුදු මහගම මුත්තා විසින් හඳුන්වා දුන් මෙම මුතුවන් සහල් සහිත වී වර්ගය  සකල කලා වල්ලභයන් විසින් පසුව මුතුරාජවෙල පුරා ව්‍යාප්ත කිරීමත් සමඟ එය සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් බවට පත්ව තිබේ.

ජලය හා සබැඳි පූජා චාරිත්‍ර සම්ප්‍රදායක් පවත්වාගෙන ගිය මෙම සන්‍යාසි ජනයා ඒ සඳහා  ඌරුවල් ඔය යොදා ගත් බවට සාක්ෂි තිබේ. ඒ අනුව මෙම තිබ්බටුගොඩ ග්‍රාම නාමය පූජකයන් හෙවත් තීර්ථකයන් ගොඩ බසින ලද ගොඩැල්ල හෙවත් තිත්+බට+ගොඩ යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි.

මෙය වඩාත් තහවුරු වනුයේ තිබ්බටුගොඩ ගමේ කෙලවර ඌරුවල් ඔය ආසන්නයේ පුරාණ පත්තිනි දේවාලයක් කේන්ද්‍ර කර ගත් පත්තිනිපිටිය නම් ප්‍රදේශයක් අදත් දක්නට ලැබීමෙනි.

භාරතීය හින්දු ආගමික සංස්කෘතික ධාරාවේ මුල් තැනක් ගනු ලබන වර්ණාශ්‍රම ධර්මවලට අනුව මිනිස් ජීවිතය කොටස් හතරකට බෙදෙයි. එනම් බ්‍රහ්මචාරී, ගෘහස්ථ, සන්‍යාසි සහ වාතප්‍රස්ථ යනුවෙනි.

මින් සන්‍යාසි යනු මිනිසා ලෞකික සැප සම්පත් අතහැර ආධ්‍යාත්මික පක්ෂයට නැඹුරු විය යුතු ජීවිතයේ තුන්වන අවදියයි.  සාමාන්‍ය කාමභෝගී ගිහි ජීවිතයක තෙවන කාර්තුවට අයත් සන්‍යාසි සමය ලෞකිකත්වයෙන් අත්මිදුණු සමයක් විය යුතුය.

නමුදු එම වීතරාගි දිවි පැවැත්ම තරුණ වියේ පටන් පුරුදු පුහුණු කරන ගිහි ජීවිතයෙන් දුරස් වූ පැවිදි පිරිසක්ද අදටත් ඉන්දියාවේ වෙසෙති. කාමභෝගිත්වයෙන් සම්පූර්ණයෙන් අත්මිදුණු ඔවුහු මුහුණ පුරා වැඩුණු රැවුලකින් සහ හිස මුදුනට වන්නට ජටාවක් සේ බැඳගත් කෙස් කළඹකින් යුතු ඇතැම් විට ජටාවක් හිස දැරූ කහ හෝ සුදු පැහැති අඳනයකින් සහ උතුරු සළුවකින් සිරුර වසා ගත් සංචාරක පූජක පරපුරකට අයත් පිරිසකි.

බොහෝ විට ඔවුන්ගේ අත්වල සෙම්බුවක් සහ සෝලු ලීයක් හෙවත් සැරයටියක් දැකිය හැකිය. උරෙහි එල්ලා ගත් ඔලොගුව මේ සෑම සන්නාසියකුගේම එකම ධනය බව පැවසෙයි. තම දිවි පෙවෙත මුළුමනින්ම ආධ්‍යාත්මික පක්ෂයට කැප කොට ඇති බැවින් අන්‍යයන්ගෙන් යැපීමෙන් ජීවිතය පවත්වා ගෙන යන මොවුන් ලබන එම ආහාරය හැඳින්වෙනුයේ ‘භික්ෂා’ යනුවෙනි.

අප අතීත ජන සමාජය ආඬින් වශයෙන් හඳුන්වා ඇත්තේ ඉතිහාසයේ යම් යම් යුගවලදී දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ ගිහි පූජක පිරිසකි.

මෙහිදී ඉහත සඳහන් කළ සන්‍යාසීන්ද බොහෝ විට මෙම ජන කොටස ‘ආඬි’ යන පොදු නමින් හැඳින්වුව ද ආඬි යන ශබ්දය දකුණු ඉන්දියාවේ ඔවුන්ගේ නිජබිම වූ ‘ආන්ද්‍රා’ යන්න සිංහල ඌරුවට උච්චාරණය වීමකි. මෙම ආඬි මිනිස්සු තෙළිඟු බස කතා කරන දකුණු ඉන්දියාවේ නැගෙනහිර කොටසට වන්නට පිහිටි ආන්ද්‍රා දේශයෙන් පැමිණි අතර ඔවුන් කතා කළ තෙලිඟු බස තේරුම් ගත නොහැකි අප රටේ ගැමියෝ ඊට ආන්ද්‍රා දෙමළ යන අරුත ගෙනෙන අණ්ඩර දෙමළ යැයි කීහ.  ඊට හේතුව ඒ වන විටත් සිංහල සමාජයට යම් තරමකින් හුරුව තිබූ දෙමළ භාෂාවට වඩා මෙම භාෂාව මුළුමනින්ම වෙනස් කිසිවක් නොවැටහෙන බසක් වීමය.

ද්‍රවිඩ භාෂා පවුලට අයත් වුවද තෙළිඟු සහ දෙමළ මුළුමනින්ම වෙනස් වන අතර එම ජන වර්ග ද  සම්පූර්යෙන් එකි`නෙකාට වෙනස් බව විශේෂයෙන් කිව යුතුව තිබේ.දහ අට වන සියවසේ ලියැවුණු රාජාවලියෙහි දැක්වෙන අන්දමට ද ආඬි යනු වත්මන් ආන්ද්‍රා දේශයෙන් හෙවත් තෙළිඟු රටින් පැමිණි ජන වර්ගයට කියන නමකි.

එම සියවසටම අයත් උපාසක ජනාලංකාරය සුළු පූජාවලිය වැනි කෘතීන් මඟින් අබෞද්ධ පූජක කොට්ඨාශයක් සේ නම් කොට ඇති ආඬි ජනයා පිළිබඳව මදුරාසි සරසවියේ දෙමළ ශබ්ද කෝෂයෙහි අර්ථ දක්වා ඇත්තේ ද පූජක විශේෂයක් ලෙසිනි.

නමුදු  ඔවුන් හා සමකාලීනව මෙහි පැමිණි සන්‍යාසී මිනිසුන් දකුණු ඉන්දියාවේ බටහිරට වන්නට පිහිටි කේරලයෙන් පැමිණි අතර ඔවුන්ගේ මව් බස මලයාලම් විය.ඒ කෙසේ වෙතත් දැනට ගණේමුල්ල තිබ්බටුගොඩ සහ හොරගොල්ල යන ගම්මානවල වෙසෙන ජනතාව පසුකාලීන සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික බලපෑම්වලට කෙලෙස සම්බන්ධ වීද යන්න සොයා ගත හැකි මූලාශ්‍ර නොමැත.

නමුදු පසුකාලීන ඕලන්ද යටත් විජිත සමය වන විට මුළුමනින්ම සිංහල බෞද්ධ ජනතාවක් බවට පත් මොවුන් එම යුගයේදී කුරුඳු වගාව සහ එම කර්මාන්තය සම්බන්ධ ජීවනෝපායයන්ට යොමුව තිබූ බව පෙනෙයි. එනිසාම එම යුගයේදී සිල්වා, ප්‍රනාන්දු, රාජපක්ෂ ආදී නාම තම පෙළපත් නාමවලට යොදාගත් මෙම ගම්වාසීන්ගෙන් යම් කොටසක් මීට වසර එකසිය පනහකටත් මෙපිට යුගයකදී කතෝලික ආගම වැළඳ ගෙන තිබේ.

මේ සියළු සමාජ සංස්කෘතික  පරිනාමයන් හමුවේ ශ්‍රී ලංකාවේ මුල්ම සම්බා වී වගාව කළ ”සම්බා කෙත” සහ ඊට දියවර සපයා පසුව වල්බිහි වූ සකල කලා වල්ලභ රජ තුමා කර වූ වැව අදටත් කිසිවකුගේ අවධානයෙන් තොරව නිසොල්මනේ තිබෙනු දැකිය හැක.

තිලක් සේනාසිංහ

ඡායාරූප: සහන් සංකල්ප සිල්වා

 

Related posts